Saturday, March 21, 2015

මහින්ද කහඳගම හිරේ ඒත් වාසු එළියේ

රාජපක්ෂ ආණ්ඩුව පරාජයවීමත් සමග බොහෝ ප‍්‍රශ්න සමනය වෙතැයි සිතූ බොහෝ අය මේ වනවිට අසහනයට පත්ව ඇතැයි සිතේ. ඒ බව පෙනෙන්නට තිබේ. පේව්මන්ට් එක දිගේ ඇසෙන පදිකයන්ගේ කතාවත් එබඳු හැඩයක් ගනී. රාජපක්ෂ ආණ්ඩුවේ නොම්බර එකේ තක්කඩියකු වූ මහින්දරත්න කහඳගම හෙවත් මහින්ද කහඳගම බන්ධනාගාර ගතවූ පසු නිදහස්යැයි සිතූ පේව්මන්ට් ජීවිත අද කබලෙන් ළිපට වැටී ඇත්තේ යහපාලනයේ නාමයෙනි.

මහින්ද කහඳගම හිරේ යනකොට අපි හිතුවේ අපි නිදහස් කියලා. ඒත් එහෙම නැහැ. තවමත් මහින්දගේ පාතාලය පිටකොටුවේ කඩවල සල්ලි එකතු කරනවා. ඒ මදිවට ඒ කාලේ ඉඳලා එකතු කරපු ඒවයේ ඇරියස් අපිට ගෙවන්න කියලා නගර සභාව අපිට චණ්ඩිපාට් දානවා. ලියුම් එවනවා.

කතාව ආරම්භ කළේ සුනිල් ජයවර්ධන මහතාය. ස්වයං රැුකියා නියුක්තික යන්ගේ සංගමයේ වත්මන් සභාපති ඔහුය. මහින්ද කහඳගමට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ගියේ ඔහුය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මහින්ද කහඳගම බන්ධනාගාරයේය.

2010 ඉඳලා මහින්ද කහඳගම කඩවලින් එකතු කරපු සල්ලි නගර සභාවට භාරදීලා නැහැ. අද නගර සභාව කියනවා අපිට ලක්ෂ 35ක් එන්න තියෙනවා ඒවා ගෙවන්න කියලා. අපි කොහොමද ලක්ෂ 35ක් ගෙවන්නේ. එදා මහින්ද කහඳගමට බයේ හිටපු කොළඹ නගරාධිපති අද මහින්ද හිරේ ගියහම අපිට ඇවිත් කියනවා මහින්ද ගත්ත ඒවා ගෙවන්න කියලා. අවුරුදු පහක සල්ලි ගන්න නගරාධිපති දැනගන්න ඕනෑ. තව අවුරුදු දහයකින් රාජපක්ෂ ආණ්ඩුව පෙරලූණා නම් එදාමද මේ ඇරියස් අපෙන් ඉල්ලන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා පෙන්නලා අපිව බය කරගෙන හිටිය මහින්ද කහඳගමට අපි ඇති තරම් රැුවටුණා. අද නගරාධිපති ඇවිත් රනිල් වික‍්‍රමසිංහ මහතාව පෙන්නලා අපිව බය කරනවා. දෙවන හරස්වීදියේ කඩ බලහත්කාරයෙන් කැරලි හමුදාව දාලා කඩනවා. ඒ කඩ හිමියන්ට දෙනවා කියපු අඩි 100 පාරේ කඩ ටික නගරාධිපතිගේ හිතවතුන්ට, මුජිබර් මන්ත‍්‍රීගේ හිතවතුන්ට එජාප හිතවතුන්ට දෙනවා. මේ කරන්නෙත් මහින්ද කහඳගම කරපු දේමයි. මේ දේ යහපාලනයෙන් වෙනව නම් අපි රාජපක්ෂලා එක්කම ඉන්නවනේ. මේකද යහපාලනය කියලා අපිට අද අහන්න වෙලා තියෙනවා.

සුනිල් ජයවර්ධන නුගේගොඩ ස්වයං රැුකියා කඩහිමියන්ගේ සංගමයේ සභාපතිය. ඔහු මහින්ද කහඳගමගේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයට එකතුවන්නේ වාසුදේව නානායක්කාර මහතා කළ කපුකමකට අනුවය. එහෙත් මහින්ද කහඳගමගේ ක‍්‍රියාකලාපයට එරෙහිව ඔහු එකලද හඬ නගා තිබුණි. ප‍්‍රතිඵලය දැඩි සත්කාර ඒකකයේ සිටින්නට මහින්ද කහඳගමගේගේ මැරයන් පහරදීමය. ඒ පිළිබඳ එදා පොලිසිය ඇන්ටි‍්‍රයක් පවා බාරගෙන තිබුණේ නැත. ඒ අඳුරු මතක ඇති ඔවුන් අදත් මුහුණු හකුළුවා ගනී නම් සැබැවින්ම නිවැරදි වී ඇත්තේ කුමක්ද? පැරදී ඇත්තේ කවුද?

රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ අක‍්‍රමිකතා ඉහවහා යනවිට ජනතාව යහපාලනය තෝරාගත්තේ සැබෑවටම යහපාලනයක් පොරොත්තුවෙහි තබා ගෙනය. එකම දේ නැවත නැවත නොවන්නටය. මහින්දගේ චණ්ඩිකම් මුසාමිල්ගෙන් අත් නොවිඳින්නටය.

හෙට මහින්ද කහඳගම එළියට එනු ඇත. එවිට මේ සෙල්ලම මේ විදිහටම සිද්ධ නොවේද? ඔහු හිරේ ලැග්ගද ඔහුගේ ගෝල බාලයන් අදටත් සියල්ල අකුරටම කරගෙන යති. කප්පම් ගනී. බිය වද්දති. හිරේ ගොස් ඇත්තේ කහඳගම පමණි. පැරදී ඇත්තේ මහින්ද රාජපක්ෂ පමණි.

එන්. ස්වර්ණලතා යටගියාව මනාව දන්නා තැනැත්තියකි. වත්මනෙහි ස්වයංරැුකියා නියුක්තික යන්ගේ සම්මේලනයේ ලේකම් ධුරයද දරන්නී ඇයය.
2007දී මේක හැදුවේ වාසුදේව නානායක්කාර මහත්තයාගේ මඟපෙන් වීමෙනි. ඔහු තමයි අපිට මහින්ද කහඳගමව හඳුන්වලා දුන්නේ. මගේ මිනිහෙක් කියලා. මම තමයි එදා සම්පූර්ණ බර ඇද්දේ.

කහඳගම ඒ කාලේ හිඟන්නෙක් කිව්වොත් හරි. තේ එකක් බොන්නත් මගෙන් සල්ලි ඉල්ල ගත්තේ මට පිටකොටුවේ යහමින් බිස්නස් තිබුණා. අපි තක්කාලි පෙට්ටියේ තියාගෙන ලියුම් ලිව්වේ. පිටකොටුවේ කඩයක් ගාණේ ඇවිදලා සාමාජිකයන් බඳවා ගත්තේ. මුලින් පිටකොටුවේ ශාඛා සංගම් 72ක් හැදුවා. අපි මේ හැම කෙනෙක්ටම ගිහින් කිව්වේ අපිට කියලා සමිතියක් හදාගත්තහම පොලිසියෙන් හරි නගර සභාවෙන් හරි ප‍්‍රශ්නයක් එනකොට අපිට පිහිටක් තියෙනවා කියලයි. එහෙම තමයි වාසුදේව මහත්තයත් අපට කිව්වේ. පිටකොටුවෙන් ආරම්භ කරලා රට වටේම පිරිස් එකකු කර ගත්තා.

ස්වර්ණලතාලා ආරම්භ කළ එම සම්මේලනය ආදායම් උපදවන තැනකට ගේන්නේ සුනිල් ජයවර්ධනය. ඒ නුගේගොඩ ස්වයංරැකියා සම්මේලනයේ සභාපතිව සිට නුගේගොඩ ප‍්‍රශ්නයකදී පිහිට වන වාසුදේව මහතා කහඳගමට එකතුවන්නැයි කරන ආරාධනය හේතුවෙනි. එහිදී එම සම්මේලනයේ භාණ්ඩාගාරික වන සුනිල් ජයවර්ධන සාමාජිකයන් සාමාජික ගාස්තුවක් ගෙවිය යුතු බව යෝජනා කරන්නේ සම්මේලනයේ පැවැත්ම තහවුරු කිරීමටය. එහෙත් එයින් තහවුරු වන්නේ කහඳගමය. ඔහු සම්මේලනයට ලැබෙන මුදල් තනි භුක්තියට හරවා ගන්නේ ස්වර්ණලතා සහ සුනිල් ජයවර්ධන පන්නා දමමින්ය. ඊළඟට ඔහු ඉදිකරන කඩ කාමර තම හිතවතුන්ට විකුණන්නේ ඒවායේ තනි අයිතිකාරයාද ඔහුම වෙමිනි.

ස්වයංරැුකියා නියුක්තික යන්ගේ සම්මේලනයේ සභාපති ධුරය උපයෝගී කොටගෙන එය ආධාර කරගනිමින් කොළඹ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත‍්‍රීවරයකුවීමටද ඔහුට හැකිවේ. ඒ 2011 දීය. මේ ස්වර්ණලාගේම පිහිටෙනි.

