Wednesday, July 22, 2015

ප්‍රසිද්ධියේ සිය පාක්ෂිකයන්ට පහර දෙන වියරු මිනිසාගෙන් ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් - අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ

(ලංකා ඊ නිව්ස් -2015.ජූලි.22, ප.ව.7.25) 
ප්‍රතිවිරුද්ධ මත නොඉවසීමේ දේශපාලනය, තමාගේ උරුමය බව මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රසිද්ධියේම යළිත් පෙන්වා දෙයි. එහි නවතම සිදුවීම අකුරැස්ස ප්‍රදේශයේ පැවැති මහජන රැළියක දී සාමාන්‍ය පුද්ගලයෙකුට පහර එල්ල කිරීමයි. හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමාට හිමි ආරක්‍ෂක බලකායක රැකවරණය යටතේ නිරායුධ සිවිල් පුරවැසියෙකුට පහර එල්ල කිරීම සදාචාරයට නිගාවක් මෙන්ම, රටේ පවතින නීතිය ද උල්ලංඝණය කිරීමකි. තමාගේ රැස්වීමට සහභාගි වන සාමාන්‍ය පාක්‍ෂිකයෙකුට පහර දීමට තරම් මහින්ද රාජපක්‍ෂ පිරිහී ඇත්තේ අසීමාන්තිකව ඔහු බලලෝභයෙන් පෙළෙන නිසයි.

රාජ්‍ය බලය යොදා මේ රටේ සුදු වෑන් සංස්කෘතියක් නිර්මාණය කළ යුගයේ දී මිනිසුන්ට පහර දීම, පැහැර ගෙන යාම, ඝාතනය කිරීම දක්වා වූ ක්‍රියාවලියට එල්ල වී ඇති චෝදනා මේ නිසා සත්‍යයක් බව පැහැදිලිවම පෙනේ. පසුගිය දා සන්ධානයේ මහලේකම්වරයාට එල්ල කළ ප්‍රහාරයක් ගැන ද වාර්තා විය. සන්ධානයේ අපේක්‍ෂකයින් අද චෝදනා කරනුයේ මහින්ද රාජපක්‍ෂ නියෝජනය කරන සන්ධාන අපේක්‍ෂකයින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට හිතවත් අපේක්‍ෂකයින්ට විවිධ අතවර සිදු කරන බවයි. තර්ජන ගර්ජන, බිය ගැන්වීම්, මනාප නොදෙන ලෙස කරන ප්‍රකාශයන් පිළිබඳව සන්ධානයේ අපේක්‍ෂකයින් රැසක් මාධ්‍යයට කළ ප්‍රකාශ දකින්නට ලැබෙයි.

රටක ජනාධිපති ධූරයට පත් වූ අයෙක් ක්‍රියා කළ යුත්තේ මුළු රටම සහ රටේ ජනතාව තමාගේ වගකීමක් ලෙස සලකිමිනුයි. නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධූරයේ කටයුතු කළේ ද ගෝත්‍රිකවාදය පදනම් කර ගෙන බව ඔහුගේ එකල ක්‍රියාකාරකම් මගින් පැහැදිලි වේ.

තමාට එරෙහි මතයක් ප්‍රකාශ කළ මාධ්‍යවේදීන්ට පහර දෙමින්, මාධ්‍ය ආයතන ගිනි තබමින්, ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයින්ට පහර දෙමින් ක්‍රියා කළ මහින්ද රාජපක්‍ෂ, සිය පාක්‍ෂිකයින්ට පහර දෙමින් අද ප්‍රසිද්ධියේ හැසිරීම වියරු මිනිසෙකු අවසානයේ නිර්මාණය වී ඇති බව පෙන්වා දීමකි.

බලය ඇති විට ද වියරුවෙන් කටයුතු කළ මහින්ද රාජපක්‍ෂ, බලය අහිමි වූ විට සහ බලය අහිමි වෙන බව දැනෙන විට ද, එම වියරුව ප්‍රදර්ශනය කිරීමෙන් පිළිබිඹු වන්නේ ඔහුගේ සැබෑ ස්වරූපයයි.

මහින්ද රාජපක්‍ෂගේ ජීවිතය අනතුරේ බවට පැමිණිලි කරමින්, ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින්, අවලාද නගන ඔහුගේ සහචරයින් තේරුම් ගත යුතුව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ නිසා සිය පාක්‍ෂිකයින්ගේ ජීවිත අනතුරට ලක්ව ඇති බවයි. මහින්ද රාජපක්‍ෂ සහභාගි වන ජන රැළිවල දී ඔහු ජනතාව අසලින් කැටුව යෑමෙන් තර්ජනයක් ඇත්තේ මහින්ද රාජපක්‍ෂට නොව, ජනතාවට බව දැන් පැහැදිලිය.

(අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ විසින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නිකුත් කළ නිල නිවේදනයකි.)

No comments:

Post a Comment