Thursday, March 26, 2015

සැබෑ නායකයකු වීමට ධර්මය සහ විනය අත්‍යවශ්‍යයි - ආනන්ද විදුහල්පති කිත්සිරි ලියනගමගේ

රිවිර පුවත් පතේ අනුග්‍රහයෙනි
නාලක සංජීව දහනායක 
ඡායාරූප - සස්සඳ ලියනාරච්චි


අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ වසන්ත
නවරත්න බණ්ඩාර මහතා සම්මාන ලබා ගනිමින් 

ලෝකයට බිහිවිය යුත්තේ යාන්ත්‍රික උගතුන් නොව ජාතියක වැදගත්කම හඳුනන ගුණ නැණ සපිරි උගත් මිනිසුන් බවත් වසර 128ක් පුරා අනඳ මාතාව එවැනි දූ දරුවන් දහස් ගණනක් ජාතියට දායාද කර තිබෙන බවත් මිනිසාට සේවය කිරීමද පරමාදර්ශය කරගත් එවැනි මිනිසුන් අනඳ මෑණියන්ට මහත් අභිමානයක් බවත් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ලලිත් සේනානායක මහතා පැවසීය.
  ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාට
විදුහල්පති කිත්සිරි ලියනගමගේ හා සිසු සංගමයේ සභාපති 

ලලිත් සේනානායක මහත්වරුන් සම්මාන ලබා දෙමින් 
ජාතික කැඩෙට් බළකායේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් චන්දන රාජගුරු මහතා සම්මාන ලබා ගනිමින් 
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ප්‍රසන්න ප්‍රේමරත්න මහතා සම්මාන ලබා ගනිමින් 
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුත්තෙට්ටුවේගම මහතා සම්මාන ලබා ගනිමින් 
සේනානායක මහතා එසේ පැවසුවේ ඊයේ (26) කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි සිසු සංගමය සංවිධානය කළ එම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා වර්තමානයේ විවිධ ක්ෂේත්‍රවල නියැළෙන ආදි ආනන්දීයයන් හත් දෙනකුට උපහාර පිදීමේ උත්සවය එම විද්‍යාලයීය සියවස් සමරු ශාලාවේදී පැවැති අවස්ථාවේදීය.

මෙම උත්සවයේදී කීර්තිමත් ආදි ආනන්දීයයන් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන ජනාධිපති නීතිඥ යසන්ත දේවප්‍රිය කෝදාගොඩ, ජනාධිපති නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න, ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති වෛද්‍ය චාමර නිලංග සමරසිංහ, සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් චන්දන රාජගුරු,

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුත්තෙට්ටුවේගම හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ප්‍රසන්න ප්‍රේමරත්න යන මහත්වරුන් මෙහිදී උපහාර ලැබූහ.

මෙම උපහාර උත්සවයේදී ආනන්ද විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ලලිත් සේනානායක මහතා මෙසේද පැවසීය.

පානදුර වාදය සම්බන්ධයෙන් ලියැවුණු කෘතියක් කියවීමෙන් පසු ඇතිවූ චින්තන විප්ලවය නිසාවෙන් ඇමෙරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් 1880දී ලංකාවට එනවා. ඒ තමන් සොයා යන විශ්වීය දහම බුදුදහම බව දැනගෙනයි.

බුදුදහම සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනීමක් ඇතිව ලංකාවට පැමිණෙන මෙතුමන් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි මහ තෙරවරුන් සමග එකතු වී මෙරට බෞද්ධ ප්‍රතිරූපය ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා. ඒ එවකට මෙරට කිතුනු දිවයිනක් බවට පත් කර ගැනීම සඳහා පල්ලිය ගෙන ගිය ක්‍රියාදාමයන්ට මුහුණ දෙමිනුයි.

බෞද්ධ ප්‍රතිරූපය ඉදිරියට ගෙන යමින් රටේ අධ්‍යාපනය කිතුනුකරණයෙන් මුදා ගැනීම සඳහා දරුවන් තුළ ජාතික හා ආගමික හැඟීම් වර්ධනය කිරීමට එතුමාගේ මූලිකත්වයෙන් 1886 නොවැම්බර් 1 වැනි දින ආනන්ද පාඨශාලාව එහෙමත් නැතිනම් වර්තමාන ආනන්ද විද්‍යාලය ආරම්භ කරනවා.

