Wednesday, February 11, 2015

හිටපු ජනපතිගේ වියදම් හෙළි කිරීමට සුදානම්

මහින්ද රූබසිංහ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහජන මුදල් වියදම් කර ඇති ආකාරය ඉදිරියේදී කරුණු සහිතව සනාථ කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා.

මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි 10,000කට ආසන්න මුදලක් වෙන්කර නොතිබුණේ යැයි කිසිවෙකු පවසන්නේ නම් එය හාස්‍යයට කරුණක් බවයි. හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් එවැනි මුදලක් අවශ්‍යව තිබුණේ ඇයි දැයි යන්න ගැටලූවක් බවද රවි කරුණානායක මහතා සඳහන් කරනවා.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි 250 දක්වා අඩු කිරීමට උපදෙස් ලැබුණු බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. 

ශී‍්‍ර ලංකාවේ එක්සත් ආරබි එමීර් රාජ්‍ය තානාපතිවරයා අද හමුවීමෙන් පසු රවි කරුණානායක මහතා මාධ්‍ය හමුවේ මෙම කරුණු දැක් වූ බවයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලය වෙනුවෙන් තම රජය මගින් වෙන් කළේ රුපියල් කෝටි 375ක මුදලක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත්දා මාධ්‍යයට නිකුත් කළ ලිපියක දැක්වුණා.

No comments:

Post a Comment