Friday, February 20, 2015

‘යමෙකුගේ නැති ගුණ වර්ණනා කරන යම් ලේඛකයෙකු හමුවුවහොත් ඔහුගේ මූණට කෙළ ගැසීමට මා පසුබට වෙන්නේ නෑ‘ - මාධ්‍ය ඇමැති රුසියානු ලේඛකයා ආදර්ශයට ගනී

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.19, ප.ව.10.00) ප්‍රවෘත්තිමය සංසිද්ධියක සත්‍ය නිවැරදිව හා ස්වාධීනව වාර්තා කිරීම මාධ්‍යවේදියාගේ යුතුකමක් හා වගකීමක්, දේශපාලඥයා කුමන ආකාරයකින් අර්ථකතන ඉදිරිපත් කළත් විවිධ මාධ්‍ය ආයතන දේශපාලන න්‍යාය පත්‍ර වලට අනුව ක්‍රියාකළත් ජනතාව සිටින්නේ ඒ සියල්ලටම ඉදිරියෙන්, ගල් පිළිමයේ හා බොල් පිළිමයේ වෙනස ඔවුන් හොඳින්ම දන්නවා. ඒ නිසා මෙරට බුද්ධිමත් ජනතාව පසුගිය ජනවාරි 08 වෙනිදා රට තුළ දැවැන්ත පරිවර්ථනයක් සිදු කළේ යැයි ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය. 
ඇමතිවරයා එසේ අදහස් ප්‍රකාශ කළේ වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට වසර 25 ක් සපිරෙන රජත ජයන්ති උත්සව සභාවේදීය.  
එම සංවත්සර උත්සවය ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 දා පෙරවරුවේ කුරුණෑගල බ්‍රයිට් බ්‍රාවෝ ශාලාවේදී පැවැත්වින.
මියගිය හා දිවි දුන් විරුවන් සිහිපත් කිරීමට සකස් කළ ස්මාරක පුවරුවකට ඇමතිවරයා උත්තමාචාරය පුද කළේය. 
එම ස්මාරකයේ  “සත්‍ය එළිකරන්නට අප වෙනුවෙන් දිවි දුන් විරුවනි...! ජනතාවට සත්‍යය හෙළිකිරීමේ අරගලයේ නියමුවාණෙනි...! ඔබේ කාර්යභාරයේදී නොයෙක් බාධක එල්ල කර මරා දැමූවත් සත්‍ය හෙළිකිරීමේ නව මං පෙත් ඒ ඔස්සේ විවර වෙයි. ඔබ මියගියේ නැත. සබඳ.... බාධක ගෙනෙන, අප මරා දමන පුද්ගලයින් උන්මත්තකව විකෘති මනසකින් වඳවේදනා විඳ මිය යන්නේය. එහෙත් ඔබ තවමත් අමරණීයයි. ඔබ තවමත් අප අතරයි. සත්‍යයයේ මං පෙත් එලිකළ ඔබ වෙනුවෙනි... වයඹ ජනමාධ්‍යවේදීන්ගේ උත්තමාචාරය “ යනුවෙන් සටහන් කර තිබුණි.

අමාත්‍යවරයා ප්‍රමුඛ සහභාගී වූ සියළුම මාධ්‍යවේදීන් දැල් වූ පහන් අතැතිව ඉහත උපහාර ප්‍රතිඥාව හඬනඟා කීහ.
තවදුරටත් උත්සව සභාව ඇමතූ ගයන්ත කරුණාතිලක මහතා  ඓතිහාසික පුරාවෘත රැසකට උරුමකම් කියන වයඹ පළාතේ පුරා වසර 25 ක් තිස්සේ ඔබ සැම එක්ව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ පිපාසය සංසිඳවන්නට මෙතෙක් කලක් කළ කාර්යයට මාගේ ගෞරව ප්‍රණාමය පුද කරනවා.
වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආරම්භ වූයේ වර්ෂ 1990 දී. මේ ප්‍රබල එකමුතුව මෙතෙක් ආ ගමනේදී නොයෙක් අභියෝග හා තර්ජන වලට මුහුණ දීමට සිදු වූ බව ප්‍රකට කරුණක්.
නීති විරෝධීව කරගෙන ගිය වැලි ගොඩදැමීමේ සිද්ධියක් වාර්තා කිරීමට ගිය ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී වික්ටර් මහතාට සිදු කළ කරදරය මට සිහිපත් වෙනවා. ඒ වාර්තාකාර මහතාට පහරදීලා තුවාල සිදු කරලා ඔහුගේ කැමරා උපකරණ විනාශ කළා. ඒ අවස්ථාවේදී අසරණ වූ මාධ්‍යවේදියා තනි නොකළ වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඊට විරෝධයපාමින් අභීතව ක්‍රියාකළා පමණක් නොව ඔහුගේ විනාශ කළ කැමරා උපකරණ වෙනුවට අළුතින් කැමරාවක් ලබා දෙන්නත් කටයුතු කළේ කැට මුදල් එකතු කිරීමෙන්.
වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඒ අවස්ථාවේදී තම සංගමයේ ශක්තිය පෙන්නුම් කළා පමණක් නොව, මෙවැනි සංගමයකින් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට ලැඛෙන රුකවරණය හා පිහිට පිළිබඳව සෙසු පුද්ගලයන්ටත් පණිවිඩයක් ලබා දුන්නා මෙවැනි සංගමයක් ආරම්භ කර ක්‍රියා කළ යුතු ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ස්වාධීන මාධ්‍යවේදියා ලොකු සම්පතක්, විශාල ශක්තියක්, වංචා දූෂණ වලින් පිරුණු රටක ඒවා හෙළි නොකරණ මාධ්‍යවේදියා නිවටයෙකු ලෙස හැඳින්වීම නිවැරදියි.

