Saturday, March 21, 2015

රාජපක්ෂලාගේ සමාගමය – Chesmi Consolidated (Pvt) Ltd.

ලසන්ත රුහුණගේ

නිල වශයෙන් නොවුණත් හොරකම නීත්‍යනුකූල වන්නට පටන් ගත්තේ ජේ.ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් සමගය. විවෘත ආර්ථිකය නම් වූ අලූත් බිමේ බලය සතු පුද්ගලයන් ඇති පදමට සරුසාර බව අත්කර ගනු ලැබීය. මේ ආකාරයට සරුසාර බව අත්කර ගැනීමේදී රටේ පවතින කිසිදු නීති රීතියක් ගැන අවධානය යොමු නොකළ අතර තමාගේ නමට ශත ගණන්වලට පවා රටේ ඉඩම් ලියාගැනීම දක්වා එය නිර්ලජ්ජිත විය.

මේ නිර්ලජ්ජිතභාවය පසු කලෙක අනාවරණය වීමත් සමග බලය දරණ වුන් තමන් සරුසාර වීම සඳහා විවිධ උපක‍්‍රම පසුකාලයේදී යොදා ගනු ලැබූ අතර හොරා කෑවා යැයි එම පුද්ගලයන් චෝදනා කරන්නට බැරිතරමට ඒවා ඉතා සූක්ෂ්ම විය. ඒ නිසාම කොතෙක් චෝදනා එල්ලවූවද බලය දරා හොරා කෑ පුද්ගලයන්ට නිරුපද්‍රිතව හිඳින්නට හැකි වූ අතර වත්මන් තත්ත්වයද ඊට වෙනස් නොවීය. ප‍්‍රශ්නය වී ඇත්තේ හොරා කෑ පුද්ගලයන් ඔවුන්ගේ හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ නමට හොරා කෑ කිසිවක් තබා නොගැනීමය. එහෙත් තියුණු විමර්ශනයකදී ආදායම් මාර්ගයක් හෝ පරම්පරාගත දේපළක් නොතිබූ රස්තියාදුකාරයකුට දේපළ ලැබුණේ කෙසේද යන්න සොය බැලිය හැකි අතර එම දේපළ ලැබුණු ආකාරය ඔප්පු කළ නොහැකි නම් ඒවා රජසන්තක කළ හැකිය.

අප දන්නා පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පාරම්පරික දේපළක් නොතිබූ අතර ව්‍යාපාරික කටයුතුවලින් ඔහුට ලැබෙන ආදායම් මාර්ගයක්ද නොවීය. 1970 සිටම ඔහුගේ ආදායම් මාර්ගය වූයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට ලැබෙන දීමනාව වන අතර වරින් වර එය අමාත්‍ය, අගමැති හා ජනාධිපති දීමනා දක්වා වෙනස්විය. ඔහුගේ සැබෑ ආදායම එම දීමනාව නම් ඔහුගේ පුතුන්්ට විදේශගතව අධ්‍යාපනය හැදෑරීමට, රුපියල් ලක්ෂ ගණනක් වූ ලූවී විටෝන්් සපත්තු පැළඳීමට හෝ රුපියල් මිලියන ගණන් වටිනා රේසිං කාර් පැදීමට හැකි වන්නේ නැත.

නිල වශයෙන් රාජ්‍ය නායකයාට රජයෙන් ලබාදෙන දීමනාවලට අමතරව වෙනත් නීත්‍යනුකූල නොවන මාර්ගයන්ගෙන් රාජ්‍ය නායකයාට මුදල් ලැබෙනවාය යන්න ඔවුන්ගේ පවුල්වල දිවිපෙවෙත අපට පෙන්නුම් කරන අතර ඔවුන් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හොර රහසේ පවත්වාගෙන යන ව්‍යාපාරික කටයුතු බොහෝ විට අනාවරණය වන්නේ නැත.

එසේ වූවද හිටපු ජනාධිපති මහේන්ද්‍ර රාජපක්ෂගේ පවුල සමග සබඳතා ඇති එසේ අනාවරණය නොවූ සමාගමක් පිළිබඳව අපට මේ වනවිට තොරතුරු ලැබී තිබේ. අදාළ සමාගමේ නම Chesmi Consolidated (Pvt) Ltd ය. වෙබ් අඩවි පිරික්සීමේදී එහි ලිිපිනය අංක 21, සී බල් ඇවනිව්, කොළඹ 05 ය. අයිතිකරුවන් හෝ අධ්‍යක්ෂවරුන් පිළිබඳ කිසිදු කරුණක් එකී වෙබ් අඩවියේ සඳහන් වන්නේ නැත. දුරකථන අංක 2827527 ය. මෙම සමාගම ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව ඩයලොග් සමාගමේ නිෂ්පාදන හා සේවා රටේ උතුරු නැගෙනහිර පළාත්වලට බෙදාහරිනු ලබන ප‍්‍රධාන බෙදාහරින්නාය. එම සමාගමේ ප‍්‍රධානතම ව්‍යාපාරික කටයුත්ත වන්නේ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයන්ය. ඊට අමතරව විනෝදාස්වාදය, සංචාරක කර්මාන්තය, ක‍්‍රීඩා හා දැන්වීම්කරණය ඔවුන්ගේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයන්ය. පෙර සඳහන් කළ ඩයලොග් සමාගම සමග ඔවුන්ගේ සම්බන්ධතාව පටන් ගත්තේ 2008 වර්ෂයේ සිටය.

