Sunday, February 15, 2015

අපරාධ සංස්කෘතියක් වූ ත්‍රිරෝද රථ සේවාව

 ලක්බිම පුව්ත් පතේ කතුවැකිය
මගී ජනතාව සඳහා ප්‍රවාහන සේවා සපයන ප්‍රධාන ගමනාගමන සේවාවක් බවට ත්‍රිරෝද රථය පත්වී තිබේ. රට පුරා විසිරී තිබෙන ලක්ෂ ගණනක් වූ ත්‍රිරෝද රථ පැය විසිහතර පුරා ක්‍රියාත්මක වෙමින් මගී ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීම සිදුකෙරේ. මෙතරම් සේවාවක් සපයන ත්‍රිරෝද රථ කෙරෙහි අවධානයක් දක්වන කිසිම ආයතනයක් රට තුළ නැත. ඒ නිසා ත්‍රිරෝද රථය අයා‍ලේ යන හික්මීමක් නැති අනතුරුදායක මගී මරුවෙක් බවට පත් වී තිබේ. වර්තමාන ත්‍රිරෝද රථ සේවාව හැසිරෙන ආකාරය දෙස බලනවිට නවතම සංස්කෘතියක් රටට හඳුන්වා දී තිබෙන බවක් ඉතා පැහැදිලිය. විනීත හික්මුණු රියැදුරන් බොහෝ සිටියද මාර්ග අනතුරු ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධවලට තෝතැන්නක්ව මෙලෙස අයා‍ලේ යන ත්‍රිරෝද රථ කෙරෙන් උපත ලද එම උප සංස්කෘතිය “ත්‍රිරෝද රථ අපරාධ සංස්කෘතිය” නමින් හඳුන්වා දීම වඩාත් උචිතය. 
ත්‍රිරෝද රථය රෝද තුනේ වාහනයකි. එය අලෙවියට පෙර මගී ප්‍රවාහනය පිණිස සුදුසු මට්ටමක පමණක් නොව ගෞරවනීය තත්ත්වයක පවතී. එය මිලදී ගැනීමෙන් පසු ඇතැම් ත්‍රිරෝද රථ එසැනින් පිවිසෙන්නේ අප පෙර සඳහන් කළ ‘ත්‍රිරෝද රථ අපරාධ සංස්කෘතිය’ටයි. ඊට හේතුව වන්නේ මිනිස් ජීවිත පිළිබඳ අබමල් රේණුවක් තරමින්වත් නොතකන රස්තියාදු, දඩබ්බර, නොහික්මුණු පිස්සෙකුගේ දෑතට එහි සුක්කානම සිරවීමයි. ත්‍රිරෝද රථ පදවන සියලුම දෙනා එවැනි නරුමයන් යැයි අප නොපවසමු. නමුත් ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ත්‍රිරෝද රථ අපරාධ සංස්කෘතියේ සාමාජිකයන් බව හඳුනා ගැනීම ඉතා පහසුය.
ඉකුත් 11 වැනිදා හම්බන්තොට රෝහල වෙත ධාවනය කළ ත්‍රිරෝද රථය පැදවූ රියැදුරා රිය ධාවනය පිළිබඳ විධිමත් පුහුණුවක් ලැබුවා නම් ඉදිරියෙන් පැමිණෙන බස් රිය දකිමින් ලොරියකට ඉස්සර කරන්නට යන්නේ නැත. තත්පර කීපයකට ඉවසුවා නම් ඔහු ඇතුළු ත්‍රිරෝද රියේ ගමන් කළ පස් දෙනාම අදටත් ජීවතුන් අතරය. මේ ආකාරයට ත්‍රිරෝද රථ සේවාව එහි ගමන් කරන මගීන්ට පමණක් නොව මාර්ගයේ ගමන් කරන සෙසු වාහනවලට, පදිකයින්ට, ‍පොදු දේ‍පොළ ආදියටද මාරකයක් බවට පත්වී තිබේ.
ත්‍රිරෝද රථ පදවන බොහෝ රියැදුරෝ අමු අමුවේ මාර්ග නීති උල්ලංඝනය කරති. එය අසවල් වැරැද්ද යැයි නම් කිරීමට නුපුළුවන. මාර්ගයට ත්‍රීවීලරය ඇතුළු කළ මොහොතේ පටන් නැවත එය නවතන තුරු සියලුම මාර්ග නීති කඩා බිඳ දමමින් මොවුන් ත්‍රිරෝද රථ ධාවනය කරනු ලබන්නේ මහ පාර මැද්දේ අතහැරිය සර්පයන් මෙනි. නැතිනම් ජනතාව පසුපස පන්නන සාහසිකයන් පිරිසක් මෙනි.
