Monday, July 20, 2015

“පික් පොකට් කාරයනුත් සන්ධානෙන් එනවා“

වේරගොඩගේ සජිව විජේවීර
දූෂිතයන්, කොල්ලකරුවන්, පික්පොකට් කරුවන් නැතිව අපි ශක්තිමත් ආණ්ඩුවක් හදනවා. හිටපු ජනාධිපති සමග එක්ව සිටින්නේ තමන්ගේම අයගේ පොකට්ටුවට විදින හොරු රැළක්. යැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ගාල්ල ලයිට්හවුස් හෝටලයේ පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘ පසුගිය දා අනුරාධපුරයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැළිය ආරම්භ වීමට පෙර හිටපු ජනාධිපතිතුමා සමග පිරිසක් ශ්‍රී මහා බෝධියේ උඩමළුවට ගිහින් තිබුණා. එතැනට ගියේ සීමා සහිත පිරිසක් විතරයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන්, හිටපු මැති ඇමතිවරු පමණයි. මේ පිරිස අතර සිටි ගිතාංජන ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය නැතිවෙලා. ඔහු එය හැමෝගෙන්ම අහමින් සෙව්වත් ලැබිලා නැහැ. නමුත් ටික වේලාවකින් උඩ මළුවට පහළ මේ මුදල් පසුම්බිය වැටී තිබිලා. බලන විට එහි සතයක්වත් ඉතිරිවෙලා නැහැ. ඉතින් කවුද මේ පොකට් ගැහුවේ. මේ කණ්ඩායමේ හිටපු අයමයි. ජනතාවගේ මුදල්, පොදු දේපල කොල්ලකාපු අයට තමන්ගේ පුරුද්ද නවත්වන්න බැහැ. එකට ඉන්න මිනිහාගේ පොකට් එකට හරි විදිනවා. ඉතින් මේ වගේ මංකොල්ලකාරයෝ තමයි අපිත් එක්ක ඡන්දයට ඉදිරිපත් වෙලා ඉන්නේ.“
‘‘ අද රටේ ජනතාවට ඉතා හොඳ අවස්ථාවක් ලැබිල තියෙනවා දූෂිතයන් මංකොල්ලකරුවන් නැතිව, උගත් බුද්ධිමත් අවංක පිරිසක් පාර්ලිමේන්තුවට තෝරාපත්කරන්න. එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස අලියා ලකුණින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශ කළාට පසු පසුගිය ජනාධිපතිවරණයේ දී යහපාලනය වෙනුවෙන් පෙනී සිටි සියළුම දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා සිවිල් සංවිධාන, පොදු ජන බලවේග අප සමග අත්වැල් බැඳ ගත්තා. ඔවුන් පිළිගන්නවා යහ පාලන සංකල්පය ඉදිරියට ගෙනගොස් මේ රට ගොඩනගන්න එක්සත් ජාතික පක්ෂය සමග එකතුවිය යුතු බව. ඒ අනුව අපි පුළුල් ජාතික පෙරමුණක් ලෙස කටයුතු කරනවා. සියළු බලවේග අප සමග ඒකරාශී වී හිටපු නායකයාගේ වංචාකාරයන්, දූෂිතයන් පරාජය කරන්න කටයුතු කරනවා. අපේ මේ වැඩපිලිවෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අනුමත කරනවා. එතුමා එදා පැහැදිලිවම කියා සිටියා තමන් ජනවාරි අට වැනිදා ලබාගත් ජයග්‍රහණය තහවුරු කිරීමට කටයුතු කරනවා කියා.

No comments:

Post a Comment