Sunday, March 15, 2015

ඇමැති පුතා හිරේ යන වැඩක් කරයි

ප්‍රබල දේශපාලනඥයකුගේ පුත්‍රයකු බාල වයස්කාර දැරියක බලෙන් පැහැරගෙන වසරක් තිස්සේ රඳවාගෙන සිටිතියි මවත් පියාත් කොළඹ ගලදාරි හෝටලයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද (15) චෝදනා කළහ.
කොළඹ කිරුළපනේ ව්‍යාපාරික ගාමිණී රණසිංහ මහතා සහ ඔහුගේ භාර්යාව දාමිණී ඉන්දිරා රුද්‍රිගෝ මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වූහ.
2014 පෙබරවාරි මාසයේදී ඇමැති පුතා අමාත්‍යංශ රියකින් පැමිණ එවකට 16 හැවිරිදි වියේ සිටි තම දියණිය පැහැරගත් බවත් කුරුඳුවත්ත පොලිසියට හා ජාතික ළමා රක්ෂණ අධිකාරියට මේ බව පැමිණිලි කළ නමුත් පළක් නොවූ බවත් ඔවුහු කියති.
තම දියණිය තමනට බාරදීමට පොරොන්දුවී ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ දෙන බව පැවසූවත් එය කිසිදාක නොවූ බවත් එදා සිටම දියණිය ඔවුන් බාරයේ රඳවාගෙන සිටින බවත් දියණිය දැක්වීමට හෝ සම්බන්ධ කර ගැනීමට කිසිම ඉඩක් නැති බවත් එයින් බලවත් මානසික පීඩාවක් පවතින බවත් දැරියගේ මව්පියෝ කියති.
දැරියගේ බාරකාරත්වය පතා කොළඹ මහාධිකරණයේ හබයාස් කෝපූස් ඉල්ලුම්පතක් ගොනු කර ඇතැයිද ඔවුහු කියති.
තම දියණිය ව්‍යාජ ගමන් බලපත්‍රයකින් එතෙර රැගෙන යාමට සැරසෙන බවට තොරතුරු ඇතැයිද ඇගේ ගමන් බලපත්‍රය ඇත්තේ තමන් බාරයේ යැයිද ඔවුහු පවසති. තමනට සාධාරණය ඉෂ්ට කරන ලෙස ඔවුහු මෛත්‍රිපාල සිරිසේන ජනපති, රනිල් වික්‍රමසිංහ අගමැති හා කාන්තා කටයුතු ඇමැතිනී රෝසි සේනානායක මහත්මියගෙන්ද ඉල්ලා සිටී.
රණසිංහ මහතා ලංකාදීපයට පැවසූයේ ගැහැණු දරුවකු නිසා මෙතෙක් ඉවසාගෙන සිටි බවයි. ‘‘පසුගිය ඡන්ද කාලයේදී මේ සිද්ධිය එළියට දමන ලෙස අපේ නෑදෑ හිතවතුන් කිව්වා. ඒත් කළේ නැහැ. දැන් ඉතින් එළියට දානවා. අපේ රෙදි ගැලවිලා ගියත් කමක් නෑ‘‘

No comments:

Post a Comment