Sunday, July 5, 2015

පිස්තෝලය දුන්නේ හැමිල්ටන් වනසිංහ - එරාජ් ප්‍රනාන්දු

නම?
එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු
ගෙවල් කොහෙද?
මට ගෙයක් නෑ. මම ඉපදෙනකොට අම්මයි තාත්තයි ජීවත් වුණේ තංගල්ලේ. තාත්තගේ මුල් ගම අම්බලන්ගොඩ. අම්මගෙ මුල් ගම දික්වැල්ල.
අම්මයි තාත්තයි මොනවද කළේ?
දෙන්නම උපාධිධාරී ගුරුවරු.


සහෝදර සහෝදරියෝ?
සහෝදරියෝ තුන්දෙනයි. එක් සහෝදරයයි.
ඔබේ පාසල?
පාසල් කිහිපයකටම ගියා. පටන් ගත්තේ තංගල්ලෙන්. ඊට පස්සේ හම්බන්තොට පාසලකට ගියා. අම්මගෙ සහෝදරයෙක් හිටියා කැලණියේ. ඒ නිසා මට අන්තිමට නාලන්ද විද්‍යාලයට යන්න පුළුවන් වුණා.
ඔබ කොතරම් දුරට අධ්‍යාපනය ලැබුවද?
උසස් පෙළ ඉහළින්ම සමත් වුණා.
පොඩි කාලේ මොනවද කරපු සෙල්ලම්?
ගොඩක් දේවල් කළා. අවුරුදු හයක් කැඩෙට්වරයෙක් වශයෙන් කටයුතු කළා. ඊට අමතරව බැට්මින්ටන්, පාපන්දු, දුර පැනීම, මීටර් 100, මීටර් 400ය වගේ හැමදෙයක්ම කළා.

ඒ කාලෙද වෙඩි තියන්න පුරුදු වුණේ?
ඔව්. පුරුදු වෙලා තියෙනවා.
සෙල්ලම් පිස්තෝලෙන්ද?
ඇයි එහෙම අහන්නේ?
ඔබ දේශපාලනයට එන්නෙ කොයි කාලෙද?
බහ තෝරන කාලෙ ඉඳන්ම දේශපාලනය තමයි කළේ.
ඔබේ මල්ලි කෙනෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ හිටියා නේද?
නෑ. ... මගේ කවුරුවත් හිටියෙ නෑ.
කවුද එතකොට 80 ගණන්වල කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයට සම්බන්ධ වෙලා හිටියේ?
මගේ ඥාති සහෝදරයෝ කිහිපදෙනෙක්ම හිටියා. ඉතින් ශිෂ්‍ය සංගමයත් එක්ක ළඟින් වැඩ කළා.
ඊට පස්සෙද ඔබ කොමියුනිස්ට් පක්ෂයෙන්ද ඡුන්දෙ ඉල්ලූවේ?
මගේ තාත්තා ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දිස්ත‍්‍රික් සංවිධායකවරයා. 70 මගේ මාමා තිස්සමහාරාමේ මන්ත‍්‍රී ජස්ටින් ගලප්පත්ති. ඒ පසුබිමත් එක්ක මම 1980 නාලන්දෙ 09 වසරෙදි ලංකා ශිෂ්‍ය සංගමයේ කොළඹ දිස්ත‍්‍රික් සභාපති වෙනවා. මම දේශපාලනය පටන්ගත්තේ මගේ තාත්තගෙ පක්ෂයෙන්.
ඔබ පසුකාලීනව කොමියුනිස්ට් පක්ෂයෙන් ඡුන්දෙ ඉල්ලූවා?
නෑ.... අපේක්ෂකයෝ නැති වෙලාවක දකුණු පළාත් සභාවට ඉල්ලූවා. ඒ එක්සත් සමාජවාදී පෙරමුණෙන්.
රාජිත සේනාරත්න එක්ක ඔබේ තිබෙන සම්බන්ධය මොකක්ද?
එදා ඉඳන්ම තියෙන හොඳ එකක්.
කොහොමද එහෙම සම්බන්ධයක් ගොඩනැගෙන්නෙ?
මම කුඩා කාලේ ඉඳන් රාජිත ඇමැතිතුමාලගෙ ගෙදර යනව එනවා. ඒක ඇත්තටම පෞද්ගලික සම්බන්ධයක්.
ඔබ ස්වාධීන ශිෂ්‍ය සංගමයත් එක්ක මොනවද කළේ?
ජනතා විමුක්ති පෙරමුණේ භීෂණයට මුහුණ දෙන්න යම් යම් ක‍්‍රියාමාර්ග ගන්න සිද්ධ වුණා.
එතකොට ඔබ ප‍්‍රාසංවිධානය එක්ක මොකක්ද කළේ?
ඔව්, අපි සම්බන්ධ වෙලා හිටියා. අපි හදපු ප‍්‍රාකියපු නම එක්සත් ජාතික පක්ෂය පාවිච්චි කළා. ඇත්තටම අපි ප‍්‍රාහැදුවෙ භීෂණයට මුහුණ දෙන්න. නමුත් ඒ නම රංජන් විජේරත්න, රණසිංහ පේ‍්‍රමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂය මිනී මරන්න පාවිච්චි කළා.
ඔබ ඇත්තටම වාමාංශිකයෙක්ද?
ඔව්.