මෙම Chesmi Consolidated (Pvt) Ltd සමාගම සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති තොරතුරු අනුව අපට මෙම සමාගම සහ රාජපක්ෂවරු අතර ඇති සම්බන්ධතාව පිළිබඳව අදහසක් ඇතිකර ගත හැකිය. සමාගමේ ලියාපදිංචි ලිපිනය වන්නේ අංක 175/2, පරණ කොට්ටාව පාර, මිරිහාන, නුගේගොඩ ය. සමාගම ආරම්භ කර ඇත්තේ 2006 වර්ෂයේදීය. මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුය. එහි වත්මන් අධ්‍යක්ෂවරුන් වන්නේ ඉහත ලිපිනයේම පදිංචි ජාතික හැඳුනුම්පත් අංක 742560163vහිමි හිමාල් ලලින්ද්‍ර හෙට්ටිආරච්චි, එම ලිපිනයේම පදිංචි ජාතික හැඳුනුම්පත් අංක 797073334v හිමි වින්ද්‍යා රංගනී හෙට්ටිආරච්චි යන අයය. එමෙන්ම එහි වත්මන් කොටස් හිමියන් වන්නේ ඉහත දෙදෙනාට අමතරව හැඳුනුම්පත් අංක 786972779v හිමි ගනේමුල්ල කඩවත පාරේ අංක 150/1 හි පදිංචි රුවණි රණසිංහය. මෙම සමාගමේ ලේකම්වරුන් සහ විගණකවරුන් වශයෙන් කටයුතු කරන්නේ කොළඹ 04 ගාලූපාරේ අංක 89 හි R & J Corporate Secretaries (Pvt) Ltd  ය. ඔවුන්ගේ ශාඛාවන් අංක 480/8 ඇල්විටිගල මාවත, කොළඹ 05 හිද ඇති බව සඳහන්ය. මෙම සමාගමේ පළමු අධ්‍යක්ෂකවරුන් වශයෙන් කටයුතු කර ඇත්තේ හිමාල් ලලින්ද්‍ර හෙට්ටිආරච්චිට අමතරව ඔහුගේ එම ලිපිනයේම පදිංචි ජාතික හැඳුනුම්පත් අංකයක් සඳහන් නොවන සිිරිසේන හෙට්ටිආරච්චි නමැත්තාය.

මේ හිමාල් ලලින්ද්‍ර හෙට්ටිආරච්චි යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරියගේ පුත‍්‍රයාය. වින්ද්‍යා රංගනී හෙට්ටිආරච්චි යනු ඔහුගේ සොහොයුරිය හෝ බිරිඳ විය හැකිය. සිරිසේන හෙට්ටිආරච්චි ඔහුගේ පියා විය හැකිය. නීත්‍යනුකූලව ව්‍යාපාරයක් කිරීම රටේ ඕනෑම පුද්ගලයකුට ඇති අයිතිය අනුව හිටපු රාජ්‍ය නායකයාට යමකුගේ ඇති ඥාතීත්වය එතරම් ප‍්‍රශ්නයක් වන්නේ නැත. එහෙත් Chesmi Consolidated (Pvt) Ltd සමාගම ලියාපදිංචි ලිපිනය වන අංක 175/2, පරණ කොට්ටාව පාර, මිරිහාන, නුගේගොඩ යන ලිපිනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නුගේගොඩ මිරිහානේ පිහිටි නිවස බව අප දන්නා කරුණය. හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධුරය දරණ සමයේ ඔහුගේ පෞද්ගලික කටයුතු සඳහා භාවිත කරනු ලැබුවේ එම නිවසය. වත්මන් කොළඹ ආ විට නවතින්නේද හිතමිතුරන් හමුවන්නේද එම නිවසේදීය. එදා මෙම නිවස යාබදව ආරක්ෂක මුරපලක් තිබුණද අද එය දක්නට නැත. එහෙත් පොලිසිය විසින් ජංගම මුර සංචාරවලදී අත්සන් තබා යන පොතක් මෙම නිවසේ තවමත් ඇත. එසේම එම නිවස අවට ඇති වෙනත් ඉඩම් හා නිවාස රාජපක්ෂලා පසුව මිලදීගත් බව ප‍්‍රදේශවාසීන් දන්නා කරුණය.

