Wednesday, July 15, 2015

මල්වානේ මන්දිරය අපේ නොවේ

ලසන්ත රුහුණගේ
දෙදහස් පහළොව ජූනි 22 දින සහිතව නීතිඥ සුලානි ඉන්දිකා වන්නිආරච්චි කිරිබත්ගොඩ රෝහල පාරේ අංක 212හි මුදිත ජයකොඩි ඇසෝසියේට්ස් වෙත ලියාපදිංචි තැපෑල වෙතින් යවන එන්තරවාසියේ සඳහන් කරන්නේ සිය සේවාදායකයා වන සියඹලාපේ, සියඹලාපේ දකුණ මාහේන පාර, අංක 159ඒ හි පදිංචි ඕලූ ඇරේන්ජ්මන්ට්ස් හිමිකරු රාමවික‍්‍රම ගමච්චිගේ උපුල් කුමාර යන අයට මල්වාන රිවර් සයිඞ් විලාව්‍යාපෘතියේ ඉදිකිරීම් වෙනුවෙන් තවදුරටත් ලැබිය යුතුව ඇති රු. 31664589.57ක මුදල සහ අදාළ කාලයේදී ඊට ලැබිය යුතු නෛතික පොලියද එම ලිපියේ දින සිට දින 21ක කාලයකදී ගෙවීමට කටයුතු කරන ලෙස හා නොඑසේ නම් නඩු පවරා එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන බවය.

අදාළ රිවර්සයිඞ් විලාවැඩබිමේ මුදිත ජයකොඩි ඇසෝසියේට්ස්හි උපදෙස් පරිදි නිවාස මන්දිරයක් සිය සේවාදායකයා වන ඕලූ ඇරේන්ජ්මන්ට් විසින් ඉදිකරන ලද බවද, එම නිවාස මන්දිරයේ අයිතිකරු කවුරුන්ද යන්න සඟවමින් සහ කිසිදු කොන්දේසි පත‍්‍රයක් රහිතව එම ඉදිකිරීම් සිය සේවාදායකයා වෙත ලබා දුන් බවද එහි සඳහන්ය.

 මුදිත ජයකොඩි ඇසෝසියේට්ස්හි උපදෙස් පරිදි සිය සේවාදායකයා ව්‍යාපෘති ගණනාවක් මීට පෙර නිමකර ඇති බවත්, එම විශ්වාසය මත අදාළ මල්වාන වැඩබිමෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරගෙන ගිය බවත් එහි සඳහන්ය. අදාළ රිවර්සයිඞ් විලාමන්දිරයේ ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ පැමිණි බවත්, ඉන් අනතුරුව පුෂ්පා රාජපක්ෂ හා ඇයගේ දියණියද වරින්වර පැමිණ ඉදිකිරීම් කටයුතු ඔවුන්ගේ අවශ්‍යතා පරිදි වෙනස් කිරීමට උපදෙස් ලබා දුන් බවත්, එම අවස්ථාවලදී මුදිත ජයකොඩි ඇසෝසියේට්ස්හි, එහි සේවකයන්ගේ හා නියෝජිතයන්ගේ පසු හැසිරීම මත එම ඉදිකිරීම බැසිල් රාජපක්ෂගේ හා එම පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා මත ඉටු කෙරෙන දෙයක් බව සිය සේවාදායකයා වෙත හෙළිවූ බව එහි සඳහන්ය.

එකී ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකර ගැනීමේදී ව්‍යුහාත්මක සැලසුම්පත් නිසි පරිදි නිසි කාලසීමාවේදී ලබාදීමට කටයුතු නොකළ බවත්, කටයුතු සඟවන ආකාරයෙන් ක‍්‍රියා කළ බවත්, ඉටුකළ කාර්යයන් වෙනුවෙන් සේවාදායකයාට ලැබිය යුතු මුදල් නිසි පරිදි ගෙවීම අතපසු කරමින්, බැසිල් රාජපක්ෂ හා ඔහුගේ බලය සහිත සාමාජිකයන්ගේ බලය සිය සේවාදායකයා වෙත පෙන්වමින් හා බියගන්වමින් සිය සේවාදායකයාට ලැබිය යුතු මුදල් හේතු රහිතව නිර්මාණය කරන ලද ව්‍යාජ හේතු දක්වමින් නීති විරෝධීව කපා හරිමින් ව්‍යාපෘතියේ ඉටුකරන ලද සේවාවන් වෙනුවෙන් ලැබිය යුතු මුදල් බලහත්කාරී ලෙස මංකොල්ලකෑමට යොදා ගත් බවත් එහි සඳහන්ය.