ඒත් ඔබ එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලූවා?
ඔව්.
කොහොමද එහෙම වුණේ?
ඒක වුණේ 2004. ඒක දිග කතාවක්. ඒ වගේම ඒක ප‍්‍රසිද්ධියේ කියන්න බැරි කතාවක්.
ඇයි ඒ?
ඒක දේශපාලනික උපක‍්‍රමයක් නිසා කරපු වැඩක්.
මොකක්ද ඒ උපක‍්‍රමය?
රාජිත සේනාරත්න ඇමැතිතුමා එතකොට එක්සත් ජාතික පක්ෂයේ. ඉතින් එතුමා මගෙන් බලවත් ඉල්ලීමක් කළා. එහෙම තමයි ඒ සිද්ධිය වුණේ.
ඔබ සහ රාජිත අතර තියෙන මේ සම්බන්ධය මොකක්ද?
රාජිත සේනාරත්න කියන්නේ සැබෑ දේශපාලනඥයෙක්. මම වගේම රාජිතත් දේශපාලනය පටන් ගත්තේ වමෙන්. රට ගැන, සමාජය ගැන අවංක හැඟීමක් එතුමාට තියෙනවා.
ඒකමද මේ සම්බන්ධයට හේතුව?
ඔව්. ඒකත් එකක්.
අනිත් ඒවා මොනවද?
(හිනා..) පෞද්ගලික දේවල්.
රාජිත සේනාරත්නට අයිති සමාගමක් ඔබේ නමින් තිබුණ නේද?
නෑ.... කවදාවත්ම නෑ.
එතකොට නොරිස් කැනල්පාරෙ තිබුණ බිල්ඩිම කාගෙද?
ඒක මගේ නෙමෙයි.
ඔබේ නමින් තිබුණේ?
නෑ.. ඒක 83 දෙමළ ඩොක්ටර් කෙනෙක්ට අයිතිව තිබුණු එකක්.
එතකොට ඒක බොරුවක්?
නෑ... ඒ බිල්ඩිමේ එක කොටසක් රාජිත සේනාරත්න මහත්තයට අයිතියි. 
එතකොට රාජිත සේනාරත්න ඔය කියන දෙමළ දොස්තර මහත්තයා එක්ක වැඩ කළා?
ඔව්.
ඔය කාලෙදී රාජිත සේනාරත්න එක්ක එකතු වෙලා ඔබ මොනවද කළේ?
විශේෂ දෙයක් නෑ. භීෂණයට මුහුණ දෙන්න යම් යම් දේවල් කළා.
රාජිත සේනාරත්නට අමතරව ඔය කාලේ හිටපු තදයෝ කවුද, දැන් කි‍්‍රයාකාරී දේශපාලනයේ ඉන්න?
විශාල ප‍්‍රමාණයක් ඉන්නවා.
නම් කියන්න?
සාලින්ද දිසානායක, රෙජිනෝල්ඩ් කුරේ, ඩිලාන් පෙරේරා වගේ මහජන පක්ෂයේ හිටපු අය ඔක්කොම වගේ.
ඔබටම අයිති රහසිගත තැනක් තිබුණා කියන්නෙ ඇත්තද?
කවුද කියන්නෙ... කොහෙද?
පිටකෝට්ටේ?
ඒ කාලේ තැන් තැන්වල තිබුණා. මට හරියට මතක නෑ.
අමතක වෙන්න බෑ... පසුකාලීනව කුමාර්මහත්තයත් එතැන ඉඳලා තියෙනවා?
න්... නෑ...
'කුමාර්' මහත්තයා හම්බ වෙලාම නැද්ද?
මට එහෙම මතකයක් නෑ.
එතකොට රතන හාමුදුරුවෝ?
හම්බවෙලා තියෙනවා. මහජන පුස්තකාලේ සම්මන්ත‍්‍රණයක් වෙලාවෙදී රතන හාමුදුරුවන්ව පැහැර ගන්න හැදුවා. ඒ වෙලාවෙදි රතන හාමුදුරුවන්ව බේරගෙන රාජිතගේ තැනක හැංගුවේ මං
කොහෙද රතන හාමුදුරුවන්ව හැංගුවේ?
විශේෂ තැනක නෙමෙයි. රාජිත මහත්තයගේ නොරිස් කැනල් තැන.
94 ඔබ විදේශගත වෙනවා නේද?
ඔව්.

