Monday, July 20, 2015

සත්හඬ හෙළිදරව්ව - රාජකීය රන් කොල්ලය!

දයා නෙත්තසිංහ
'යක්ෂයාගේ පාරාදීසය' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නේ දකුණු ඇමෙරිකාවේ චිලී රට ආශ‍්‍රිතව පිහිටා ඇති අටකාමා කාන්තාරයයි. මිනිසුන්ට ජීවත්වීමට නොහැකි තරමට වියළි කාලගුණයක් පැවතීමත් ලෝකයේ වියළිමස්ථානය ලෙස සැලකීමත් මෙසේ හැඳින්වීමට හේතු වී ඇත. මේ කාන්තාරයේ චිලී භාෂාවෙන් ලියූ සුවිශේෂී වැකියක් තිබේ. අභ්‍යාවකාශයට පවා පෙනෙන පෘථිවිය මත ලියූ එකම වැකියද එයයි. මේ වැකිය පිළිබඳ ලොවට අනාවරණය වූයේ 2004 වසරේ ගූගල් සමාගමට අයත් (Google Earth) පරිගණක වැඩසටහන මඟින් පෘථිවියේ ත‍්‍රිමාණ භූගෝල සටහන් නිරීක්ෂණය කිරීමේදීය. කිලෝමීටර් 3.15ක් දුරට කාන්තාරයේ වැලි මත චිලී බසින් සටහන් කර ඇති එම වැකිය Ni pena ni miedo යන්නයි. එම වැකිය ඉංග‍්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ No Shame No fear යනුවෙන්ය. එහි සිංහල තේරුම ලැජ්ජා නැත බය නැතයන්නය.
වැකිය ලියා තිබුණේ අටකාමා කාන්තාරයේ වුවත් ලැජ්ජාත් නැති බයත් නැති වැඩ කෙරුණේත් කෙරෙන්නේත් මෙහිය. සසිරිබර මෙසිරිලකය.

ලැජ්ජ නහර සුන්නත් කළ රාජ්‍ය නායකයෝ
ලැජ්ජාත් නැති බයත් නැති වැඩ ඇරැඹුණු අවධියේ ලෝකයට පෙනෙන්නට ලෝක ප‍්‍රසිද්ධියට මේ රට නම් කරනු ලැබුවේ ආසියාවේ ආශ්චර්යයකියාය. එකල්හි රටේ නායකයා හැඳින්වූයේ ජනමූල නායකයා කියාය. ආඩම්බරකාර අප්පච්චි කියාය. ශ‍්‍රී රෝහණ ජනරංජන කියාය. වෝහාරපති කියාය. විශ්ව කීර්ති ශ‍්‍රී ත‍්‍රිසිංහලාධීෂ්වර ඇතුළු හැටහුටහමාරක් ගරු නම්බු නාමද පිදුණේය. ආශ්චර්යය කෙසේ වෙතත් එකල්හි යක්ෂයාගේ පාරාදීසයගොඩනගමින් තිබුණේය. මේ තත්ත්වය නොඉවසූ මෙරට හැටදෙලක්ෂයක් තරම් වූ බහුතර ජනතාවක් මේ රජා සිංහාසනයෙන් නෙරපා දැමුවේය. ඒ ඉකුත් ජනවාරි මස අටවැනි දිනය. රාජ සභාවේ අග‍්‍ර ඇමැතිකම ඉල්ලා පසුගියදා නාමයෝජනා දුන්නේ ලැජ්ජාවක් නැති ඒ රත්තරන්හොරුය. ඊට ඉඩ දුන් මෛත‍්‍රී නම් පාලකයාටත් ලැජ්ජාවක් තිබුණේ නැත.