 ව්‍යාපෘතිය වෙනුවෙන් සිය සේවාදායකයා රු. ඉදිරිපත් කරන ලද අවසාන බිල්පතේ මුළු මුදල රු. 103496140.82ක් බවත් එම මුදල රු. 71831551.25කට අඩු කොට ඊට අත්සන් ලබාගැනීමට කටයුතු කර ඇති බවත්, බැසිල් රාජපක්ෂ හා ඔහුගේ පවුලේ දේශපාලන බලය හා භීතිය උපයෝගී කරගනිමින් එය සිදුකර ඇති බවත් එහි සඳහන්ය. එසේම සිය සේවාදායකයා එසේ සකස් කරන ලද අවසන් බිල්පතෙහි සඳහන් මුදලට අත්සන් නොයෙදුවහොත් කිසිදු මුදලක් නොගෙවන බවට තර්ජනය කර ඇති බවත්, එකී දේශපාලන බලයෙන් භීතියට පත්වූ සිය සේවාදායකයා වෙන විකල්පයක් නොමැති තැන ඊට අත්සන් යොදා ඇති බවත්, සිය සේවාදායකයාගේ හිස් ලිපි ශීර්ෂයක් ලබාගෙන මුදිත ජයකොඩි ඇසෝසියේට්ස්ට අවශ්‍ය පරිදි එහි අන්තර්ගතය සකස් කොට සිය සේවාදායකයාගේ බිරිඳගේ අත් අකුරින් එහි කොටසක්ද ඇතුළත් කරවාගෙන සිය සේවාදායකයාගේ හා බිරිඳගේ අත්සනද තර්ජනය මත ලබාගෙන ඇති බව එහි තවදුරටත් සඳහන්ය.
සිය සේවාදායකයා විසින් ඉදිරිපත් කරන ලද බිල් ප‍්‍රකාරව ඔහුට ලැබිය යුතු මුදල නිසි පරිදි නොගෙවීම සම්බන්ධයෙන් වෘත්තීය උපදෙස් ලබාගෙන ඇති බවද එම උපදෙස්වලින් පැහැදිලි වී ඇත්තේද සිය සේවාදායකයාට ලැබිය යුතු මුදල් නීති විරෝධීව හා අසාධාරණව කපා හැර ඇති බවද එහි තවදුරටත් සඳහන් කර ඇත. එම නිසා සිය සේවාදායකයාට සමස්ත ක‍්‍රියාදාමය හේතුවෙන් සිදුවී ඇති හානිය පාඩුව හා අලාභය රුපියල් ලක්ෂ දෙසීයකට තක්සේරු කරන බවත් එය දින 21ක කාලයකදී ලබා නොදුන්නහොත් එය ලබාගැනීම සඳහා නඩු පවරන බවත් අවසන් වශයෙන් අවධාරණය කර ඇත.

මෙකී සිද්ධිය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කිහිපයක් මගින් ප‍්‍රචාරය වීමෙන් පසු ඊට ප‍්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නීතිඥවරුන් විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ සිය සේවාදායකයාගේ හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ කිසිදු සම්බන්ධයක් ඉහත කී නිවාස මන්දිරය සම්බන්ධයෙන් නොමැති බවයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නීතිඥයන් එසේ කීවද අදාළ නිවාස මන්දිරයට මුල්ගල් තැබීමේ සිට එහි වැඩ අවසන් වන තෙක් පුෂ්පා රාජපක්ෂ හා ඇගේ දියණිය විවිධ ආකාරයෙන් සම්බන්ධවෙමින් එම ඉදිකිරීමේ කටයුතු ඔවුන්ට වුවමනා ආකාරයට සිදු කළ බව එම ඉදිකිරීම්හි විවිධ අදියරයන්ට සම්බන්ධවූ පිරිස්වලට රහසක් නොවන බව අප කළ සොයා බැලීම්වලදී දැනගන්නට ලැබුණි.