චන්ද්‍රිකා මැතිනියට බයේ?
ඔව්. මොකද ඒ වෙද්දි පාද යාත‍්‍රා සිද්ධිය වගේ දේවල් එක්ක එතුමිය අපිත් එක්ක ලොකු වෛරයකින් හිටියේ. ඉතින් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් තමයි එහෙම කළේ.
කොහෙටද ගියේ?
කොරියාවට.
කොරියාවේ ගිහින් මොනවද කළේ?
මාසයක් විතර වැඩ කළා. ඊට පස්සේ වෙන වෙන ව්‍යාපාරත් කළා. 
මොනවද ඒ වෙන වෙන ව්‍යාපාර?
මං හිතන්නේ ඒක දැනගන්න අවශ්‍ය නෑ.
හොඳට හම්බ කළා?
ඔව්. හොඳට හම්බ කළා.
අවුරුදු කීයක් කොරියාවේ හිටියද?
02යි.
ඇවිත් මොනවද කළේ?
රාජිත සේනාරත්න ඇමැතිතුමා එක්ක පෞද්ගලික සම්බන්ධකම් තියාගෙන මහින්ද රාජපක්ෂ මහත්තය එක්ක දේශපාලන කටයුතුවල නිරත වුණා. මහින්ද මහත්තයා හිටපු ධීවර ඇමැති නිසා ධීවර කටයුතුවලට සම්බන්ධ වුණා.
ඔබට නැව් තියෙනවා නේද?
නැව් නෑ. බෝට්ටු තියෙනවා.