රත්තරන් හොරකමඉකුත් වසර දහයක කාලය තුළ ලොව සිදුවූ දැවැන්තම කොල්ලකෑම්වලින් එකකි. දකුණු ආසියාවේ රාජ්‍ය නායකයකු කරන ලද විශාලතම හොරකමද මෙයයි. ලංකා ඉතිහාසයේ කිසිදු රජෙකු හෝ රාජ්‍ය නායකයකු මෙවැනි ජනතා දේපළ කොල්ලකෑමක් සිදුකර නැත. එවැනි ඉතිහාසයක් අපට තිබුණේද නැත. ඒවා සියල්ලම පහළ වූයේ ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කරන්නේ යැයි දිවුරා පොරොන්දු දුන් මැදමුලනේ කාඩරජාගේ සමයේදීය.
මෙතෙක් ලෝකයාගෙන් සහ රටේ ජනතාවගෙන් වසන් කළ ලොව විශාලතම රන් කොල්ලයේ ආශ්චර්යය මෙසේය.
යුද්ධය පැවති සමයේ නැතහොත් ආණ්ඩුවට අනුව මානුෂීය මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු රත්තරන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. රත්තරන් සමඟ එම සංවිධානය සතු බැංකුවල තිබූ මුදල් සේප්පු රැසක්ද අත්අඩංගුවට ගත්තේය.
යුද්ධය පැවති සමයේ මේ අත්අඩංගුවට ගත් මුදල් සහ රත්තරන් ට‍්‍රැක්ටර්වල පටවා රැගෙන යන දර්ශන ගෙදර ආලින්දයේ සිට රූපවාහිනියෙන් ඔබද දකින්නට ඇත.
යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත් රත්තරන් සහ මුදල් නියමිත පරිදි ඔවුන් විසින් වගකිව යුතු ආයතනවලට ලිපි ලේඛන සමඟ භාර දෙන ලදී. ඔවුහු ඔවුන්ගේ වගකීම ඉටුකළහ. ඉන්පසුව සිදුවූයේ කුමක්ද?

රන් ප‍්‍රවාහනය කළවුන් ද අතුරුදන්ය
යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත් මුදල් සහ රත්තරන් තොග 2009 ජූලි මස 11 වන දින වනවිට හෙලිකොප්ටර් යානා සහ ටිපර් රථ මඟින් කොළඹට රැගෙන ආවේය. ඉතා රහසිගත ස්ථානයක ඒවා ගබඩා කර තැබුවේය. රැගෙන ආ මුදල් ප‍්‍රමාණය පිළිබඳ මෙතෙක් කිසිදු ලිඛිත සාක්ෂියක් අපට නැත. එහෙත් ඒවා කොළඹට රැගෙන පැමිණි හා රහසිගත ගබඩාවල තැන්පත් කළ පුද්ගලයන් ජීවතුන් අතර සිටිනවාද නැතිනම් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පස් කඳුවලට යට වුණාද දන්නේ නැත.
එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත් රත්තරන් ප‍්‍රමාණය ටොන් තුන්සිය පනහක් හෙවත් කිලෝ තුන්ලක්ෂ පනස් දහසකට ආසන්නය. ඒවා නියමිත ක‍්‍රියා පටිපාටියට අනුව රජයට භාරදුන් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සාක්ෂි දරන්නේය. එහෙත් භාර දුන් බවට යුද හමුදාව සතුව තිබූ ලිඛිත සාක්ෂි දැන් අතුරුදන්ය. ඒවා රාජපක්ෂ පවුලේ ප‍්‍රධානියකුගේ නියෝග මත පුලූස්සා දමා ඇති බව දැනගන්නට ඇත.
යුද්ධය අවසන් වීමත් සමඟ හමුවූ රත්තරන් හා මුදල් පිළිබඳ කසුකුසුවක් ඇසෙන්නට පටන්ගත්තේ 2010 ජනාධිපතිවරණ වේදිකාවේය. නැගුණු ප‍්‍රශ්න කිරීම් හමුවේ රත්තරන් ටොන් 39.66ක් 2011 වසරේ විකුණා දැමීම සිදුවූ බව හෙළි විය. සරලව කිවහොත් රත්තරන් ටොන් 350න් ආසන්න වශයෙන් ටොන් 40ක් රාජ්‍ය භාණ්ඩාගාරයේ ලේඛනවලට ඇතුළත් කර තිබිණි.
2011 වසරේ විකිණූ රත්තරන් ගැන 2012 ජුනි මස 08 වන දින ජාත්‍යන්තර මුල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී මහ බැංකුවේ එතරම් රන් සංචිතයක් පැවතීම ගැන ගැටලූවක් පැනනැගුණු අතර එම ප‍්‍රශ්නයෙන් සරත් අමුණුගම කර ඇරියේය. දයාසිරි ජයසේකර මෙම ප‍්‍රශ්නය නගා තිබුණේ මහ බැංකුවේ වාර්තා පදනම් කරගෙනය. එම වාර්තාවලට අනුව මහ බැංකුවේ ඒ වනවිට පැවතියේ ටොන් 21ක රන් සංචිතයක් පමණි. එහෙත් සරත් අමුණුගම පාර්ලිමේන්තුවේදී කීවේ
ශ‍්‍රී ලංකාව සතු රත්තරන් සංචිතයෙන් මෙටි‍්‍රක් ටොන් 39.66ක් 2011 වසරේ විකුණා දැමූ බවය. ඉන් ඇමෙරිකානු ඩොලර් කෝටි 196.6ක මුදලක් උපයාගෙන තිබෙන බවත් හෙතෙම පැවසීය. විකුණා උපයාගත් මුදල් විදෙස් ව්‍යවහාර වත්කම් ලෙස ශ‍්‍රී ලංකාවේ අන්තර්ජාතික සංචිතයන්හි රඳවා ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. රාජපක්ෂගේ රන් කොල්ලයේ තොරතුරු එළියට එන්නේ මේ හෙළිදරව්වත් සමඟය.