ආනන්ද විදුහල ආරම්භ කිරීමත් සමගම මෙරට සිංහල බෞද්ධ අධ්‍යාපනයේ වැදගත් කඩඉමක් සටහන් වුණා. ආනන්ද පින්බිමේ ඉගෙනුම ලැබූ දරුවන් සිංහල බෞද්ධ පිළිවෙතට අනුව හැඩ ගැසුණා.

යටත් විජිත පාලන සමයේ අපගේ සැඟවී ගිය ආගමික හා සංස්කෘතික උරුමයන් වටහා ගැනීමට හැකි වුණා. අඳුරු යුගයක ජාතියටත් ආගමටත් එල්ල වූ ප්‍රහාරවලට එරෙහිව වසර 128ක් අධික කාලයක් පුරා ආනන්ද විදුහල මැනවින් කටයුතු කළ බළකොටුවක් වුණා.

ආනන්ද විදුහ‍ලේ ආදි ශිෂ්‍ය සංගමයක් බිහි වන්නේ 1908 වසරේදී. ඒ මෙම විදුහ‍ලේ ප්‍රථම සිංහල බෞද්ධ විදුහල්පතිවරයා වූ ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මැතිතුමාගේ සභාපතීත්වයෙන්. ආනන්දයේ පරමාදර්ශය විදහා දක්වමින් එතුමා වරක් ප්‍රකාශ කළේ මිනිසා ශිල්ප ශාස්ත්‍රයෙන් කෙතරම් උගතකු  වුවත් ධර්ම ශාස්ත්‍රයෙන් නුගතකු නම් මෝඩයකු හා පිස්සකු බවයි. මින් ගම්‍ය වන්නේ ආනන්දයෙන් බිහි විය යුත්තේ යාන්ත්‍රික මිනිසුන් නොව ජාතියට වැදගත්කමක් හඳුනන ගුණ නැණ සපිරි මිනිසුන් බවයි.

ආනන්දය බිහිවීමත් සමගම නව ශිෂ්ටාචාරයක් බිහි වුණා. එමෙන්ම සෑම ශිෂ්ටාචාරයක්ම පාදක කර ගනිමින් සංස්කෘතියක්ද බිහි වුණා.

ශිෂ්ටාචාරය මලක් නම් සංස්කෘතිය එහි සුවඳයි. ආනන්ද ශිෂ්ටාචාරයෙන් බිහි වූ ආනන්ද සංස්කෘතිය නම් එහි සිසුන් වෙයි.
කීර්තිමත් ආදි ආනන්දියකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු  උප කුලපති ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා වරක් ප්‍රකාශ කළේ මිනිසා තරණය කළ යුත්තේ විශ්වයේ තිබෙන හඳ නොව තමා ජීවත් වන සමාජයේ ජනතාවගේ හදවත බවයි. එතුමන්ගේ එම ප්‍රකාශයෙන් වැටහෙන්නේ ජාති, ආගම්, දේශපාලන. වර්ණයන්ගෙන් තොරව ජනතාවගේ සංස්කෘතියක් ආනන්ද ශිෂ්ටාචාරයෙන් බිහිවිය යුතු බවයි.

විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටත්වයට පත් සහෝදර ආදී ආනන්දීයයන් ආනන්ද මාතාවගේ සම්මානයට පාත්‍ර වන මෙම සම්මානනීය අවස්ථාවේදී ආදි සිසු සංගමය වෙනුවෙන් පිළිගැනීම් ලැබිම මම මහත් භාග්‍යයක් සේ සලකනවා. එමෙන්ම මෙම විශිෂ්ට ආදි ආනන්දීයයන් සම්මානයට පාත්‍ර කරන්නේ මතු අනඳ පරපුරට ආදර්ශයක් දීමටයි.

ආනන්ද විදුහ‍ලේ වර්තමාන විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා මෙලෙස අදහස් දැක්වීය.

අද සම්මානයට පාත්‍ර වන විශිෂ්ට ආදි ආනන්දීයයන් ඉගෙනුම ලැබූ තක්සලාව මෙහෙයවන්නට මට ලැබිම මගේ ජීවිතයේ මහා භාග්‍යයක් කොට සලකනවා.