එතකොට ඔබ වමාකියලා ආමන්ත‍්‍රණය කරන්නේ කාටද?
නිර්මාල් රංජිත් දේවසිරිට.
ඔබ වමාට වෙඩි තියන්න ඉගැන්නුවා කියන්නෙ ඇත්තද?
නෑ... එහෙම ඉගැන්නුවේ නැහැ. දැන් ඕවා කියන්නත් හොඳ නෑ.
ඒත් ඔබතුමාට පිස්තෝලයක් තිබුණා?
ඔව්. පොඩි එකක්.
එංගලන්තේ නිෂ්පාදනය කරපු 3.8 පිස්තෝලයක්?
ඔව්.
කවුද පිස්තෝලෙ දුන්නෙ?
හැමිල්ටන් වනසිංහ. භීෂණ කාලෙ ආරක්ෂාවට.
තාමත් ඔබතුමා ළඟ ඒක තියෙනවා?
ඔව්. තාම තියෙනවා.
මොකටද පිස්තෝලයක්?
ආත්මාරක්ෂාවට.
රාජිත සේනාරත්න මහත්තයගේ පුතා චතුර සේනාරත්න කියනවා පාද යාත‍්‍රාවේ හරියටම ගියේ එයා කියලා. ඇත්තද?
(හිනා...) එතකොට එයාට අවුරුදු 10ක්වත් නැතුව ඇති. අපි චතුරට ඒ දවස්වල කිව්වේ බබාකියලා. ඉතින් එයා පොඩියි.
අම්මගෙන් බැණුම් අහ අහා ඉස්කෝලෙ යන්නෙත් නැතුව අපිත් එක්ක ආවා. මම දවස් 18ම ගියා. මං චතුරව වඩාගෙන ගියේ. සමහර වෙලාවට ජීප් එකේ ඔඩොක්කුවේ තියාගෙන ගියේ. අපි තමයි චතුරව පාද යාත‍්‍රාවෙ ගෙනිච්චේ.
චතුර සේනාරත්න, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කළ අභියෝගය ගැන ඔබ මොකද හිතන්නෙ?
ඒක තරුණකමට කියවුණ දෙයක්. ඒක සමහරවිට පවතින රැල්ලත් එක්ක ජනප‍්‍රිය වෙන්න කරපු ප‍්‍රකාශයක් වෙන්න ඇති.
කුරුණෑගල පැත්තේ ඔබට අයිති තැන් තියෙනවා කියන්නෙ ඇත්තද?
මට කියලා තාම ගෙයක් දොරක් නෑ.
එතකොට කුරුණෑගල සිංහ ලෙනකාගෙද?
ඒක අපි ආරක්ෂාව වෙනුවෙන් යොදාගන්න තැනක්. ඒ වගේ තැන් කිහිපයක්ම කුරුණෑගල තියෙනවා.
එතකොට බම්බලපිටියේ තියෙන ජුවලරි ෂොප් එක කාගෙද?
මට නම් එහෙම එකක් නෑ. 
එහෙනම් කාටද තියෙන්නෙ?
මගේ අක්කගේ මහත්තයගේ.
ඔබ ජානක පෙරේරා එක්ක හරි එකතුයිලූ?
අපොයි ඔව්.
පිස්තෝලෙකුත් දුන්නා?
නෑ. නෑ. පිස්තෝලෙ හම්බවුණේ ඊට කලින්. ඒක නීති විරෝධී එකක් නෙමෙයි. බලපත‍්‍රයක් තියෙනවා.
කැසිනෝ ගහනවද?
කැසිනෝ ගහන්නෙ නෑ. ඒත් මම සිකියුරිටි ෆර්ම් එකක් කරන නිසා ඒ තැන්වලට හැමදාම යනවා.
කැසිනෝ ගහන තැන්වලට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුත් එනව කියන්නෙ ඇත්තද?
ඔව්.
කවුද ඒ?
නම් වශයෙන් කියන්න බැහැ. ගොඩක් අය හම්බවෙනවා.
නම් ගම් කියන්න බෑ?
අපෝ බෑ...
ඔබට අනුව කැසිනෝ හොඳයිද නරකයිද?
අතිශයින්ම නරකයි. ලංකාවේ ඕනම කෙනෙක්ට කැසිනෝ ගහන්න පුළුවන්. ඒත් වෙනත් රටවල එහෙම බැහැ. ඒ අතින් අපේ කැසිනෝ අන්තිම නරකයි.
