Saturday, February 28, 2015

ප්‍රසිද්ධ භික්ෂූන් කිහිප නමක් අලි පැටවුන් ජාවාරමේ නිරත වී කෝටි ගණන් මුදල් උපයලා - ජයවර්ධනපුර සරසවියේ පුරාවිද්‍යා අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි

සපුමල් ජයසේන From Rivira
පෙරහර සංස්කෘතිය නම් වූ බෝඩ් ලෑල්ලට මුවා වී ලංකාවේ සිටින සුප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම නීති විරෝධී අලි පැටවුන් ජාවාරමෙහි නිරත වී රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ පවසති.
උන්වහන්සේ එසේ පැවසුවේ කොළඹ විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේදී පෙරේදා (25) පවත්වන ලද මාධ්‍ය හමුවකදීය. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසූහ.

කැලයේදී මව් ඇතින්න මරා දමා රැගෙන එන අලි පැටවුන්ව මාධ්‍යවලින් රටටම බණ කියන සුප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් ඔවුන්ගේ විහාරස්ථානවල සහ අසපුවල රඳවාගෙන සිටිනවා. වටේට සමාධි බුද්ධ ප්‍රතිමා තැන්පත් කර ඒ මැද අලි පැටවුන්ව බැඳ දමා වද දෙනවා. මවගෙන් කිරි උරා බොන වයසේ පසුවන ඒ පැටවුන්ට හීලෑ කිරීමට නිරාහාරව තබා හෙණ්ඩුවලින් අනිනවා.  යකඩවලින් පුච්චනවා. ඒ පැටව්  වේදනාවෙන්  කෑගහන හඬ ඇසුණොත්  විඳින දුක දැක්කොත් ඇස් කඳුලෙන් තෙත් වෙනවා. මියුරු හ¾ඩින් බණ කියන මේ හාමුදුරුවන්ට හිතක් පපුවක් නැද්ද? නැතිනම් රුපියල් කෝටි ගණන් වටිනා රථ වාහන සහ මන්දිරවල සිහින මැද හදවත් ගල් වුණාද?

කැ‍ලේ සිටින අලි ඇතුන් ඇතුළු වන සිව්පාවුන්ට නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය අපට උදුරා ගන්න බැහැ. වනය සහ එහි සිටින සතුන් තමයි අපේ රටේ සුන්දරත්වය. ලංකාවේ කැලෑව අඩු වෙනවා. අලි ඇතුන් අඩු වෙනවා. නමුත් පන්සල්වල සිදු කරනු ලබන පෙරහර සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. බස්නාහිර පළාත තුළම පන්සල්වල පෙරහර සංඛ්‍යාව කොච්චර වැඩි වෙලාද? මෙතන තිබෙන්නේ එකිනෙකා අබිබවා යාමට සහ ලොකුකම පෙන්නීමට පන්සල්  අතර කරන තරගයක්. පෙරහර  සඳහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ආධාර ලබාදීමට ව්‍යාපාරිකයින් සූදානම්.

පෙරහර  අවසානයේ පන්ස‍ලේ ලොකු හාමුදුරුවන්ට ලොකු ලාභයක් ලැබෙනවා. පෙරහර හත අටක් කළාම හාමුදුරුවෝ අලියෙක් ඉල්ලනවා. ඉතින් සන්නස් පත්‍රයකින් අලි පැටවකුත් ලැබෙනවා.  ඊට පස්සේ ඒ අලින්ව පෙරහරවලට සංචාරක ව්‍යාපාරවලට, වෙළෙඳ ප්‍රචාරක කටයුතුවලට ලබාදීලා මුදල් හොයනවා.  මම ඉල්ලා සිටින්නේ පන්සල්වලට අලි ලබාදීම නවතා දමන්න කියලයි.

පෙරහර සඳහා ලබාදීමට රාජ්‍ය අනුග්‍රහයක් යටතේ අලි සංචිතයක් ඇති කළ යුතුයි. ඒ සතුන්ගේ  සුබසාධනය ගැන සොයා බැලිය යුතුයි. මේකට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයයි.

අලි පැටවුන් සම්බන්ධ නීති විරෝධී ජාවාරම ගැන කතා කරනකොට දැන් කට්ටියක් කියනවා අපි පෙරහර සංස්කෘතිය විනාශ කිරීමට බටහිර අධිරාජ්‍යවාදීන්ගේ මුදල් අරන් කියලා. කුමන්ත්‍රණයක් තියෙනවලු. මල හත්ඉලව්වයි.

මෙහිදී ජාතික සංඝ සම්මේලනයේ මහ ‍ලේකම් පාහියංගල ආනන්ද සාගර හිමි, පරිසර  සංවිධාන එකමුතුවේ පුබුදු වීරරත්න සහ නදීක හපුආරච්චි යන මහත්වරුද අදහස් දැක්වූහ.

No comments:

Post a Comment