Wednesday, February 11, 2015

අලි අල්ලන්න උපදෙස් ගත්තෙත් බැසිල්ගෙන්- අපි නමට ඇමතිලා

ඩිල්ෂාන් මඩවල

අලි ඇතුන්ගේ බලපත‍්‍රවල ඇති වී තිබෙන දෝෂ සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් සහ අලි ඇතුන් සන්තකව සිටින පුද්ගලයින් යන දෙපාර්ශ්වයම වගකිව යුතු බව වනජීවි හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා පවසනවා. එ් මහතා එ් බව පැවසුවේ අදාළ දෝෂවලට වගකිව යුත්තේ වනජීවි දෙපාර්තමේන්තුව බවට අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමය කරන චෝදනාවක් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි. 

ඉකුත් වසරේදී සිය බලපත‍්‍ර අලූත් කිරීම සඳහා ඉදිරිපත් කෙරුණද මුදල් ගෙවූ බවට කුවිතාන්සියක් මිස වෙනත් ලියවිල්ලක් තමන් වෙත නොලැබුණු බව එම සංගමය කියා සිටියා. එ් නිසා බලපත‍්‍රවල තිබෙන දෝෂ හේතුවෙන් අලි ඇතුන් අත්අඩංගුවට ගැනීම වහාම නතර කරන ලෙසයි එහි ලේකම් ධම්සිරි බණ්ඩාර මහතා ඉල්ලා සිටියේ. 

මෙම චෝදනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී හිටපු අමාත්‍ය විජිත් විජයමුනිද සොයිසා මහතා සහ නෙත් නිවුස් අතර සංවාදයක් ඇති වුණා. 

මෙතන අලි හිමිකරුවන්ගේ දෝෂ තියෙනවා, නිලධාරීන්ගේ දෝෂ තියෙනවා. දෙපැත්තම ජාවාරමක ස්වරූපයකින් තමයි කටයුතු සිද්ධ කෙරුනේ.

එතකොට අමාත්‍යතුමා පරිසරවේදීන් කලක සිට කියන කාරනාවක්නේ මේ නිතිවිරෝධිව අලි තියාගෙන ඉන්නවා ඇතැම් පුද්ගලයින් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඇයි ඔබතුමාගේ කාලේ මේවගේ වැටලීම් සිදු කෙරෙනු නැත්තේ? සහය ලබා දුන්නේ නැත්තේ? 

නෑ නිලධාරින් කියන්නේ ප්‍රධාන නිලධාරින් උදව් කරේ නැහැ. උදව් කරන නිලධාරි කණ්ඩායමක් සිටියා. එයාලත් එක්ක මෙහෙයුම් කරා. අපි අලි තුන් දෙනෙක් අත්අඩංගුවට ගත්තා මම පෞද්ගලිකව මැදිහත්වෙලා. නුවරදී එක්කෙනෙක් ගත්තා, අනිත් එක්කෙනා නුගේගොඩදී අත්අඩංගුවට ගන්න ගියා, එයාගේ කකුල අමාරු නිසා අපි එතන තියලා අපේ භාරයට ගත්තා. තව අලියෙක් අපි අත්අඩංගුවට ගත්තා. ඉතින් ඒ කටයුතු කරගෙන යනකොට විවිධ බලපෑම් ආවා. ඒ බලපෑම් උඩ යටත් වෙලා වැඩ කරන්න සිද්ධ වුනා. අපි ඉතින් වික්ෂිප්තව බලාගෙන සිටියා.

මේ ඉහල බලපෑම් ආවේ කොතනින්ද කියලා ඔබතුමාට හෙළිකරන්න පුලුවන්ද?

ඒක හරි කතාවක්නේ මොකද වම් කියනකොට වම්බටු කියලා ඕන කෙනෙක් දන්නවානේ ඉතින්. ඉහල පහළ ඉතින් බැසිල් රාජපක්ෂ මහත්තයාලා, ලේකම්තුමාලා, අධ්‍යක්ෂකතුමාලා, ඒ ගොල්ලෝ හිටියේ ඒ තැන්වලින්නේ උපදෙස් ගත්තේ.  අපෙන් නෙමෙයිනේ, අපි නිකන් නමට දාලා හිටපු ඇමතිවරු. ආයේ තවත් වෙන මොනවද අහගන්න තියෙන්නේ. ඔයා බබා වගේනේ කතා කරන්නේ.

මේ අතර අලි ඇතුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෑතදී ආරම්භ කළ වැටලීම් වහාම නතර නොකළහොත් ඉදිරියේදී තමන් උද්ඝෝෂණයක් සිදු කරන බව හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.  එහි සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ එවැනි උද්ඝෝෂණයක් සඳහා රට පුරා සිටින සියලූ හීලෑ අලි ඇතුන් කොළඹ රැගෙන එ්මට වුවද තමන් සූදානම් බවයි

No comments:

Post a Comment