ඕනෑම කෙනකුට පරිපාලකයකු, දේශපාලකයකු, නායකයකු, සභාපතිවරයකු වන්නට පුළුවන්. නමුත් සැබෑ නායකයකු වන්නට අවශ්‍ය ධර්මය හා විනය ආනන්දීයයකු තුළ තිබෙනවා. සැබෑ නායකයකු වන්නේ ඔහුයි.

මුවින් ප්‍රකාශ කරන්නට කලියෙන් යමකුගේ  හැසිරීමෙන් ඔහු ආනන්දීයයකුදැයි කිව හැකියි. මා විශ්වාස කරන්නේ එය තමයි ඔහු ආනන්දයෙන් ලැබූ පන්නරය ඔබ එදා අධ්‍යාපනය ලැබූ ආනන්දය තව තවත් ඉදිරියට ගෙනයාමට අප කටයුතු කරනවා. විද්‍යාලයීය ඉතිහාසය තුළ පසුගිය වසරේදී පහ වසර ශිෂ්‍යත්වයෙන් සිසුන් විශාල පිරිසක් සමත් වුණා. එමෙන්ම අ‍පොස (සා.පෙළ) විභාගයෙන් පසුගිය වසරේදී ‘ඒ’ සාමාර්ථ සහිත සිසුන් 129ක්. අ‍පොස (උ.පෙළ) විභාගයෙන් සිසුන් 308 දෙනෙක්ද විශ්ව විද්‍යාල වරම් ලැබුවා.

අපගේ වෑයම වන්නේ විනයගරුක සමාජයක් බිහි කිරීමටයි. විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ඒ සඳහා විශාල සහයෝගයක් ලබා දෙනවා.
මෙහිදී උපහාර තිළිණ ලැබූ ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා මෙලෙස අදහස් දැක්වීය.

ආනන්ද විද්‍යාලයෙන් ලැබූ අධ්‍යාපනය නිසාවෙන් අප ජීවිත තෝතැන්නේ විවිධ ස්ථානවල ගරුත්වයට පාත්‍රවීම අප ලැබූ මනා භාග්‍යයක් කොට සලකනවා.

ආනන්දයේ ඉගෙනුම ලබන කාලයේදී මම ක්‍රීඩාවට එතරම් ඇලුම් කළේ නෑ. මොකද මගේ වැරදි විශ්වාසයක් තිබුණා. ක්‍රීඩාවෙන් විශ්‍රාමගත් දවසක මට කරන්න වැඩක් නැතිවෙයි කියලා. ඒ නිසාවෙන් මම පාසල් සමයේදීම නීති ක්ෂේත්‍රයට ප්‍රවිශ්ටවීමට තීරණය කළා. මම ඒ වෙනුවෙන් අධ්‍යාපනයේ යෙදුණා. අපි විවාද කළා. ආනන්දය අපට ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයා දුන්නා.

නීති ක්ෂේත්‍රයට පිවිසිලා කටයුතු කරද්දී රටේ ආන්දෝලනයට ලක්වූ නඩුවලට සම්බන්ධ වී කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. ඒ සඳහා අප පන්නරය ලබාගත්තේ ආනන්ද විදුහලෙනුයි. අපි නීතිගරුකව, යුක්තිගරුකව කටයුතු කළා.

මම ආනන්දයෙන් සමුගන්න කොට විදුහල්පතිවරයා ලෙස හිටියේ රාජපක්ෂ මහතායි. එතුමා සම්පූර්ණ සුදු ඇඳුමින් සැරසිලා ඇවිදින කොට හරිම ගාම්භීරයි. එතුමාව අනුස්මරණය කරන්නත් පෙලඹිලා හිටියා. වර්තමානයේදීත් එවැනි විදුහල්පතිවරයෙක් මෙම විදුහලට ලැබිම සතුටට කරුණක්.

මේ සම්මාන පුද කිරීම මතු අනඳ පරපුරට ආදර්ශයක් ලබාදීමක් බවද පැවසීය. මෙම අවස්ථාව ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගි වූ අතර ප්‍රවීණ රූපවාහිනී හා ගුවන්විදුලි නිවේදක ශෂික චමිල් ශ්‍රී ජයතිලක මහතා සභාව මෙහෙයවීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා
වෙනුවෙන් එතුමන්ගේ මෑණියන් සම්මාන ලබා ගනිමින්
 

අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩල සභාපති වෛද්‍ය චාමර නිලංග සමරසිංහ මහතා සම්මාන ලබා ගනිමින් 



No comments:

Post a Comment