Saturday, March 21, 2015

'ජාතික ගීය එදා පටන් දෙමළෙන් ගැයුනා'

තිසර අරවින්ද රතුවිතාන -  From BBC Sinhala


Full article:- 


http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/03/150319_thisara_anthem_jayampathi_gammanpila#orb-banner
එක්දහස් නවසිය පනස් එකේ පටන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කර ඇති බවත් පසුගිය පාලන සමයේ එය තහනම් කරමින් චක්‍ර ලේඛනයක් නිකුත් කිරීම නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය වූ බවත් ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.
බොහෝ දෙමළ සහ මුස්ලිම් පාසල්වල වසර හැටකට අධික කාලයක් තිස්සේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම සිදු වූ අතර එය දිගටම කර ගෙන යාමට ඉඩ හැරීම හැරීම තුළින් ප්‍රශ්නයක් මතු නොවන බවයි ඔහු කියා සිටියේ.

‘තමන්ට තේරෙන භාෂාවෙන් ගායනා කරන කොටනේ ඒකෙ නියම තේරුම දන්නේ. රට පිළිබඳ අභිමානයක් ඇති වන්නේ ඒක තේරෙනකොට නේ. නොතේරෙන භාෂාවකින් ගායනා කරන්න බල කරනවට වඩා හොඳයි තේරෙන බසින් ගයන්න ඉඩ හරින එක. මම නම් හිතන්නේ නැහැ ඕක මහ ලොකු ප්‍රශ්නයක් කියල.’ බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසීමකදී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පැවසීය.

දෝෂාභියෝගයක්

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල බීබීසීයට කියා සිටියේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවසර දෙමින් ජනාධිපතිවරයා ගැසට් පත්‍රිකාවකට අත්සන් තබන්නේ නම් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන හෙයින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකි බවයි.
ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට ඉඩ දීම ගැන තම විරුද්ධත්වයක් නොමැති නමුත් දෙමළ පරිවර්තනයට නිල ස්ථාවරයක් ලබා නොදිය යුතු බවයි ඔහු තව දුරටත් කියා සිටියේ.
නමුත් කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු නව නීතියක් පනවා නොමැති බවයි.

අයිතියක් -රාජිත

‘අමුතුවෙන් අනුමැතියක් දෙන්න අවශ්‍ය නැහැ. තියෙන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න ජනාධිපති කෙනෙක් අමුතුවෙන් අනුමැතිය දෙන්න ඕන නැහැ. ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවේ තියෙන අයිතියක්’ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිල ජාතික ගීය වශයෙන් සිංහල භාෂාවෙන් රචිත ජාතික ගීය පවතින බවත් දෙමළ භාෂාවෙන් එය ගායනා කිරීමට නීතියෙන් කිසිදු අවහිරයක් නොමැති බවත් ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

No comments:

Post a Comment