තැරැව්කරුවෝ අටදෙනෙක්
2011 වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකුව මඟින් ජපන් සමාගමක් වන Credit Suisse Securities (Japan) Limited මඟින් ජපන් රජයට රත්තරන් ටොන් 40ක් විකුණාදැමීම සිදුකරන්නේ තවත් තැරැව්කරුවන් අටදෙනකු සමඟ ඇතිකර ගත් එකඟතාවය මතය. එකී එකඟතාව අනුව රන් කිලෝවක් සඳහා ගෙවනු ලබන ඇමෙරිකානු ඩොලර් හතළිස් හය දහසෙන් ඇමෙරිකානු ඩොලර් දෙදහසක් තැරැව්කරුවන්ට ලබාදීමට ගිවිසුම් ගැසුවේය.
තැරැව්කරුවන් අටදෙනා වන්නේ,
01. මර්සුමුරා (ජපන් ජාතික)
02. තුවාන් බාගුස්
03. රාජ් ගෝපාල් කර්තීපන්
04. එස්. සෝමසේකරන්
05. අයි. උපුල් කරුණාරත්න
06. තරංග මහේෂ් ඉන්දික සමරසිංහ
07. යෝගරත්න විමල්සිරි ඉලංගකෝන්
08. නෙවිල් යෝගේන්ද්‍රන් ක‍්‍රිෂ්ටි සුරේෂ් කුමාර යන පිරිසය.
අට දෙනාගෙන් සිවුදෙනකු එවකට අරලියගහ මන්දිරයේ සෙවණේ සිටි අයය. එස්. සෝමසේකරන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ සේවකයෙකි. ගිවිසුම් ප‍්‍රකාරව කොමිස් මුදලින් කොටසක් හෝ ලබාගෙන තිබුණේ මර්සුමුරා (ජපන් ජාතික), තුවාන් බාගුස්, රාජ්ගෝපාල් කර්තීපන්, එස්. සෝමසේකරන් යන සිවුදෙනාය. ඉතිරි අයට කොමිස් මුදල ලබා දුන්නේ නැත. නීත්‍යනුකූලව ගිවිසුම් ප‍්‍රකාරව ගනුදෙනුව සිදුකළත් රාජපක්ෂගේ දේශපාලන බලයෙන් සියල්ල යටපත් කළේය. තැරැව්කරුවන්ට ගෙවිය යුතු මුදල් ගෙව්වේ නැත. මේ ගැටලූව නිරාකරණය කර දෙන ලෙස එක් තැරැව්කරුවකු වන උපුල් කරුණාරත්න මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වරින් වර ඇවටිලි කළේය. අරලියගහ මන්දිරයටත් මැදමුලන වලව්වටත් ගියේය. අනතුරුව 2013.12.03 වන දින ලිඛිතවම දැනුම් දුන්නේය. පිළිතුරක් නැත. වැඩක් වූයේ නැත. ඉන්පසුව 2015.05.09 වන දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන්ද උපුල් කරුණාරත්න මහතා ඉල්ලා සිටියේ මෙම ගැටලූව නිරාකරණය කරදීමට මැදිහත් වන ලෙසයි. මේ මහා රන්කොල්ලය පිළිබඳ ලංකා ඩේලී වෙබ් අඩවිය මඟින්ද වරින් වර හෙළිදරව් කළේය. ජනමාධ්‍යවේදීන් ප‍්‍රවෘත්ති සාකච්ඡාවලදී මැති ඇමැතිවරුන්ගෙන් විමසා සිටියේය. ඉකුත් ආණ්ඩුව සේම යහපාලන ආණ්ඩුවේ කිසිවකු පිළිතුරු දීමට ඉදිරිපත් වුයේ නැත. රන් ගනුදෙනුව සම්බන්ධ ගිවිසුම (AGREEMENT) අත්සන් තබා සහතික කර ඇත්තේ නීතිඥ සහ ප‍්‍රසිද්ධ නොතාරිස් දිවුරුම් කොමසාරිස් සම්පත් චාමින්ද ගමගේ මහතා ඉදිරිපිටදීය.