එමෙන්ම අදාළ නිවාස මන්දිරය ඉදිකර ඇති අක්කර 16හි රූඞ් 1යි පර්චස් 8ක් වූ විශාල ඉඩම තුළ එළවළු, පලතුරු හා මස් පිණිස වන සතුන් සීඅයිසී සමාගම මගින් වගා කරමින් පවතින බවද (සීඅයිසී වත්ත නමින් එම ඉඩම හඳුන්වන්නේ ඒ නිසාය.) එකී අස්වැන්න රාජපක්ෂ පවුල වෙත ලබාදීම සිදුකරන බවද එම වගා කටයුත්ත සඳහා එම ඉඩමේ පදිංචි වී සිටින සීඅයිසී නියෝජිතයාට මෙන්ම සීඅයිසී සමාගමටද රහසක් නොවේය. රටේ ජනතාව වස විස එන්නත් කර නිෂ්පාදනය කරන එළවළු, පලතුරු, මස්මාංශ අනුභව කරමින් සිටියදී රාජපක්ෂවරුන් වස විසෙන් තොර තමන්ගේම වූ ආහාර ගැන සැලසුම් කර ඇති බව ඉන් පෙනීයයි. මෙම නිවාස මන්දිරය සඳහා රාජපක්ෂවරුන්ගේ ඇති සම්බන්ධය සඟවන්න උත්සාහ කළද ඉන් පලක් වන්නේ නැත. හරියටම සීඑස්එන් නාලිකාවට තමන්ගේ සම්බන්ධයක් නැතැයි මුල් කාලයේ මහින්ද රාජපක්ෂ පවුල කී ආකාරයමය.

මෙය මෙම නිවාස මන්දිරයේ ඉදිකිරීම් උපදේශන සේවා සැපයූ මුදිත ජයකොඩි ඇසෝසියේට්ස් ආයතනය පිළිබඳව ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ කිසිවකුටවත් අමුතුවෙන් හඳුන්වාදීම් සිදුකළ යුතු නැත. රාජපක්ෂවරුන්ගේ ඉදිකිරීම් උපදේශන සමාගම ඔවුන් බව එම ක්ෂේත‍්‍රයම දන්නේය. හෝමාගම අකුරේගොඩ දැනට ඉදිකෙරෙමින් පවතින යුද හමුදා මූලස්ථානය, බැසිල් රාජපක්ෂගේ ගම්පහ දිස්ත‍්‍රික් කාර්යාලය, හිටපු ජනාධිපති අතිරේක ලේකම් ගාමිණී සෙනරත්ගේ නිවස, හිටපු ජනපති සමයේ අරලියගහ මන්දිරයේ අලූත්වැඩියාවන් ආදී රාජපක්ෂවරුන්ට සම්බන්ධ බොහෝ ඉදිකිරීම්වලට අදාළ ඉදිකිරීම් උපදේශන සේවා සපයා තිබුණේ මුදිත ජයකොඩි ඇසෝසියේට්ස් සමාගමය.

ඇත්ත වශයෙන්ම ඕලූ ඇරේන්ජ්මන්ට් ඉදිකිරීම් සමාගමට මෙම නිවස ඉදිකරන්නයැයි ප‍්‍රකාශ කර ඇත්තේ ආදර්ශ මන්දිරයක් වශයෙන්ය. සුළු සුළු වෙනස්කම් සහිත එවැනිම තවත් මන්දිර කිහිපයක් ඉදිකිරීමට නියමිත බව මුලින් ප‍්‍රකාශ වී ඇත. වර්ග අඩි 10,000කින් යුත් ඡුායාරූපයේ ඇති මෙම සුවිසල් මන්දිරයේ ඇත්තේ කාමර දෙකක් බව කිවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. රාජවංශයක කාමසුඛල්ලිකානු ජීවිතයක සැප පහසුව ඉන් පෙන්නුම් කෙරේ.

