Monday, July 6, 2015

මැතිවරණ උණුසුම අතරේ රාජපක්ෂ ඥාතී නාවුක හමුදාපති රහස් මෙහෙයුමක

(ලංකා ඊ නිව්ස් -2015.ජුලි.06, ප.ව.8.30) 
58 හැවිරිදි නාවුක හමුදාපති, මැක්සිමස් ජයන්ත පෙරේරා, ආරක්ෂක ලේකම් බස්නායක මහතා රවටා ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක හරිගුප්තා රෝහණධීර හා එකතුව සිය සිවුවන සේවා දිගුවද ලබාගෙන මාණ්ඩලික ප්‍රධානී තනතුර ඩැහැ ගැනීමේ උත්සාහය ලංකා ඊ නිවුස් මැයි මස මුලදී හෙලිදරව් කළේය. එ් හෙලිදරව්වත් සමග, ජනාධිපතිවරයා ක්‍රියාත්මක වී දැනට සේවයේ සිටින නිළධාරින් අතරින් වඩාත් සුදුස්සා වූ එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලකට එම තනතුර ලබාදෙන ලදී.
නමුත් ඉන් පසුබට නොවු ජයන්ත පෙරේරා තව වසරක් හෝ නාවික හමුදාපති වී සිටීමේ 'බී' සැලැස්ම ක්‍රියාවට නැංවීය. පළමුව ඊලඟට නාවුක හමුදාපති වීමට සිටින රියර් අද්මිරාල් රවී විජේගුණරත්න සහ ඊලඟට නාවුක මාණ්ඩලික ප්‍රධානී වීමට සිටින රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ ගැන අභූත චෝදනා ඇතුලත් වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශයට යැවීය. දෙවනුව නාවුක හමුදාවේ හතර වන තැනට සිටින, ජයන්ත පෙරේරා සමග රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට සෘජුව සම්බන්ධ වූ රියර් අද්මිරාල් රොසයිරෝට වසරක සේවා දිගුවක් නිර්දේශ කර ලබා ගන්නා ලදී. ආරක්ෂක ලේකම්ගේ කීම මත සේනාධිනායක ජනාධිපතිවරයා විසින් වැඩිදුර සොයා නොබලා මෙම සේවා දිගුව රොසයිරෝට ලබා දී ඇත.
ඉන්පසු ජයන්ත පෙරේරා ජනාධිපතිතුමන්ගෙන් ලකුණු දමා ගැනීමට, එතුමන්ට ත්‍රිකුණාමල නාවුක කඳවුරට ආරාධනා කොට මහා ඉහලින් සංග්‍රහ කරන ලදී. කලින් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කරන ලද ගොඩනැගිල්ලක කොටසකට අලුතෙන් නාම පුවරුවක් ගසා ජනාධිපති සිරිසේන අතින් විවෘත කරවන ලදී. රටේම නාවුක හමුදා නිලධාරීන් ගෙන්වා මහා නාවුක සන්දර්ශනයක් ද පැවැත්වීය. මේ සියලු දහන් ගැට දමාද ජයන්ත පෙරේරාට ලබා ගත හැකි වුයේ ජූලි 1 වැනි දින සිට ජුලි 11 වන දින දක්වා දින 10ක සේවා දිගුවක් පමණි.
නමුත් සිය ඥාතී රාජපක්ෂ මෙන්ම මොන ගේමකින් හෝ තමන්ට අවශ්‍ය දේ ලබාගැනීමේ සට කපට හැකියාව ජයන්ත පෙරේරාටද පිහිටා ඇත. ඔහුගේ අලුත්ම තර්කය නම් මහ මැතිවරණයක් කැඳවා ඇති නිසා අලුතින් නාවික හමුදාපතිවරයකු පත් විය නොහැකි බවයි. මේ කාරණාව උලුප්පා දක්වමින් රජයේ හා පෞද්ගලික පුවත්පත්වල ඉතුරුව සිටින රාජපක්ෂ බත් බැල වාර්තාකරුවන් හරහා ඔහු මාධ්‍ය මෙහෙයුමක් දියත් කර ඇත. එලෙසම තම දියණියගේ විවාහ මංගල්‍යය පැවත්වෙන තුරු මානුෂීය හේතූන් මත අඩුම තරමේ මාස තුනක හෝ සේවා දිගුවක් ලබා දෙන ලෙස ඔහු ඉල්ලා ඇත. 