තැරැව්කරුවන්ටත් පොල්ල
මේ එකඟතා ලියවිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ අතට පත්කරන්නේ ඔහුගේ රහස් ගනුදෙනු මෙහෙයුමේ ප‍්‍රධානියා වූ සප්හානී සෝමසේකරන් විසිනි. ඒ 2011 නොවැම්බර් 19 වන දිනය. රත්තරන් ටොන් හතළිහේ ගනුදෙනුව සඳහා ජපන් රජය වෙනුවෙන් ක‍්‍රියා කළ සමාගම් දෙක වූයේ ජපුගා හෝල්ඩිංග්ස් (Japuga Holdings Company Limited) සහ ක්‍රෙඩිට් ස්විස් (Credit Suise Securities Limited) යන සමාගම් දෙකය. ගනුදෙනුව වෙනුවෙන් මැදිහත් වූ ජපන් ජාතික ව්‍යාපාරිකයා වන්නේ (Keiji Matsumura) කෙයිජි මට්සුමුරාය. සියයට 999.5 පිරිසුදු කිලෝ එකේ සහ කිලෝ 12.5 රත්තරන් පොලූ (bar) ටොන් 40ක් එක කිලෝවක් ඇමෙරිකානු ඩොලර් (46000) බැගින් ජපන් සමාගම් විසින් මිලදී ගනු ලැබීය. මෙම රත්තරන් වසර පහක් පැරැණි බවද වාර්තා වේ. රජය සඳහා ඇමෙරිකානු ඩොලර් (44000)ක් බැගින් එක් කිලෝවක් සඳහා ගෙවූ අතර තැරැව්කරුවන්ට කිලෝ එකකින් ඩොලර් 2000ක් සමසේ ලබාදීමට නියමිතව තිබුණි. තැරැව්කාර ගාස්තුව ඒ අනුව රුපියල්වලින් නම් රුපියල් කෝටි හයසියයකි.
එහෙත් රාජපක්ෂගේ හිතවත් සිවුදෙනකුට පමණක් යම් ප‍්‍රමාණයක කොටස් මුදලක් ලැබී තිබිණි. ඉතුරු සියලූ මුදල් රාජකීය පවුලේ සාක්කුවට ගියේය. නිර්ලජ්ජිත කොල්ලයේ තතු එසේය. ඒ නීත්‍යනුකූලව කළ රත්තරන් ගනුදෙනුව හෙවත් (AU) වෙළෙඳාමේ හෙලූවය. නීති විරෝධීව කළ කොල්ලය ඊට හපන්ය. 2012.04.28 වන දින රන් ගනුදෙනුවේ එක් තැරැව්කරුවකු වූ අයි. උපුල් කරුණාරත්න ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට යොමුකරන ලද ලිපියෙන් කියැවෙන්නේ තවත් රත්තරන් ටොන් තුන්සියයකට ආසන්න ප‍්‍රමාණයක් ජපන් සමාගම් හරහා ජපන් රජයට විකුණා ඇති බවයි. ජපනා සමඟ මේ හොර ජාවාරම කළේ කවුරුන්ද යන්න නැවත කිව යුතු නැත. මේ ගනුදෙනුවට අදාළ මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයේ ගිණුම්ගත කළේ නැත. එය සිදුකරන ලද්දේ රහසිගත ගනුදෙනුවක් ලෙසය. ජපනාගේ ලිපි ලේඛනවලට අනුව ගනුදෙනුව කෙරී ඇත්තේ 2012.03.12 වන දිනය.
කොළඹ රහසිගත ගබඩාවක තැන්පත් කර තිබූ රත්තරන් ටොන් 310 කන්ටේනර් 16ක පටවා කොළඹ වරායෙන් ජපානයට පිටත්කර හැරියේය. මේ ගනුදෙනුව සහසුද්දෙන්ම දන්නේ තිදෙනෙකි. ඒ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් හා වරාය අධිකාරියේ හිටපු සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රමසිංහය. කොළඹ රහසිගත ගබඩාවක තිබූ රන් තොගය පරීක්ෂා කිරීමට පැමිණියේ ජපන් ජාතික (Keiji Matsumura) කෙයිජි මට්සුමුරා, (Rajagopal Kartheepn) රාජගෝපාල් කර්තීපන් ඇතුළු ජපන් නියෝජිත පිරිසකි. රන් තොගය පරීක්ෂා කර එම රන් පොලූවල එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සලකුණු ඇති නිසා ඒවා ඉවත් කර දෙන ලෙස දැනුම් දී තිබිණි. පසුව ඒවා මකා දැමීමට පියවර ගත්තේය. ජපන් නියෝජිත පිරිස රන් තොගය පරීක්ෂා කරන ආකාරය කිසියම් පුද්ගලයකු වීඩියෝ කරනු ලැබීය. ඔහු දැන් අතුරුදන්ය. මේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අත්අඩංගුවට ගත් රත්තරන් යනු මාල, වළලූ, මුදු කරාබු නොවේ. ඒවා තිබී ඇත්තේ සුළු ප‍්‍රමාණවලිනි.