මේ අන්දමට ඉදිරියටත් ත්‍රිරෝද රථ සේවාව අයා‍ලේ යවන්නට ඉඩ දිය නොහැක. රථයක් පදවන රියැදුරෙක් විධිමත් රියැදුරු පුහුණුවට අමතරව දකින්නන්ට ප්‍රිය උපදවන අයෙකු විය යුතුය. සමහර ත්‍රිරෝද රථ රියැදුරන් අමනුෂ්‍යයන් මෙනි. ඔවුහු මගීන්ට පදිකයින්ට විනීතව කතා කරන්න නොදනිති. තමන්ගේ අතේ වැරැද්ද තිබියදී අනෙක් රියැදුරාට හෝ පදිකයාට අසභ්‍ය වචනවලින් බැණ වදිමින් පහර දෙන්නටද උත්සහ දරන ත්‍රිරෝද රථ රියැදුරන් අපට මෙම සමාජය තුළදී කොතෙකුත් හමුවී තිබේ. ඔහුගේ සහයට අවට සෙසු ත්‍රිරෝද රථ රියැදුරන්ද වහා සම්බන්ධ වීම හේතුවෙන් පාඩුව සහ සිත් වේදනාව ඇතිව ස්ථානයෙන් ඉවත් වන්නට අනෙකාට සිදුවෙයි. ඉතින් මෙය ‘ත්‍රිරෝද රථ අපරාධ සංස්කෘතියක්” නොවේද?
මෙවැනි උප සංස්කෘතියක් ත්‍රිරෝද රථ හරහා රට තුළ ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ කිසිම පාලකයෙක් හෝ ආයතනයක් ත්‍රිරෝද රථ සේවාව වෙනුවෙන් ක්‍රියා නොකරන බැවිනි.  
මේ වනවිට දිවයින තුළ සිදුවන බොහෝ අපරාධවලට ත්‍රිරෝද රථ සම්බන්ධ බව ‍පොලිස් පරීක්ෂණ අනුව තහවුරු වී තිබේ. හෙරොයින්, ගංජා ඇතුළු තවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, ගණිකා ජාවාරම ඉන් කිහිපයකි. සාහසික ලෙස පුද්ගලයන් ඝාතනය කිරීම සඳහා පිරිස් කැටුව යාමටද ත්‍රිරෝද රථ රියැදුරන් සම්බන්ධ වූ අවස්ථා බොහෝය. ‍පොදු මගී ප්‍රවාහන සේවාවක් වූ ත්‍රිරෝද රථ සේවාව මේ ආකාරයට අපරාධ සංස්කෘතියක් ක්‍රියාවට නැංවීම සමාජයට භයංකාර අත්දැකීමක් ගෙන දී තිබේ.
වැරදි කරන ත්‍රිරෝද රථ රියැදුරන් අල්ලා උසාවි දමා දඩ ගසා හෝ සිර ගෙදරට යවා ‘ත්‍රිරෝද රථ අපරාධ සංස්කෘතිය’ මැඩපැවැත්වීමට නුපුළුවන. මන්ද බොහෝ ත්‍රිරෝද රථ රියැදුරන් වූ කලී මෙම අපරාධ සංස්කෘතියේ ගොදුරු බවට පත්වී සිටින බැවින්ය. ත්‍රිරෝද රිය මිලදී ගත් දිනයේ පටන් බොහෝ ත්‍රිරෝද රථ රියැදුරන් ප්‍රවේශ වන්නේ ඉහත කී අපරාධ සංස්කෘතියට වීම හේතුවෙන් ඔවුන් ඉන් ගලවා ගන්නට ජාතික වැඩපිළිවෙළක් 
වහා සකස් වීම අතිශයින් වැදගත්ය.
මෙම උප සංස්කෘතිය සමාජයට මොන තරම් බිහිසුණු ඉරණමක් මේ වනවිට අත්කොට තිබේදැයි කිවහොත් ත්‍රිරෝද රථ සේවාව යහපත් මගී ප්‍රවාහන සේවාවක් බවට පත් කරවන්න ‘වැඩ’ පටන්ගත යුත්තේ කොතැනින්ද කියාවත් සිතා ගන්නට බැරි තරම්ය. ඒ තරමට සිදුකරන වැරදි අප්‍රමාණය. කෙසේ වෙතත් ත්‍රිරෝද රථ සේවාව පාලනය කරන්නට ආණ්ඩුවේ වගකිව යුත්තන්ගේ අවධානය වහා යොමු වීම වැදගත්ය. තවත් පිරිස් මරුමුවට පත්වන තුරු බලා නොසිට එම වැඩපිළිවෙළ මෙතැන් පටන් ඇරඹිය හැකි නම් එය මගී ජනතාවට මෙන්ම ත්‍රිරෝද රථ සේවාවටද සිදුකරන මහඟු සේවාවකි.

No comments:

Post a Comment