Thursday, March 19, 2015

කිලී මහාරජා - මහින්ද රාජපක්ෂ හමුවක්: කපුවා ටිරාන්: රනිල් මංගල දේශපාලනයෙන් එළවා මහින්ද අගමැති කරන වගකීම කිලී බාරගනී

(ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.19, ප.ව. 9.30) කැපිටල් මහරජා ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආර්. රාජා මහේන්ද්‍රන් නොහොත් කිලි මහරාජා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව ඉකුත් 18 වෙනිදා හමුවී ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂව මීළඟ අග්‍රාමාත්‍යවරයා බවට පත් කිරීමේ කාර්යභාරය තමාට පහසුවෙන් ඉටුකළ හැකි යැයි කිලී මහාරාජා මහින්ද රාජපක්ෂට පොරොන්දු වී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් දේශපාලන භූමිකාවෙන් ඉවත්කර දැමිය යුතු බවත් ඒ වෙනුවෙන් ඕනෑම යක්ෂයෙකු සමග කටයුතු කිරීමට තමා සූදානම් බවත් රාජා මහේන්ද්‍රන් සිය මාධ්‍ය ආයතන ක්‍රියාකාරීන් සමග ප්‍රකාශ කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.
කැපිටල් මහරජා ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ආර්. රාජා මහේන්ද්‍රන් නොහොත් කිලි මහරාජාව හමුවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව මහාරාජාගේ කොළඹ මල්පාරේ නිවසට කැඳවාගෙන ගොස් ඇත්තේ ටිරාන් අලස් මන්ත්‍රීවරයා විසිනි.
මහරාජාගේ නිවසේදී පැවැති මෙම සාකච්ඡාවට සිරස මාධ්‍ය ආයතනයේ ෂෙවාන් ඩැනියෙල්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසාර දිනාල්, සරත් පොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය, ටිරාන් අලස් යන පිරිස් සහභාගි වී ඇත.
මීළඟ මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට බහුතර බලයක් සහිත ආණ්ඩුවක් බලයට පත්කිරීමට සිය මාධ්‍ය ජාලය මෙහෙයවන බවත්, ඒ වෙනුවෙන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර කීපයක් තමා නම් කරන පුද්ගලයන්ට ලබාදෙන ලෙස රාජා මහේන්ද්‍රන් කර ඇති ඉල්ලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙතින් යහපත් ප්‍රතිචාරයක් පළ වී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය අනාවරණය කරයි.
මේ අනුව කිලි මහරාජා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට උපදෙස් දී ඇත්තේ අඛණ්ඩවම බෝධිපූජා වැඩ සටහන ඉදිරියට ගෙන යන ලෙසටත්, ඊට තම මාධ්‍ය මගින් වැඩි හා පුඵල් ඉඩකඩක් වෙන් කර දීමට හැකි බවත් එතුළින් තමා මහින්ද රාජපක්ෂට සහාය දෙන බවට කිසිවෙකුටත් චෝදනා එල්ල කළ නොහැකි බවත් කිලි මහරාජා පෙන්වා දී ඇත.
එසේම අගමැති රනිල් වික්‍රසිංහට සහ විදේශ අමාත්‍ය මංගල සමරවීරට එරෙහිව දැඩි මතයක් මාධ්‍ය හරහා ගොඩ නගන බවත් කිලි මහරාජා මහින්ද රාජපක්ෂට පොරොන්දු වී ඇත.
මෙම පියවරත් සමගම ශ්‍රීලනිපයේ කම්බ හොරුන්ගේ පිලේ නායකයා වන මහින්ද රාජපක්ෂගේ ඉදිරි දේශපාලන ව්‍යාපෘතියට සිරස, දෙරණ, සීඑස්එන් යන රූපවාහිනි නාලිකා සෘජු ලෙස සම්බන්ධ වෙමින් සිය මාධ්‍ය මෙහෙයුම ගෙන යනු ඇතැයි දැන ගන්නට තිබේ. 
සියළු මාධ්‍ය අතේ තබාගෙන ජනාධිපති වෙන්න බැරි වුනු මහින්ද රාජපක්ෂ මාධ්‍ය සොච්චමක් අතේ තබාගෙන අගමැති වන්නේ කෙසේද කියා සාමාන්‍ය මෝඩයෙකුට වුව තේරුම් ගියද වරින් වර විවිධ දේශපාලන ව්‍යාපෘති තම මාධ්‍ය මගින් සිදුකිරීමට ගොස් ඇන ගෙන සිටින කිලි මහාරාජාට හෝ ටිරාන් අලස්ට තේරුම් නොයන්නේ මහින්ද රාජපක්ෂ සමග බිලියන ගණනක මුදල් කන්දක් සංසරණය වන බව දන්නා නිසා ය. (ලංකාවේ විදේශ වත්කම් වලට වඩා රාජපක්ෂලා සතු විදේශ වත්කම් වැඩි යයි මේ වන විට සොයාගෙන තිබේ.)

No comments:

Post a Comment