නිමි රන් ආභරණ ආර්යාව යටතට
ආර්යාව වගකීවේ ඒවාටය. රන් ආභරණ තිබී ඇත්තේ ටොන් දෙකකට ආසන්න ප‍්‍රමාණයකි. අනෙක් සියල්ලම ලොව පිළිගත් ප‍්‍රමිතියෙන් යුතු ඉහළම රත්තරන් පොලූය. ඒවා එල්.ටී.ටී.ඊ. බැංකුවලත් පොළොව යටත් ගබඩා කර තිබූ ඒවාය. මේ රත්තරන් ගැන ඔත්තුව ලබාදී ඇත්තේ කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන්ය. රාජපක්ෂ සමාගමට රන් නිධානය පෙන්වා දුන් නිසා ඔහුට ජීවිත දානය ලැබුණේය. එල්.ටී.ටී.ඊ. සතු විදෙස් වත්කම් තිබුණේද කේ.පී.ගේ නමටය. ජීවිතය බේරාගැනීම සඳහා කේ.පී.ට එම වත්කම් තිබෙන තැන් පෙන්වා දීමට සිදුවුණි. වෙන මොනවා නැතත් රත්තරන් ටොන් ගණනින් සඟවා තිබූ තැන් ගැන තොරතුරු ලබාදීමම ප‍්‍රමාණවත්ය. මේ රත්තරන් තොගය වෙනුවෙන් ආර්යාවගේ ගණකාධිකාරීවරයා වන ප‍්‍රසන්න ලියනාරච්චි ඇතුළු ඇමැතිවරු කිහිපදෙනකුම උනන්දු වූ බව ටොන් 40 (AU) හෙවත් රත්තරන් වෙළෙඳාමට අතරමැදියන් ලෙස කටයුතු කළ පිරිසගේ අදහසයි.
මේ මහා කොල්ලයෙන් රාජපක්ෂ සමාගම උපයා ඇති මුදල කොපමණද? රත්තරන් කිලෝග‍්‍රෑම් එකකට ඇමෙරිකානු ඩොලර් 46000 බැගින් රත්තරන් කිලෝ ග‍්‍රෑම් තුන්ලක්ෂ දසදහසකට ඇමෙරිකානු ඩොලර් බිලියන 14.2 (14260000000)ක් උපයා ගත්තේය. මෙම මුදල රුපියල්වලට හැරවූ පසු ආසන්න වශයෙන් රුපියල් කෝටි එක්ලක්ෂ අසූපන්දහස් තුන්සිය අසූව (1,853,800,000,000)කි. මේ මුදලින් එක රුපියලක්වත් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබුණේ නැත. මේ මහා කොල්ලය සාමාන්‍ය ජනතාවට නම් හිතාගන්නවත් බැරිය.

