Wednesday, July 15, 2015

තුෂාරගේ ජීවිතය උදුරාගත් චොකා මල්ලිගේ පාතාලයෝ

කේ. සංජීව
නිවිතිගල ආස නයේ ශ‍්‍රීලනිප සංවිධායකකම ජෝන් සෙනෙවිරත්නගෙන් චෝකාට මාරු වුණාට පස්සේ මේ ආසනය ගැන කතා කරන්න දෙයක් නැහැ මහත්තයෝ. චෝකා මල්ලි ඉස්කෝලෙ යන කාලේ ඉඳලා අපි දන්නවා. කල්ලියක් හදාගෙන මැර වැඩ කළේ. ඒ මැර බලය හින්දාම තමයි මිනිහාට ප‍්‍රාදේශීය සභාවට නොමිනේෂන් ලැබෙන්නේ. පළමු පාරෙන්ම මිනිහා සභාපති වෙනවා. ඊළඟට ඉතින් කතා කරන්න දෙයක් නැහැ. නිවිතිගල ටවුන් එකම මිනිහාගේ මිනිස්සු පාලනය කරන්න පටන් ගන්නවා. පොලිසියත් අන්තිමට චෝකා මල්ලිගේ ඕඩර්ස්වලට තමයි වැඩ කළේ. ඊට පස්සේ මෙහෙ කොළ කොඩියක් වැටුණේ නැහැ. රැුස්වීමක් කරන්න දුන්නේ නැහැ. අඩුම ගානේ තලතා මැඩම්ටවත් තමන්ගේ ආධාරකාරයන්ගේ ගෙදරකට යන්න දුන්නේ නැහැ. මිනීමැරුවා, මංකොල්ල කෑවා, මැණික් පතල් බලහත්කාරයෙන් කළා. මේ කිසිදේකට පසුගිය කාලේ නීතිය ක‍්‍රියාත්මක වුණේ නැහැ. දැන් මේ ගම්වල මිනිස්සු දෙකට බෙදිලා මරා ගන්නවා යූඑන්පී, ශ‍්‍රීලංකා කියලා. මේවා මේ ආසනේ බෝ කළේ චෝකා මල්ලි.මේ හඬ කරවිට ප‍්‍රදේශයේ විදුහල්පතිවරයකුගේ ය. නම සහ පින්තූරය පළ කිරීම තහනම්ය. නිවිතිගලට භීෂණය හඳුන්වා දුන් චෝකා මල්ලි කවුරුන්ද? ඒ වෙන කවුරුත් නොව පසුගිය මහින්ද පාලනයේදී නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පේ‍්‍රමලාල් ජයසේකරය. පේ‍්‍රමලාල් ජයසේකර නාහෙට නාහන මැරයෙකු බව ඔහුගේ වටේ සිටින බහුතරයක් සමාජ දේහය කෙළෙසා දමන පුද්ගලයන් බව මුළු රත්නපුරයම දනී. එහෙත් ඔහු ඡුන්දයට ඉදිරිපත් වූ විට දිනන්නේ ය. ඒ ලාංකේය ජනතාව මැරයන්ට කැමති නිසා වන්නට පුළුවනි.

අප මෙලෙස කතා කරන පේ‍්‍රමලාල් ජයසේකර නැතිනම් චෝකා මල්ලි දැන් සිටින්නේ තමන්ගේ පාතාල පිරිවරින් පිරිසක් සමග බන්ධනාගාර ගතවීය. ඒ ඇයි? ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේදී කහවත්ත ප‍්‍රදේශයේ මෛත‍්‍රීපාල මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කොඩි වැල් එල්ලමින් සිටි ශාන්ත දොඩංගොඩ වෙඩි තබා ඝාතනය කළා යැයි සැකපිටය. ඔහු සමග මෙම ඝාතනයට හවුල්යැයි සැක පිට තවත් පුද්ගලයන් රංචුවක්ම මේ වනවිට සිටින්නේ බන්ධනා ගාරයේය. චෝකා මල්ලිට කහවත්ත, නිවිතිගල ආදී ප‍්‍රදේශවල මැර ආධාරකරුවන් බොහෝ දෙනෙක් සිටිති. එම ආධාරකරුවන් රංචුවගෙන් තවත් පිරිසක් පසුගිය දා තවත් හපන්කමක් කළෝය .