එක්තරා රුසියානු ලේඛකයෙක් ප්‍රකාශකර තිබුණේ යමෙකුගේ නැති ගුණ වර්ණනා කරන යම් ලේඛකයෙකු හමුවුවහොත් ඔහුගේ මූණට කෙළ ගැසීමට තමා පසුබට නොවන බවයි. 
පසුගිය කාලේ ආණ්ඩුවට ප්‍රශස්ති කියන්න, ප්‍රතිරූප පුම්බන්න මාධ්‍යවේදීන්ටත් සමහර දේශපාලනඥයින්ටත් සිදු වූ බව නොරහසක්. ඒත් පිම්බීමෙන් ඵලක් වුනාද?, ජනතාව සිටින්නේ මේ සියල්ලටම වඩා ඉදිරියෙන්. ජනතාව උදාකර දුන්නේ මෛත්‍රී පාලනයක්, මාධ්‍ය නිදහස සුරකින රජයක්. ඒ නිසා මාධ්‍යවේදීන්ට නිදහසේ වෘත්තියේ නියැළීමට හැකි පසුබිම නිර්මාණය කරනවා. උතුම් මාධ්‍ය කලාවේ ගෞරවය ආරක්ෂා වන පරිදි ඔබට කටයුතු කළ හැකියි.
ලෝක ප්‍රකට මාධ්‍යවේදී ජුලියස් පුචික් ලේඛකයන් තුන් වර්ගයක් සිටින බව සඳහන් කර තිබුණා. එනම් ජනතාව පසුපසට ගෙන යන ලේඛකයන්, ජනතාව එකතැන රඳවන ලේඛකයන්, හා ජනතාව ඉදිරියට ගෙන යන ලේඛකයන් යනුවෙනි. ඒ අනුව වර්තමානයේදී රටට අවශ්‍ය වන්නේ  ජනතාව ඉදිරියට ගෙන යන ලේඛකයන්.
වර්තමානයේ මාධ්‍ය ප්‍රචාරණයේ දී නැගෙන චෝදනාවක් වන්නේ සිදුවන හොඳ දෙයට, යහපත් කටයුතු වලට ලැඛෙන ප්‍රචාරයට වඩා නරක දේ උලූප්පා නැවත නැවත පළ කිරීමට වැඩි කැමැත්තක් දක්වන බවයි.එම නිසා ජනතාවට හොඳ යහපත් දෑ නිතර නිතර දැන ගැනීමට සැළැස්වීම මාධ්‍ය තුළින් සිදු විය යුත්තකි.
දේශපාලන පක්ෂයක දස වසරක් අඛණ්ඩව මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ නිසා මාධ්‍යවේදීන්ගේ ගැටළු, ප්‍රශ්න පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසායි මේ අමාත්‍යධූරයේ රාජකාරී භාරගත් දින මම ප්‍රකාශ කළේ ජනමාධ්‍යවේදීන්ගේ සිහින සැබෑ කිරීම මගේත් සිහිනය බව.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සමහර මාධ්‍ය ප්‍රධානීන් සලකන්නේ ‘හාල් කෑලි‘ ලෙයසි. ඔවුන්ගේ ශක්‍යතාවයන් අගය කරනවා තබා මේ අයට ප්‍රධාන කාර්යාලයට පැමිණි විට අවශ්‍ය මූලික පහසුකම් ලබා දෙන්නවත් කටයුතු නොකරන බවත් අපට වාර්තා වෙනවා.
දැන් අප පැමිණ සිටින්නේ අළුත් යුගයකට. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙන්ම සියළුම මාධ්‍යවේදීන්ට කාටවත් ගැති නැතිව කාටවත් බය නැතිව සන්තෝශයෙන් තම වෘත්තියේ නියැළීමට හැකි වාතාවරණය උදා කිරීම මාගේ වගකීමක්.
හොරණ ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස සිය වෘත්තීය ආරම්භ කළේ ගුණදාස ලියනගේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා පුවත්පත් ක්ෂේත්‍රයේ කර්තෘ පදවිය දක්වාම දිගු ගමනක් ගියා. ඒ ශ්‍රේෂ්ඨ චරිත ඔබගේ ජීවිත වලට ආදර්ශයක් කරගන්නා මෙන් ඉල්ලා සිටියේය.
වයඹ පළාත් විපක්ෂ නායක ජේ. සී. අලවතුවල, සංගමයේ සභාපති ජනූර් කිව්ලාන්, යාපනයේ ජනමාධ්‍ය සංගම් සභාපති ආර්. දයාබරන්, මාධ්‍ය ජාතික එකමුතුවේ අජන්ත බණ්ඩාර, මඩකලපුව මාධ්‍ය සංගමයේ ඒ. පී. මදන් යන මහත්වරු අදහස් දැක්වූහ. ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සමන් වගආරච්චි, වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ, ධර්මරත්න ලංකාපේලි යන මහත්වරු විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වූහ. 

No comments:

Post a Comment