Wednesday, July 15, 2015

එළැඹෙන මැතිවරණය හා පුරවැසියා

කතුවැකිය

අගෝස්තු 17වැනිදාට යෙදී ඇති මහමැතිවරණය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඉතාමත් ම වැදගත් මැතිවරණයක් වන බවට සැකයෙක් නැත. එක් පැත්තකින් මැතිවරණ ප‍්‍රතිඵලය ගැන තිබෙන අවිනිශ්චිතතාව නිසා ය. අනෙක් පැත්තෙන් පුරවැසි ක‍්‍රියාකාරිත්වයට එහි තිබෙන ඉඩකඩ නිසා ය.

පසුගිය ජනවාරි 8වැනිදා ප‍්‍රදර්ශනය වූ විප්ලවීය පුරවැසි ක‍්‍රියාකාරිත්වය හා එකට තබා සලකන විට මේ මැතිවරණය පුරවැසියන්ගේ පාර්ශ්වයෙන් අතිශය වැදගත් එකකි. ජනවාරි 8වැනිදා වෙනස්කම් කිරීමෙන් රටේ දැනුවත් පුරවැසියන් බලාපොරොත්තු වූ වෙනස්කම් කිසිවක් සපුරා ඉටු වී නැති බව පැහැදිලි ය. එහෙත් කවර සීමාසහිතකම් තිබුණත්, වෙනසක් සඳහා රට ගමන් කරන පැහැදිලි පෙරනිමිති දැන් පෙනෙන්ට තිබේ. පසුගිය රජයේ ජනාධිපතිවරයා හා බලධාරීන් රට ඇදගෙන ගිය විනාශයට සාපේක්‍ෂ ව බලන විට, දැන් රට ගමන් කරමින් තිබෙන දිශාව කවර අතින් වුව ද යහපත් ය. බලාපොරොත්තු දනවනසුලූ ය. එහි තේරුම වැරදි නැති බව නොවේ. හැම තැනම ලොකු කුඩා කඩතොලූ ඇති නමුත්, දිශානතිය සුබවාදී බව ය. එය හිටපු ජනාධිපතිවරයාට තවමත් හිතාගන්නට බැරි ආකාරයේ වෙනස්කමකි.

එළැඹෙන මැතිවරණය පුරවැසියන්ගේ පැත්තෙන් වැදගත් වනු ඇත්තේ, කාරණා දෙකක් නිසාය. එක් කාරණාවක් නම් ජනවාරි 8වැනිදා පරාජය කළ අන්තවාදී බලවේගවලට නැවත රටේ දේශපාලන අවකාශයේ පෙරමුණට එන්නට නොදී අවසාන වශයෙන් හා තීරණාත්මක වශයෙන් යළිත් පරාජය කිරීම ය. අද වුව ද ඔවුන්ට තමන් කළ වැරදි ගැන විනිශ්චයක් ඇති බවක් නොපෙනේ. වැරදි පිළිගැනීමක් ද විවේචනයක් ද නැත. රට ඉල්ලන දේශපාලන වෙනස්කම් සඳහා අලූතෙන් සිතා සකස් කර ගත් නව න්‍යාය පත‍්‍රයක් නැත. ඒ සියල්ල වෙනුවට ඇත්තේ හුදෙක් යළිත් වැඩවසම් රජකෙනකු සිංහාසනයට ගෙන්වා වාඩි කරවීමේ වහලූන්ගේ ක‍්‍රියාන්විතයක් පමණකි. මේ ප‍්‍රයත්නය පරාජය කළ යුතු ය. ඒ පරාජය විසින් පමණකි, අනාගතයේදී නැවතත් ඔවුන්ගේ ක‍්‍රමය හිස එසවීම නොකෙරෙන බවට සහතික කළ හැක්කේ.

අනෙක නම්, ජනවාරි 8වැනිදා වෙනසෙන් පසු මේ දක්වා සාක්‍ෂාත් කරගත නොහුණු වෙනස්කම් සාක්‍ෂාත් කර ගැනීමේ දිසාවට තවදුරටත් ගමන් කිරීම ය. ඒ සඳහා ජනාධිපතිවරයාටත්, ඔහු සමග එක් ව ගමන් කළ සියලූ දේශපාලන පක්‍ෂවලටත් පුරවැසියන් විසින් එල්ල කැරෙන බලපෑම නොකඩවා පවත්වාගත යුතු ය.

මේ දෙක ම ඉටුකරගත හැක්කේ සක‍්‍රිය පුරවැසි සහභාගිත්වයකින් හා ක‍්‍රියාකාරිත්වයකින් මිස, ඒ සඳහා සාධාරණ හේතු ඇතිවා නමුත් කලකිරීමෙන් පැත්තකට වී සිටීමෙන් නොවේ. පුරවැසියන් පෞද්ගලිකව හා සමූහයක් ලෙස පැත්තකට වී සිටීමෙන් සිදුවන්නේ පරාජය කළ යුතු බලවේග නව දිරියක් ලබා ඉදිරි ගමන් ඇරඹීම ය. එය හැකි වැර යොදා වළක්වා ගත යුතු ය. ජනවාරි 8වැනිදා බලාපොරොත්තු වූයේ වහල්භාවයෙන් මිදුණු නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයකට පිටිය සකස් කර ගැනීම ය. සම්පූර්ණ නොවුණත් ඒ සිදුවෙමින් තිබේ. මේ බිම මත පුරවැසියා යළිත් පෞද්ගලික ව හා සාමූහික ව ශක්තිමත් ව නැගී සිටීමෙන් පමණෙකි, එහි ඉදිවන නව ලංකාව පුරවැසි හිතවාදී රටක් වනු ඇත්තේ.


No comments:

Post a Comment