ඇතෙක් බර වස්තු
ඉතිහාසයේ මෙරට රජවරුන් සතුව ඇතෙක් බරට වස්තුව තිබූ බව ජනප‍්‍රවාදයේ එයි. ඇතෙක් බරට වස්තුව රුවන්වැලිසෑයේ තැන්පත් කළ බවද කියැවේ. ඒ වස්තුව රන්, රිදී, මුතු, මැණික් ඇත්දත්වලින් සමන්විත වූවකි. තනිකරම රත්තරන් නොවේ. ඇතෙකුගේ සාමාන්‍ය බර කිලෝග‍්‍රෑම් 5500ක් හෙවත් ටොන් පහ හමාරකි. ඒ අනුව රත්තරන් ටොන් 350ක් යනු ඇතුන් හැත්තෑවකගේ පමණ බරකි.
ශ‍්‍රී රෝහණ ජනරංජන කොල්ල කෑ රත්තරන් තොගයේ බර ඇතුන් හැත්තෑවකගේ බරට සමානය. ලෝකයේ මෑත යුගයේ සිදුවූ දැවැන්තම රත්තරන් කොල්ලයේ තරම තේරුම් ගැනීමට මේ ඇත් උදාහරණය ප‍්‍රමාණවත්ය.
තක්කඩි පාලකයන් යළිත් බලයට ඒමට පොරකන්නේ මේ හොරකම් වසාගැනීමටය. මේ රන් කොල්ලය සම්බන්ධව රහස් පොලීසියට පැමිණිලි කෙරුණත් රාජපක්ෂ ආණ්ඩුව ඒවා විමර්ශනය කිරීමට ඉඩ දුන්නේ නැත. යහපාලන ආණ්ඩුව බලයට ඒමත් සමඟ රත්තරන් වෙළෙඳාමේ අතරමැදියන් ලෙස කටයුතු කළ පිරිස් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යළිත් පැමිණිලි කළෝය.

නිරුවත් දේශපාළුවෝ
දූෂිතයන්ට දඬුවම් දෙන බවටත් වංචාව දූෂණය කොමිස් ගැහිලි නවතා දමන බවටත් ජනතාවට පොරොන්දු කප්පරක් දුන් යහපාලන නායකයෝ තද නින්දේය. ජනාධිපතිවරණ සමයේ වංචාවට දූෂණයට එරෙහිව නැගූ හඬ තුනී වී ගොස්ය. දූෂිතයන්ට දඬුවම් දෙන බව කී ඇතැම් නායකයෝ දැන්දූෂිතයන් සමඟ එකම වේදිකාවකය. හොරුන්ට, වංචාකාරයන්ට, කුඩුකාරයන්ට නාමයෝජනා නොදෙන බවට අපේ කන් රිදෙනතුරු මොර දුන් පාලකයෝ අද මීක් සද්දයක් නැත. අප දැන් සිටින්නේ කිසිදු දූෂණයක් වංචාවක් නොකෙරුණු රටක වාගේය. බඩගින්නට වෙරළු ගෙඩියක් ඇහිඳ කෑ හය වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුන් තිදෙනකු එම වෙරළු ගසටම තබා බැඳ දඬුවම් කරනු ලැබුවේ ඉකුත් ජූලි මස අටවැනි දිනය. ඒ හැටන් ලිඳුල ප‍්‍රදේශයේය. හොරු සිංහාසනාරූඪ වන්නට දඟලන රටක වෙරළු අහුලාගත් දරුවන් ගස්බැඳීම කෙතරම් නිවට ක‍්‍රියාවක්ද? මේවා අහන දකින විට පළමුව සිනහ යන්නේය. දෙවනුව බර කඳුළු වැටෙන්නේය. වෙරළු ඇහිඳ ගත් වරදට දඬුවම ගස් බැඳීම නම් මේ රාජකීය හොරුන්ට දෙන දඬුවම කුමක්දැයි තීන්දු කිරීම සාධු ජනයන්ගේ ජනතා අධිකරණයට බාරය.



No comments:

Post a Comment