Tuesday, July 21, 2015

ගෝඨාගේ සට්ටැඹි මේජර් ජෙනරාල්, ප්‍රභාකරන්ගේ සුදු වෑන් රියට බොරු අංක තහඩු සවිකර අවි සමග තම ආරක්ෂකයන් යැවුවේ කොහිද? පොලිසිය දුටු විට පලා ගියේ ඇයි?

(ලංකා ඊ නිව්ස්- 2015.ජූලි.21, ප.ව.8.00) 
රාජපක්ෂ රෙජීමයේ බියකරු මෘග චෞර පාලන සමයේ ගෝඨාභය රාජපක්ෂගේ සට්ටැඹියෙකු ලෙස ක්‍රියා කරමින් ඔහුගේ මිනීමරු නියෝග ක්‍රියාත්මක කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා නමැති අප්‍රසන්න හමුදා නිලධාරියා මේ මැතිවරණ සමයේ දී යලිත් රාජපක්ෂලාගේ යටිකූට්ටු කුමන්ත්‍රණයක් ඉටු කිරීමට ගොස් ප්‍රභාකරන්ගේ සුදු වෑන් රියක් සමග මිරිහාන පොලිසියට මාට්ටු වී තිබේ.
ඊයේ රාත්‍රී මිරිහාන ප්‍රදේශයේදී අණ නොතකා පොලිසියට වෙට්ටු දමමින් අධි වේගයෙන් පලා ගිය සුදු පැහැති වෑන් රථයක් පසුපස පන්නා අල්ලාගත් පොලිසියට දකින්ට ලැබුනේ එහි ගිනි අවි සහිතව සිවිල් ඇඳුමින් සිටි තිදෙනෙකි. ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා සිටියේ තමන් මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වාගේ අංග ආරක්ෂකයන් බවයි. වැඩි දුර සොයා බැලීමේදී ඔවුන් භාවිතා කළ වෑන් රථයේ අංකය ව්‍යාජ අංකයක් විය. එහි නියම අංකය අයත්වන්නේ කුලී කැබ්රථ සේවයකට අයත් කැබ් රියකට ය. එම කැබ් රිය හමුදාවේ වැඩ කටයුතු සඳහා කුලියට ගත් එකක් ද නොවේ. තව දුරටත් සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ මෙම වෑන් රිය ඝාතනයට ලක්වූ එල්ටීටීඊ නායක ප්‍රභාකරන් සහ එල්ටීටීඊ මුහුදු කොටි නායක සුසෙයි විසින් භාවිතාකරන ලද වෑන්රියක් බවයි. මෙම වෑන් රිය හමුදාවේ හෝ වෙනත් කිසිදු ස්ථානයක හෝ ලියාපදිංචියක් නැති අතර මෙම වෑන්රිය දැනට භාවිතා කරන්නේ මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා විසිනි.
පොලිසිය මේ තිදෙනා අත් අඩංගුවට ගෙන රඳවා ගෙන ප්‍රශ්න කළ අතර හමුදාවට දැනුම් දීමෙන් පසු හමුදා පොලිසිය විසින්ද වෙනම පරීක්ෂණයක් පවත්වනු ලබන බව කියයි. ලංකා ඊ නිව්ස් කළ විමසීමකදී හමුදා උසස් නිලධාරියෙකු පවසා සිටියේ ව්‍යාජ අංක තහඩු සහිත වෑන් රථයක සිවිල් ඇඳුමෙන් සැරසී ගිනි අවි රැගෙන යාම යුද හමුදා නීතිය උල්ලංඝණය කිරීමක් බවයි. මොවුන් සතුව තිබූ ගිනි අවි නීති විරොධී ඒවා නොවුනද හමුදා නීතිය උල්ලංඝනය කර තිබේ.
පොලිසිය මේ තිදෙනා අද සවස අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර රුපියල් ලක්ෂය බැගින් ඇප මත නිදහස් කර තිබීම පුදුමාකාරය.  
ප්‍රසන්න සිල්වා යනු රාජපක්ෂගේ ජයග්‍රහනය වෙනුවෙන් හමුදා ඇඳුමින් ජාතික රූපවාහිනියට පැමිණ ඍජුවම දේශපාලනය කළ අලුගුත්තේරු හමුදා නිලධාරියෙකි. ගෝඨාභය වෙනුවෙන් හමුදාවේ රහසිගත මිනීමරු ඒකක පවත්වාගෙන යමින් සිදු කළ නීති විරෝධී ඝාතන රැසක් පිළිබඳ ප්‍රශ්න කළ යුතු අයෙකි. කලක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිලිටරි ඇටෑචි ලෙස ක්‍රියාකරමින් රෙජීමයට එරෙහිව බ්‍රිතාන්‍යයේ සිට පවත්වාගෙන ගිය වෙබ් අඩවි මෙහෙයවූවන් දඩයම් කිරීමට පූර්ණ වෙර දරා තැටමූ පුද්ගලයෙකි. 
ජනවාරි 8 දාට පසු ආරක්ෂක අැමැති ධූරය බාර ගත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත්ව හෝ නොදැනුවත්ම හමුදාවන්හි සිටි මරාවාදී මිනීමරුවන් සොයා ඔවුනට එරෙහිව ක්‍රියා කරනවා වෙනුවට ඔවුන්ට තානාපති තනතුරු උසස්වීම් ආදිය ලබා දීම නිසා ඔව්හු යහපාලනයේ කකුලෙන් ඇදීමට පරාජිත රාජපක්ෂලා සමග රහසිගත සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටිති. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් රාජපක්ෂලා යටතේ ක්‍රියාත්මක වූ ආරක්ෂක අමාත්‍යාංශය බාර ගත්තද රාජපක්ෂ යුගයේ කළ කී දෑ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළේ නැත.
මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මෛත්‍රීපාල සිරිසේන යටතේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්තව මේ වන විට සේවය කරයි. 

No comments:

Post a Comment