නමුත් මේ දෙකම බොළොඳ හතර බීරි තර්කය. මැතිවරණ නීතිය යටතේ අලුත් පත්වීම් යනු රස්සා නැති අයට පත්වීම් ලබා දීම වැනි සිදුවීම්ය. නාවික හමුදාපතිවීමට නියමිත අයෙකු පත් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය වීමක් වන්නේ කෙසේද? එම තර්කයම තවත් කෝණයකින් බැලුවොත් ජයන්ත පෙරේරාට අනිසි ලෙස සේවා දිගුවක් ලබා දීමද එසේ නම් මැතිවරණ නීතියට පටහැනිය. එමෙන්ම නාවික හමුදාවෙන් විශ්‍රාම යන නාවික හමුදාපතිවරයෙකුට ඉන් මාස තුනක් ඔබ්බට සියලු යාන වාහන හා කාර්ය මණ්ඩලය හිමි ය. දියණියගේ විවාහය ජයට ගැනීමට ඒ හොඳටම ප්‍රමාණවත්ය. නමුත් සැබෑ හේතුව වන්නේ එම මාස තුන ඇතුලේ සිය මෘග චෞර ඥාතියා අගමැති වී තමන්ව තව වසරක් තියා ගනු ඇතැයි ඔහු සිහින දැකීමයි.
සේනාධිනායක ජනාධිපති වරයා නාවික හමුදාවේ නිළ ඇඳුමේ ගෞරවය රැකිය යුතුය. ජයන්ත පෙරේරාට ගෝඨාභය රාජපක්ෂ සේවා දිගු තුනක් ලබාදී වසර 58ක් දක්වා රඳවා ගත්තේ ඇයිදැයි මෛත්‍රීපාල සේනාධිනායකයා කල්පනා කළ යුතුය. වෙනත් රාජපක්ෂ සට්ටැඹියන්ටද ලැබුනේ සේවා දිගු එකක් හෝ දෙකකි. එලෙසම රාජපක්ෂ අවතාරය නැවතත් කරළියට පැමිණ සිටින තීරණාත්මක මැතිවරණයකදී , මෙවන් රාජපක්ෂ ඥාතියකු ආරක්ෂක කවුන්සිලයේ තබා ගැනීම නුවණට හුරුද? ආරක්ෂක කවුන්සිලයේ කතා බහ වෙන දේ කොළයක ලියා කෙලින්ම ගෝඨා වෙත යැවීම ඊට වඩා සුදුසුය.
ඊටත් වඩා  මැක්සිමස් ජයන්ත පෙරේරාට එරෙහි බරපතල චෝදනා දෙකක් වේ. ඉන් පළමුවැන්න ඕස්ට්‍රේලියානු මිනිස් ජාවාරමට ඔහුගේ ඇති සම්බන්ධයයි. යුධ සමයේ වැරදිලාවත් මෙහෙයුම්  කටයුතුවලට සම්බන්ධ නොවූ ජයන්ත පෙරේරා 2011-2012 සමයේ නාවුක මෙහෙයුම් අධ්‍යක්ෂක විය. ලංකාවෙන් මේ සමයේ ඕස්ට්‍රේලියාවට අනවසර බෝට්ටු සියයකට අධික ප්‍රමාණයක් ලඟා විය. මේවා ලංකාවේ මුහුදු සීමාව පසු කර යන තුරු නාවුක හමුදාව තරු බැලුවේදැයි සොයා බැලිය යුතුය. විශේෂයෙන්ම එක බෝට්ටුවකින් ජාවාරම් කරුවන් ලබන ලාභය රුපියල් කෝටි 2 ක් ඉක්මවන බැවින්, මේ පිලිබඳ ලංකාවේ නාවික හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂක අහක බලා ගත්තේ ඇයි දැයි සොයා බැලිය යුතුම ය.
දෙවන චෝදනාව ඔහු නාවුක හමුදාපති සමයේ, විවිධ බාහිර ආයතනවලට නාවුක හමුදාවේ සේවා සැපයීමෙන් ලැබෙන ආදායම් ප්‍රතිශතය අත්තනෝමතිකව අඩු කිරීමයි. මෙයින් නාවුක හමුදාවට සිදුවූ පාඩුව රුපියල් මිලියන ගණනකි. මෙම කරුණු පිළිබඳ චෝදනා දැනටමත් අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත යොමු වී ඇති අතර මහ මැතිවරණයෙන් පසු එම කොමිසම සක්‍රීය වූ විට සත්‍ය හෙළි වනු ඇතැයි අප විශ්වාස කරමු. 
ජයන්ත පෙරේරාගේ 58 වන උපන්දිනය වන ජුලි 11 වන දින ඔහු විශ්‍රාම යැවිය යුතුය. එලෙසම ඔහුට එල්ල වී ඇති දූෂණ හා දේශපාලන අවභාවිතයේ චෝදනා විභාග වන තුරු ඔහුට තරු හතරේ අද්මිරාල් නිළයට උසස් කිරීම හා තානාපති තනතුරු ලබා දීම අත් හිටුවිය යුතුය. ආරක්ෂක ඇමැතිවරයා ලෙස දැනටමත් අවිද්‍යාත්මකව සහ අබුද්ධිමත්ව තීන්දු තීරණ රැසක් ගෙන ඇති සේනාධිනායක ජනාධිපතිවරයා මෙහිදී හෝ බුද්ධිමත්ව සහ විද්‍යාත්මකව ක්‍රියා කරයි කියා ජනතාව බලා සිටිනු ඇත. 
-යහපාලන නැවියා විසිනි-

No comments:

Post a Comment