පසුගිය මස 29 වැනි දින යාන්තම් කළුවර වැටුණා පමණි. මැරයන්ගේ පොලූ ප‍්‍රහාරයට ලක්ව හිස දෙපලූ වූයේ තුෂාර දේවාලේගම නමැති එජාප ආධාරකරුගේය. එම අවස්ථාවේදී මෙම ඝාතනය පුද්ගලික පළිගැනීමක් ලෙස කටකතා ප‍්‍රදේශය තුළ පැතිරුණත් දැන් දැනගන්නට ලැබෙන්නේ මෙම ඝාතනය පිටුපසත් චෝකා මල්ලිගේ ප‍්‍රබල ආධාරකරුවන් පිරිසක් සැඟවී සිටින බවය. එනිසා අපි තුෂාරගේ දෑල පිහිටි නිවසට ගියෙමු. තුෂාරගේ දේහයට අවසන් ගෞරව දක්වා ටික දිනක් ගත වී ඇත. අප නිවසට යනවිට නිදිමත නෙතගින් ඈලිමෑලි ශරීරවලින් පිරිස් ගෙදර අස්පස් කරමින් සිටියෝය. අපට මුලින්ම මුණගැසුණේ තුෂාරගේ ප‍්‍රිය බිරිඳය. මිය ගිය තුෂාරට දරු තිදෙනෙකි. ඔවුහු ගැහැනු දරුවෝය. අවුරුදු 10, 08, 03 වයස් මට්ටම්වලය. බිරිඳ සුනේත‍්‍රා මල්කාන්ති තම අදහස මෙලෙස වචන කළාය.

මම එනකම් බලා හිටියා

අපේ ලොකු දුව මේ අගෝස්තුවේ ශිෂ්‍යත්ව විභාගයට වාඩි වෙනවා. ඒ නිසා දුව පැල්මඩුල්ලේ ධර්මාලෝකේ පන්තියකට යනවා. පන්තිය ඉවර වෙන්නේ රෑ අටහමාරට. තුෂාර කිව්වා ඔය සිද්ධිය වුණ දවසේ දෑල ඉඳලා පැල්මඩුල්ලේ ගෙදර යන ගමන් අපිව ගන්න එනවා කියලා. අපි බලා ඉඳලා අන්තිමට ගෙදරට කෝල් කළා.
මල්කාන්ති එලෙස මහගෙදරට කෝල් කරනවිට මැරයන් ඔවුන්ගේ ජීවිත කාලකණ්නි කර අවසන්ය. ගෘහණියක ලෙස සැමියා මිය යනතෙක්ම කටයුතු කළ සුනේත‍්‍රාට දැන් අත්වී තිබෙන ඉරණම තුළ ජීවිතය ගෙවා දමන්නේ කෙලෙසක දැයි සිතා ගන්නට බැරිය.

මේ ළමයි තුන්දෙනාම කෙල්ලෝ.. මම මෙයාලා කොහොම බලාගන්නද? ඇමතිතුමිය ගෙදර අය නෑදෑයෝ හැමෝම කියනවා උදව් කරනවා කියලා.. මේක තනිකරම දේශපාලන පළිගැනීමක්.ඇය මේ කුරිරු දේශපාලනයට ශාප කරන්නීය. තුෂාර දේවාලේගම මෙලෙස ඝාතනයට ලක්වෙන විට ඔහුගේ වයස අවුරුදු 38කි. ඔහු ඝාතනයට ලක්වූයේ ඇයි?

තුෂාරගේ පියා සෝමපාල දේවාලේගමය. සෝමපාල මහතා හෙළිකරන මේ තොරතුරු කියන්නේ චෝකා මල්ලි පන්නයේ දේශපාලකයන් ලංකාවට සමාජයට කර තිබෙන විනාශයේ තරමය.