දොර ජනෙල් විදුලිය හා සියලූ උපාංග ඇතුළුව එම මන්දිරයේ ඉදිකිරීමේ මුළු වැය රුපියල් කෝටි 15ක් පමණ වී ඇත. ඕලූ ඇරේන්ජ්මන්ට් ඉදිකිරීම් සමාගමේ බිල පමණක් කෝටි 10කට වැඩිවීමෙන් එය තවදුරටත් සනාථ කරයි.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මේ සා විශාල ඉදිකිරීමක් ඉදිකර අවසන් වන තෙක්ම ඒ සඳහා අනුමත සැලැසුමක් නොතිබීමය. පර්චස් දෙක තුනක සිදුකරන සුළු ඉදිකිරීමකට පවා අදාළ පළාත් පාලන ආයතනයෙන් අනුමැතියක් අවශ්‍ය බවට නීතිරීති පවතිද්දී මේ සා විශාල මන්දිරයක් එසේ නොවී පසුගිය කාලයේ ඉදිකළ හැක්කේ කාටද යන්න අමුතුවෙන් කිවයුතු නැත.

රාජපක්ෂවරුන්ගේ දෛවඥයා වූ සුමනදාස අබේගුණවර්ධන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබා දුන් ප‍්‍රකාශයක රාජපක්ෂ වරුන්ගේ මහා මන්දිර පිළිබඳ සඳහනක්ද ඇති බව පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ මන්දිරයද එහි සැබෑ හිමිකරුවන්ගේ කේන්දර ගළපා සුමනදාස අබේගුණවර්ධන ලබාදුන් නැකැත් වේලාවන් අනුව ඉදිකරන ලද්දක් බව එම පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.


මේ මන්දිරය පිළිබඳව බැසිල් රාජපක්ෂගේ නීතිඥයන් කෙසේ මොනවා කීවද (අනුමත නිවාස සැලැස්මක් නොමැති නිසා එහි හිමිකරු අඥාතය.) ඉඩමේ හිමිකාරිත්වය පරීක්ෂා කිරීමේදී රාජපක්ෂ වරුන්ගේ ඊට ඇති සම්බන්ධය මොනවට පැහැදිලි වේ. අංක 27364 දරන ඔප්පුව අනුව එම ඉඩමේ වත්මන් හිමිකරුවා වන්නේ ජාතික හැඳුනුම්පත් අංක 542121009ඩ හිමි අංක 95, හෝර්ටන් පෙදෙස, කොළඹ 07හි පදිංචි තිරුකුමාර් නඬේසන්ය. මේ තිරුකුමාර් නඬේසන් යනු වෙන කවුරුවත් නොව මන්ත‍්‍රීනි නිරූපමා රාජපක්ෂගේ සැමියාය. ඉන්දියානු දේවාලවල ආශිර්වාද ලබාගැනීමේ රාජපක්ෂවරුන්ගේ කටයුතු සංවිධානය කරන්නා ඔහුය. අක්කර 16යි, රූඞ් 1යි, පර්චස් 8ක් වූ මුළු ඉඩමම තිරුකුමාර් නඬේසන්ගේ නමට මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි 3කටය. ඒ අනුව එක් පර්චසයක මිල රු. 11503/-ක්ය. බියගම මල්වානේ කැලණි ගඟ අසබඩ ඉඩමක් එතරම් අඩු මුදලකට මිලදී ගත නොහැකි බව අමුතුවෙන් සඳහන් කළයුතු නැත. රජයට ගෙවිය යුතු මුද්දර බදු හෝ වෙනත් දෙයකින් බේරීම සඳහා දේපළ මිලදී ගැනීමේදී ඇත්ත වටිනාකම සඟවන බව අප දන්නා සත්‍යයය. දැනගන්නට ඇති පරිදි එම ඉඩම විකුණා ඇත්තේ රුපියල් කෝටි හයකට වඩා වැඩි මිලකටය. ඒ අනුව මන්දිරයද ඇතුළු මුළු දේපළෙහිම වටිනාකම රුපියල් කෝටි විස්සකට අධිකය. මේ ඉඩමේ හා මන්දිරයේ සැබෑ හිමිකරුවන්ගෙන් අපට අසන්නට ඇති ප‍්‍රශ්නය මේ සල්ලි කොහෙන්ද යන්න පමණය.  

No comments:

Post a Comment