Thursday, March 26, 2015

ජනාධිපති මෛත්‍රීගේ සොයුරෙක් වූ ‘වැලි රාජු‘ ප්‍රහාරයකට ලක්ව අසාධ්‍යයි: හිසට පොරවකින් ගැසූ මිතුරා බකමූණට බාර වෙයි

(ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.26, ප.ව.10.30) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන චීනයේ නිල සංචාරයක යෙදී සිටියදී ඔහුගේ බාල සොහොයුරෙකු වන පි‍්‍රයන්ත සිරිසේන හෙවත් ‘වැලි රාජු‘ නමැත්තා පොලොන්නරුවේදී පොරෝ ප්‍රහාරයකට ලක්ව අසාධ්‍ය තත්ත්වයකින් කොළඹ පෞද්ගලික රෝහලකට ගුවනින් ගෙනැවිත් තිබේ. 
ප්‍රහාරය සිදුව ඇත්තේ අද රාත්‍රී 8 ට පමණ පොලොන්නරුවේ හතර ඇල ප්‍රදේශයේදී ය. ප්‍රහාරය එල්ල කර ඇත්තේ වැලි රාජු සමග කලක් තිස්සේ හිතවත් මිතුරෙකු වන හපුතන්ත්‍රිගේ දොන් නිෂාන් ලක්මාල් හපුතන්ත්‍රී නැමැති ගරාජ් හිමියෙකි. 
ප්‍රහාරයෙන් පසුව නිෂාන් ලක්මාල් බකමූණ පොලිසියට බාර වී ඇත.
ඔහු පොලිසියට පවසා ඇත්තේ ‘වැලි රාජු‘ සවස දුරකථන ඇමතුමක් දී කිසියම් සිදුවීමක් හගිස්සවීමට නිෂාන්ගේ නිවසට එන බව පවසා සිටි බවත් ඒ අවස්ථාවේදී ඔහු බීමතින් සහ කෝපයෙන් සිටි නිසා තමන් බියපත්ව නිවසින් ඉවත්ව ඈතට වී සැඟව බලාගෙන සිටියදී ‘වැලි රාජු‘ තව දෙතුන් දෙනෙක් සමග ඔහුගේ නිවසට පැමිණ නිවසේ සිටි ඔහුගේ මවට සහ පියාට බැන වදිමින් පහර දුන් බවයි. පැමිණි සියළු දෙනාම බීමතින් සිටි බවද සැකකරු පවසා ඇත. තම පියාට පහර දෙනවා බලාගෙන සිටීමට නොහැකි වූ තැන තමන් පැමිණ අතට හසුවූ පොරවකින් කාට කොහේ වදිනවාදැයි නොබලා පහර දුන් බවත් පසුව පොරව එතැනම දමා පැන ගිය බවත් ඉන්පසුව පොලිසියට පැමිණ බාර වූ බවත් සැකකාර නිෂාන් ලක්මාල් පවසා තිබේ. 
පොරෝ පහර හිසට වැදුනු වැලි රාජු අසාධ්‍ය තත්ත්වයකින් පොලොන්නරුව රෝහලට ගෙන ගොස් ඇති අතර ඉන්පසුව වයි 7 ගුවන් යානයකින් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන විත් තිබේ. 
මේ වන විට ස්නායු ශල්‍ය විශේෂඥ සුනිල් පෙරේරා විසින් ‘වැලි රාජු‘ හදිසි සැත්කමකට භාජනය කර ඇතැයි එම රෝහලේ ප්‍රකාශිකාවක් ලංකා ඊ නිව්ස් වෙත පැවසුවාය.
ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව පවසන්නේ වෙනත් කතාවකි. වැලි රාජු සිය මිතුරා වන නිෂාන් ලක්මාල් ගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් රහසිගතව පවත්වාගෙන ගොස් තිබේ. අද එය අතටම හසුවීම නිසා නිෂාන් ලක්මාල් විසින් පොරවක් රැගෙන දෙදෙනා සිටි කාමරයේ දොර කඩා  වැලි රාජුගේ හිසට පොරවෙන් ගැසුවේ යයි ජනතාව කියති.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරෙක් වුවද පි‍්‍රයන්ත සිරිසේන හෙවත් ‘වැලි රාජු‘ නමැත්තාගේ තක්කඩි ක්‍රියා කලාප මෛත්‍රීපාල මහතා විසින් මීට පෙර දැඩි සේ පිළිකුල් කර තිබේ. ජනාධිපති අපේක්ෂකයෙක් වීමට පෙර පැවැති එක්තරා රැස්වීමකදී වැලි රාජු ගේ තක්කඩි ක්‍රියා මාර්ග හෙලා දකිමින් මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්ධියේ කියා සිටියේ “පවුල් විනාශ කරන සහෝදරයන් සමහර පවුල් වල උපදිනවා, කරුමේ තමයි. ඉතින් ඒකට මොනවා කරන්නද?“ කියා ය.

No comments:

Post a Comment