මේක දේශපාලන ඝාතනයක්

මම 1977 ඉඳලා ගාමිණි අතුකෝරල මැතිතුමාගේ දොඹගම්මන ප‍්‍රබලම ආධාරකරුවා. නිවිතිගල ආසනේ දෑල කියන අපි ඉන්න ප‍්‍රදේශයේ එජාපයට වැඩිපුරම වැඩ කළේ මම. ඒ හින්දම චෝකා මල්ලි මේ ආසනේ භාරගත්තට පස්සේ මට නොයෙක් හිරිහැර කළා. තාඩන පීඩන හිසේ කෙස් ගාණට. මේ නිසා තමයි මගේ ලොකු පුතා තුෂාර දේවාලේගම දේශපාලනයට ආවේ. එයා 2004, 2009 දෙසැරේම නිවිතිගල ප‍්‍රාදේශීය සභාවට තරග කළා. 2004 ඉඳලා චෝකා මල්ලි එයාගේ ගෝලයෝ අපේ පුතාට හරියට කරදර කළා. 2004 ඡුන්දෙ වෙලාවේ ඡුන්දය දාන්න ඡුන්ද මධ්‍යස්ථානයට ගියාම පොලිසිය බලා ඉන්දැද්දිම හොඳටම ගහලා පිහි පාරවල් 5ක් ඇන්නා. ඒ වෙලාවේ මැරයොත් එක්ක එතැන පේ‍්‍රමලාල් ජයසේකර හිටියා. මැරිලා කියලා දාලා ගියාම පුතාගේ යාළුවෙක් ත‍්‍රීවීලර් එකකට දාගෙන රත්නපුරේ ඉස්පිරිතාලෙට ගෙනිහින් තිබුණා. එදා පුතා පූරුවේ කරපු පිනකට තමයි බේරුණේ. අන්තිමට ඉස්පිරිතාලේ 10 වාට්ටුවේ ඉන්නකොට එතනටත් මැරයෝ ආවා. අපි තලතා අතුකෝරළ මැඩම්ගේ ගෙදර ගෙනිහින් තියාගෙන තමයි වෙදකම් කළේ. එදා නිවිතිගල පොලිසිය අපේ පැමිණිලිවලට කිසි දෙයක් කළේ නැහැ.

සෝමපාල එක පෙළට කියාගෙන යයි. 1994 තරම් ඈත දී ඔවුන්ගේ වෙළෙඳසැලද ශ‍්‍රීලනිප ආධාරකරුවන් විනාශ කර ඇත. ඒ තුෂාරගේ පවුල දෑල ප‍්‍රදේශයේ නම ගිය එජාප සාමාජිකයන් නිසාය.
රන්ජන් රාමනායක පළාත් සභාවට ඉල්ලන අවුරුද්දේ මැතිවරණ වෙලාවේ ඔය අනුෂ්ක කියන අය තව ගෝලයෝ ටිකකුත් එක්ක ඇවිල්ලා අපේ ගේ ඉස්සරහදී මට තර්ජනය කළා. පස්සේ අහසට වෙඩි තියලා ගියා. ඊට පස්සේ දවසක ඔය පේ‍්‍රමලාල් ජයසේකර මැරයෝ එක්ක ඇවිල්ලා මගේ ගෙදර පෙරළලා පුතාව හෙව්වා. මම ඒ වෙලාවේ රත්නපුරේ ඒඑස්පී මහත්තයාට පැමිණිලි කළා. මේ කට්ටිය එදා ඉඳලා අපිට ඉන්න දුන්නේම නැහැ. පේ‍්‍රමලාල් ආසනේ සංවිධායක වුණාට පස්සේ අපි පාරට ගියත් ටවුමට ගියත් බයෙන් හැංගිලා වගේ තමයි ගියේ. අපි හරිම බයෙන් ජීවත් වුණේ.

සෝමපාල දේවාලේගම ප‍්‍රකාශ කරන මේ බය සාධාරණය. ඒ චෝකා මල්ලි සහ ඔහුගේ පිරිවර නිවිතිගල, දෑල, කහවත්ත, කරවිට, හංගමුව ආදී ප‍්‍රදේශවල නැටූ නැටුම් නිසාය. පොලිසිය ද පේ‍්‍රමලාල්ගේ බහට කීකරුය. මෙවැනි තත්ත්වයක් තුළ පසුගිය ජනවාරි 8 වැනිදායින් පසුව මෙම තත්ත්වයන් වෙනස් වී මිනිසුන්ට අතපය දිගහැර නිදහසේ ජීවත් වන්නට ලැබේ යැයි ඔවුහු කල්පනා කළෝය. එහෙත් එම සිහිනය සිහිනයක්ම වූවේ මහින්දවාදීන් මහින්ද සමග නැගිටින්නට පටන් ගත් පසුවය. මහින්ද රාජපක්ෂ නම් මේ මැරවරයන්ගේ පීතෘවරයාට මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා නාම යෝජනා දෙන්නේම යැයි සනාථ කළ පසු මේ පිරිසගේ හයිකාරකම් නැවත කරළියට පැමිණ ඇත. දැන් ඔවුහු මිනීමරමින් ද තර්ජනය කරමින් ද සිටිති. ඒ මහින්ද අගමැති කිරීම සඳහාය.