ඔබ කොහොමද හම්බන්තොට නගරාධිපති වෙන්නෙ?
මුල් කාලේ ඉඳන් තිබුණු දේශපාලන සබඳතා එක්ක තමයි.
අනෙක් නගරාධිපතිවරුන්ට නැති බලයක් ඔබට තියෙන්නෙ කොහොමද?
මහ නගරසභා අඥාපනතට අනුව විධායක ජනාධිපති හැරුණහම වැඩිම බලතල තියෙන්නෙ නගාරාධිපති තනතුරට. ඒත් මම ඒ බලතල පාවිච්චි කළේ නැහැ.
මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධ සිද්ධියේදී ඔබ මහනගර සභා ආඥාපනතට අනුවද හැසිරුණේ?
ඔය සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක්ට තියෙන්නෙ වැරැදි වැටහීමක්. ඔය සිද්ධිය වෙන වෙලාවේ ගුවන්තොටුපොළේ මගේ මිනිස්සු කවුරුවත් හිටියේ නැහැ. හම්බන්තොට මිනිස්සු තමයි හිටියේ. මාධ්‍යවේදීන් විතරක් නෙමෙයි පොලීසියත් හිටියා. ඉතින් එතැන හිටපු හැමකෙනාම දැක්කා ඇත්ත සිද්ධිය මොකක්ද කියලා. මම ඔය නඩුවෙවත් නෑ. ඕක සමහරු දේශපාලන වාසි ගන්න මාව සම්බන්ධ කරලා ගොතපු කතාවක්.
ඒත් ඒ සිද්ධියේ එක්තරා ඡායාරූපයක පිස්තෝලයක් තියාගෙන ඔබ ඉන්නවනේ?
ඔව්... මම ගියේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මං වෙඩි තියන්න ගියේ නෑ. මට ඕන වුණේ ඔය කියන සිද්ධිය සමථයකට පත්කරන්න. මමම තමයි පොලීසියත් ගෙන්නුවේ.
එතකොට ඒ ඡායාරූපය බොරු එකක්?
නෑ. ඒක වුණේ මෙහෙමයි. මන්ත‍්‍රීවරු ටික පරිස්සමට බස් එකට නග්ගලා යැව්වට පස්සෙ මං දැක්කා වරායට ඇතුළුවන ගේට්ටුව ළඟ පිරිසක් ඒ බස් එකට ගහන්න හදනවා. ඒ සිද්ධිය වෙනකොට මං හිටියේ වරාය ඇතුළෙ පරිපාලන ගොඩනැගිල්ල ඉස්සරහ. ඉතින් මම මන්ත‍්‍රීවරුන්ගේ බස් එකට ගහන්න හදන පිරිසව එළවන්න කියලා හිතාගෙන තමයි ගුවන්තොටුපොළ ඇතුළෙ ඉඳන් ගේට්ටුව දිහාවට දුවගෙන ආවේ. ඒ මං දුවන් එන පින්තූරෙ කවුරු හරි අරන් තියෙන්නෙ බස් එකේ ඉඳන්. ඒ ඡායාරූපෙ හරි සිද්ධිය නොදන්න කෙනෙක් දැක්කොත් එන්නෙ වැරැදි අවබෝධයක්. එහෙම නැතුව මමම බස් එකට නග්ගපු මිනිස්සුන්ට බස් එක යනකොට එළවලා ගිහින් වෙඩි තියන්න තරම් පිස්සුවක් මට නැහැ.
එරාජ් ප‍්‍රනාන්දු ආයෙත් මැතිවරණයකට ඉදිරිපත් වුණොත්?
අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය කරනවා.
දැන් ඔබේ පක්ෂය මොකක්ද?
මං හැමදාමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ.
කතා කළේ - ශාන්ත බණ්ඩාර - ලිව්වේ - සකු විතානගේ - ඡායාරූප - මංජුල ධර්මප‍්‍රිය

No comments:

Post a Comment