තවදුරටත් සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබුණේ මෙම Chesmi Consolidated (Pvt) Ltd සමාගම රාජපක්ෂවරුන්ගේ රූපවාහිනී නාලිකාව වන CSN රූපවාහිනියේ කටයුතු පාලනය කරනු ලබන සමාගම බවය. ඊට අදාළ ලියවිල්ලක් අපට හමුවී ඇති අතර ඒ Chesmi Consolidated හි 2012 වර්ෂයට අදාළ විගණන ලියවිලිය. එම ලියවිලිවලට අනුව සමාගමේ අධ්‍යක්ෂ ලෙස නිල වශයෙන් සඳහන් වන හිමාල් ලලින්ද්‍ර හෙට්ටිආරච්චිට රුපියල් මිලියන 15 ක (රු. 15,773,056/=) මුදලක්ද එන්.සී. රාජපක්ෂ හෙවත් නාමල් රාජපක්ෂ (නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ) රුපියල් මිලියන 15ක පෞද්ගලික ණය මුදලක්ද Carlton Sports Network Pvt Ltd හෙවත් CSN රූපවාහිනි නාලිකාවට රුපියල් මිලියන 25ක (රු. 25,275,000/=) මුදලක්ද Chesmi Trading (Pvt) Ltd ට රුපියල් මිලියන 9ක (රු. 9,970,133.50) මුදලක්ද, Celera Solution (Pvt) Ltd ට රුපියල් මිලියන 7ක (රු. 7,708,018.11) මුදලක්ද ගෙවා තිබේ.

 ඒ අනුව මෙම අපූරු සමාගම එහි අධ්‍යක්ෂවරුන්ටත් වැටුපට අමතරව මුදල් ගෙවන අතර ඉනුත් එහාට යමින් නාමල් රාජපක්ෂට පෞද්ගලික ණය මුදලක්ද ලබාදී තිබේ. තවදුරටත් CSN නාලිකාවට Chesmi Trading සමාගමට හා Celera Solution සමාගමට හේතු නැතිව මුදල් ගෙවා තිබේ.

ඒ නිසාම මෙම සමාගම වූ කලිී රාජපක්ෂවරුන් විසින් පවත්වාගෙන යනු ලබන සමාගමක් බවට වෙනත් අටුවාටිකා අවශ්‍ය නැත. තවද ඩයලොග් සමාගමේ උතුරු නැගෙනහිර පළාත්වල නිෂ්පාදන හා සේවා බෙදාහරින්නා වශයෙන් ඊට පෙර එම කටයුතු කර නැති මෙම සමාගම පත්වීමද පුදුම විය යුතු කරුණක් නොවේ. උතුරේ යුද්ධය අවසන්වීමෙන් පසු 2008 වර්ෂයේ සිට මෙම සමාගමට එම අවස්ථාව ලැබෙන්නේ දේශපාලන බලපරාක‍්‍රමෙන් මිස වෙන හේතුවකට නොවන බව පැහැදිලිය. CSN නාලිකාවට රූපවාහිනී විකාශන සංඛ්‍යාත ලැබෙන තෙක් එම නාලිකාවේ වැඩසටහන් ඩයලොග් TV හරහා විකාශනය කළ බවද අප සිහියට නගා ගත යුතුය. දේශපාලන බලයේ ආශ්චර්ය යනු මෙවැනි සමාගම්ය. මෙවැනි සමාගම්වල ගනුදෙනු සහ සියලූ සම්බන්ධතාත් සෙවීම දූෂණයට එරෙහි පිරිසගේ වගකීමය. ඔවුන් එම වගකීම ඉටුකරනවා දැයි අපි බලා සිටිමු.

 ප‍්‍රතිචාර නැත

Chesmi Consolidated (Pvt) Ltd හි අධ්‍යක්ෂකවරයා වශයෙන් සඳහන් වන හිමාල් ලලින්ද්‍ර හෙට්ටිආරච්චි මහතාව සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදීම සීබල් ඇවනිව් හි ඇති එම සමාගමේ 2827527 දුරකථන අංකයට ඇමතුම් ලබාගත්තද එය ව්‍යර්ථ වූයේ ඔහු කාර්යාලයේ නොමැති බවට ලැබුණු පිළිතුරු නිසාය. එමෙන්ම ඔහුගේ ජංගම දුරකථන අංකයක් අප ඉල්ලූවද එය ලබා නොදුන් අතර ලියුම්කරුගේ ජංගම දුරකථන අංකය ඔවුන්ට ලබා දුන්නද පුවත්පත මුද්‍රණයට යනතෙක් ඔවුන්ගෙන් අපට ඇමතුමක් ලැබුණේ නැත 

No comments:

Post a Comment