ඝාතනය

ඝාතනයට ලක්වූ තුෂාර දේවාලේගමගේ උපන් ගෙදර දෑල දොඹගම්මන ජනපදය වුවත් ඔහු ජීවත් වූවේ බිරිඳගේ පැල්මඩුල්ල උඩුතුල නිවසේය. එහෙත් ඔහු සුපුරුදු ලෙස සෑම දිනකම දෑල සිය මහගෙදරට පැමිණියේය. පසුගිය 29 වැනි දිනත් එලෙස පැමිණි පසු සවස 6.15ට පමණ නිවසෙන් පිටවී ඇත. ඒ පැල්මඩුල්ලට යන්නටය.

පුතා ගෙදරින් ගියේ 6.15ට විතර. පැල්මඩුල්ලට ගිහින් 8.30ට දුව පන්තියෙන් ගන්නත් තියෙනවා කිව්වා. එහෙම ගිය පුතාට කවුදෝ කට්ටියක් ගහනවා කියලා කෝල් කරලා කිව්වේ දිනේෂ්.මේ හඬ තුෂාරගේ මව වන ටී.ඒ.සුමනාවතීගේය.

මෙලෙස පැල්මඩුල්ල නිවසට යන්න පිටත්වන තුෂාර අතරමඟදී සිය ගමන වෙනස්කර නොරගල්ල වතුයායට යන්න පිටත් වන්නේ දේශපාලන කටයුත්තකටය. ඒ ඔහු දොඹගම්මන-නොරගල්ල එජාප කලාප සංවිධායකයා නිසාය. කම්බදොළේ සිට නිවිතිගල නගරය දක්වා කොඩිවැල් එල්ලා සරසන ලෙස ප‍්‍රදේශයේ දේශපාලන නායිකාව වන තලතා අතුකෝරළ මහත්මිය ඒ වනවිට ඔහුට උපදෙස් දී තිබුණි. වතුයායට පිටත් වීමේ අරමුණ වූයේ දෙමළ පුද්ගලයන්ගෙන් ඒ සඳහා සහාය ගැනීමය. ඔහුට කාලයක සිට තර්ජන තිබෙන නිසා දිනේෂ් නමැති දමිළ තරුණයා ද මෙම ගමනට ඔහු සමග එකතු වෙයි. ඔවුන් වතුයායට යන්නට බයිසිකලයෙන් පිටත් වන අතරේ මෙම ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවන් දෑල මංසන්දියේ බීමතින් සිට ඇති බව කියන්නේ තුෂාරගේ පියාය.

රාත‍්‍රී 8.15 විතර මගේ ෆෝන් එකට දිනේෂ් කතා කළා. කිව්වා තුෂාරටයි මටයි ගැහැව්වා තුෂාර බේරගන්න එන්න. මම මේ කැළේ හැංගිලා ඉන්නේ කියලා. ආයෙත් කතා කරලා කිව්වා ඉක්මන් කරන්න කියලා. මම ඒ වෙලාවෙම පොලිසියට කෝල් කරලා ත‍්‍රීවීලර් දෙකකුයි බයික් දෙකකුයි අරන් කට්ටිය එකතු කරගෙන ඒ වත්ත පැත්තට ගියා. යනකොට ඒ පාරේ පුතාගේ සපත්තුවක් තිබුණා. එතැන සොයනකොට බයිසිකලය දොළ දිහාට පෙරළලා තිබුණා. පුතා සොයාගන්න බැරිවුණා. මම පුතාගේ ෆෝන් එකට කෝල් කළා. පුතා අමාරුවෙන් කතා කරලා කිව්වා මාව බේරගන්න කියලා. ඊට පස්සේ ෆෝන් එක කට් වුණා. අපි හැමතැනම සෙව්වා. සොයාගන්න බැරිවුණා. ඊළඟට ආයෙත් කෝල් කළාම කිව්වා දැන් ඉන්නේ පනගම පාරේ කියලා. අපි ටක්ගාලා ඒ පාර පැත්තට ගියා. ඒත් නැහැ. ඊළඟට අපි දැක්කා අපි මුලින් සොයපු උඩ පාරේ පොලිස් ජීප් එක යනවා. අපිත් ගියා. එතකොට අපි මුලින් බලපු තැන පුතා වැටිලා හිටියා. ඒ වෙලාවෙම ඉස්පිරිතාලේ ගෙනිච්චාට අතරමඟදි නැති වුණා.

