Saturday, July 4, 2015

බස්නාහිර මහ ඇමැතිගේ අල්ලස් කතාවක් ගැන පරීක්ෂණ

සිළුමිණ වෙතින්

බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් ‍රුපියල් මිලියන 64 ක අල්ලසක් ඉල්ලා තර්ජනය කරන ලද බවට ආරක්ෂක කැමරා සහ අධි තාක්ෂණ උපකරණ ආනයනය සමාගමක හිමිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ අරඹා ඇත.

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා (02) ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිය මොරින් රණතුංග මහත්මියගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මේ අල්ලස ඉල්ලා ඇතැයි කියන්නේ කොලොන්නාව, මීතොටමුල්ල පාරේ අංක 251/9 ස්ථානයේ අක්කර 2 පර්: 8 ක ඉඩමක් බහලූ අංගණයක් සහ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට සහ බස්නාහිර පළාත් සභාවෙන් සේවය ලබාගැනීම සඳහාත් එම ගබඩා සංකීර්ණ පළාත් සභාවටම බදුදීම සඳහාත් වූ එකඟතාවකදී ය.

මෙහිදී මහ ඇමැතිවරයා ඍජුවම මුදල් ඉල්ලා ඇතැයි කියන බවත් ඔහුට එය ඍජුවම ලබාගත නොහැකි බැවින් ඔහුගේ බිරිය සහ තවත් ඥාති සොහොයුරියක නමින් පැමිණිලිකරු සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇතැයි පැවසේ. මෙම ගිවිසුම 2014.01.17 දින අවසන් කර ඇත. එම ගිවිසුම අනුව මේ ව්‍යාපාරයේ ලාභයෙන් 31% ක් වංචනික ලෙස ලබාගැනීමට මහ ඇමැතිවරයා කටයුතු කර ඇතැයි ද පැවසේ.

‍කෙසේ වෙතත් මෙම ඉඩමේ හිමිකරු මූල්‍ය අපහසුතා හේතුවෙන් මෙම ඉඩම 2015.03.03 දින රු. මිලියන 209.08 කට ටෝකියෝ සිමෙන්ති සමාගමට විකුණා ඇත.‍

ඉඩම විකුණූ බව දැනගත් ප්‍රසන්න රණතුංග මහතා පැමිණිලිකරු වෙත දුරකථනයෙන් අමතා චෙක්පොත රැගෙන තමා හමුවට පැමිණෙන ලෙස මෙම ව්‍යාපාරිකයාට තර්ජනය කර ඇතැයි කියන අතර ප්‍රධාන අමාත්‍යවරයා ඉඩමේ අනවසර පදිංචිකරුවන් ඉවත්කිරීමටත්, ඉඩම ගොඩකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අනුමැතිය ලබා ගැනීම සඳහාත් තමා විසින් ලබාදෙනු ලැබූ සහයෝගය සඳහා රු. මිලියන 64 ක් තමාට ලබාදෙන ලෙස ඉල්ලා තම බිරිය වන මොරින් රණතුංග සහ ඥාතියකු වන නරේජ් ෆාරික් යන අයගේ නම් වලට චෙක්පත් 11 මඟින් එම මුදල 2015.04.10 දින පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇතැයි ද පැවසේ. එම චෙක්පත් අකුරින් අංක 597706 දරන චෙක්පත සඳහා රු. මිලියන 5 ක් ද 597719 දරන චෙක්පත සඳහා රු. මිලියන 3 ක් ද ලබාගෙන ඇති අතර, අනෙකුත් චෙක්පත් අගරුවීමට හැර ඇතැයි දැක්වෙයි.

මෙලෙස චෙක්පත් 9 ක් අගරුවීම නිසා කෝපයට පත් වූ බව කියන මහ ඇමැතිවරයා පැමිණිලිකරුට හා ඔහුගේ බිරියට 2015.04.28 දින මහ ඇමැති කාර්යාලයට පැමිණෙන ලෙස තර්ජනය කර ඇතැයි කියන අතර එලෙස පැමිණි පසුව එම අවස්ථාවේ වූ සංවාදය අධිතාක්ෂණික සියුම් උපකරණයක් මඟින් පැමිණිලිකරු විසින් පටිගත කර ඇත. මෙහිදී මහ ඇමැතිවරයා විසින් කරන ලද තර්ජන නිසා බියට පත් පැමිණිලිකරු විසින් යළිත් රු. මිලියන 38.1 ක වටිනාකමින් යුතු චෙක්පත් 8 ක් මොරින් රණතුංග සහ නරේජ් ෆාරික් යන අයට ලබාදී ඇතැයි දැක්වෙයි.

මහ ඇමැතිවරයා තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැණ වදිමින් මෙම මුදල් ඉල්ලූ සංවාද සියල්ල පටිගත කර සීඩී තැටි 3 ක් මඟින් සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇත. ඊට අමතරව ලබාදුන් චෙක්පත් පිළිබඳ සියලු තොරතුරු ද සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇත.

No comments:

Post a Comment