ඝාතකයෝ

තුෂාරට ප‍්‍රහාරය එල්ල කරන අවස්ථාවේ තුෂාර සමග සිටි දිනේෂ් කියන්නේ මුහුණ ආවරණය කරගෙන පැමිණි පිරිසක් වතුයායට ගොස් පැමිණෙන විට තුෂාරට පොලූ ප‍්‍රහාරයක් එල්ල කළ බවයි. එම ප‍්‍රහාරයෙන් බයිසිකලය සහ දෙදෙනාම බිම වැටුණ බවත් තුෂාර බයිසිකලයට යටවුණ බවත් ඔහු කියයි. තමන් කෙලෙසක හෝ ගැලවී කැළයේ සැඟවුණු බවත් ඔහු කියයි. තුෂාරගේ පියා කියන්නේ දිනේෂ් මෙම ඝාතනයට සැක නැති බවය. දිනේෂ් ඝාතකයන් මුහුණු ආවරණය කරගෙන පැමිණියායැයි කියන්නේ ඔවුන්ට තිබෙන බිය නිසා වන්නට පුළුවන් බවද ඔහු කියයි. කෙලෙසක හෝ මේ වනවිට දිනේෂ් ප‍්‍රදේශය හැරදා ගොසිනි. ඒ ජීවිත තර්ජන නිසාය.

නිවිතිගල පොලිසියට පරිබාහිර පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ ඉදිරියට මෙහෙයවමින් තිබේ. යම් ප‍්‍රදේශයක ඝාතනයක් වූ විට දැන් අදාළ පොලිස් බල ප‍්‍රදේශයේ පොලිසියට ඒ පරීක්ෂණ කරන්න පුළුවන් තත්ත්වයන් නැතිකමින්ම පෙනෙන්නේ පසුගිය කාලයේ පොලිසිය බොහෝ දුරකට දේශපාලනිකකරණය වී ඇති බවය.


මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට පත්වී සිටින සැකකරුවන් බොහෝ දෙනෙකු තුෂාරගේ අසල්වාසීන්ය. ඒ බොහෝ දෙනෙක් පේ‍්‍රමලාල් ජයසේකරගේ ප‍්‍රබල ආධාර කරුවෝය. විශේෂයෙන් මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට පත්වී සිටින අනුෂ්ක නමැති හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා ප‍්‍රදේශයේ නම ගිය මැරයෙකි. මෙම ගම්මානයේ බොහෝ දෙනෙකු කියන්නේ චෝකා මල්ලි ආසන සංවිධායක වූ පසු ගම මාරාන්තික ලෙස දෙකට බෙදුණ බවය. දැන් ශ‍්‍රී ලංකාකාරයාගේ මළ ගෙදරකටවත් යූඑන්පීකාරයා ගොඩවෙන්නේ නැත. ශ‍්‍රී ලංකාකාරයාත් එලෙසය. මඟුල් තුලාවක් වුවත් තත්ත්වය මෙයමය. මෙම තත්ත්වය දෑලට රත්නපුරයට පමණක් පොදු තත්ත්වයක් නොව සමස්ත දකුණටම පොදු ප‍්‍රශ්නයකි. කාලයකට ඉහත කුලය නිසා දරුණු බෙදීමකට ලක් වී තිබූ සමාජයක් දැන් නිල් රතු කොළ ලෙස දරුණු ලෙස බෙදී වෙන් වී සිටී. මෙම නව තත්ත්වයට බොහෝ විට 1994 ට පසුව පැමිණි පාලකයන් වගකිව යුතුය. මෙලෙස සිදුවුණ දේශපාලන ඝාතන වැළැක්වීමට පොලිසිය ක‍්‍රියාකළ යුතුය. ඒ සඳහා තිබෙන එකම විසඳුම තරාතිරම නොබලා නීිතිය ක‍්‍රියාත්මක කිරීමය. එමෙන්ම මෙම බෙදීම් සහ ඝාතන පිටුදැක නව සමාජයක් සඳහා ජනතාවද මැතිවරණවලදී මැරයන් පාර්ලිමේන්තු යවන සංස්කෘතියට තිත තැබිය යුතුය. අනෙක් පසෙකින් ආයුධ සන්නද්ධ මැරයන් නිරායුධ කිරීමට ඔවුන්ගේ හාම්පුතුන් වන දේශපාලකයන්ද කැප විය යුතුය.

No comments:

Post a Comment