2010දී මහින්ද රාජපක්ෂ මහත්තයගේ සංවත්සරය සමරන්න කියලා පිටකොටුවේ කඩවලින් මුදල් එකතු කළා. ලක්ෂ 10, 20ක් විතර එකතු කළා. හැමෝම දුන්නා. ඒ සල්ලි මෙයා ගත්තා. මොනවා කළාද දන්නේ නැහැ. එතැනින් තමයි මේ සේරම පටන් ගත්තේ.මම මහින්ද රාජපක්ෂගේ මිනිහා කියලා එළිපිටම වැඬේ පටන් ගත්තා.
මට කහඳගම එළිපිටම සම්මේලනයේ මුදල් කොල්ල කනකොට වාසුදේව මහත්තයට කිව්වම ගණන් ගත්තේ නැතැයි ස්වර්ණලතා කියයි. 104 මාර්කට් එක මෙයාගේ නමටම ලියා ගත්තා. ඒකේ කඩවල බදු නගර සභාව නෙමෙයි මහින්ද ගත්තේ. ඒකේ අයිතියක්වත් නගර සභාව දීලා නැහැ. ඒත් මෙයා ලක්ෂ 12ටත් කඩ විකුණලා තියෙනවා. ලක්ෂ 2- ලක්ෂ හතරට සමහර කඩ. මුලදී සලෝචන ගමගේට කඩ තිහක් තිබුණා. ඒවත් පස්සේ මහින්දම ගත්තා. මහින්දගේ නෝනට, දුවට, නෑදෑයන්ට කඩ බෙදාගත්තා. අපි ජනපතිට මේ බව කිව්වා. විමල් වීරවංශට කිව්වා. නගරාධිපතිට කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයටත් කිව්වා. කවුරුත් ගණන් ගත්තේ නැහැ.ස්වර්ණලතා මහත්මිය අදත් ඒ ගැන කතා කරනුයේ කනගාටුවෙනි.

පිටකොටුව බෝගහ පිටුපස 104 කඩ ටිකේ හිමිකරුවා වන මහින්ද කහඳගම එයින් නොනැවතී පිටකොටුවේම කෙරුම් කාරයා වී ඇත. 104 කඩ ගැන මීට පෙර බොහෝ දේ ලියා ඇත. එය ඔහුගේ පවුලේ බූදලයක් බව අනන්තවත් පෙන්වා දී ඇත. එහෙත් වගකිවයුත්තෝ ඒ දෙස නොබැලූහ.

104 මාර්කට් එකෙන් නොනවතින කහඳගම බෝධිරාජ මාවතේ අදියර එකේ වැඩද තමන් යටතට ගනී. අදියර එකේ කඩ පිටකොටුව පොලිස් නිලධාරීන්ටද හිමිව ඇත. දෙවන අදියර පටන් ගත් පසු තවත් පොලිස් මහත්වරු කඩහිමියන් වී ඇත. ඒ.එස්.පී. ජයරත්න මනම්පේරි මහත්තයටත් කහඳගම කඩයක් දුන් බව ස්වර්ණලතා වගකීමෙන් කීවාය.

පොලිසිය යාළු කරගෙන කහඳගම පොලිසියටත් කඩ දෙන්නේය. ඒ අතර රටේ හතර දිග් භාගයේ දේශපාලන හිතවතුන්ට කඩ දෙන්නේය. පාතාල මැරයන්ට කඩ දෙන්නේය. ජුලම්පිටිය අමරේටත් පිටකොටුවේ කඩ ඇත්තේය. මේ කහඳගම ස්ථාපිත වන හැටිය. තම ආධිපත්‍යය තහවුරු කරගන්නා හැටිය. මේ තත්ත්වයේ හිඳ ඔහු පිටකොටුවම හොලවන්නේ ඒ සියලූම හයිය, ශක්තිය මහින්ද රාජපක්ෂ මහතාට යොදවමිනි.

මෙතනදි මගේ නම් අදහස මේ හැමදේටම වගකියන්න ඕනෑ වාසුදේව නානායක්කාර ඇමතිවරයයි. ඔහුයි මේක හැදුවේ. ඒකට අපේ පන්තියේ මිනිහෙක්ම ගෙනත් දාලා ඒ මිනිහව විනාශ කෙරුවෙත් ඔහුමයි. කහඳගම අන්ත අසරණ මිනිහෙක්. එයාට ප්ලේන්ටියක් බොන්න සල්ලි තිබුණේ නැහැ. ඒත් එකපාර සල්ලි ලැබෙන කොට, නගර සභාවේ මන්ත‍්‍රී වෙනකොට මෙයා පොඩි මහින්ද වුණා. ඒ නිකං නෙවෙයි. කොළඹ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක් කරන කොට මෙයාට පණිවුඩය එනවා ඒක නවත්වන්න. ඉතින් මෙයා අර චණ්ඩි ටිකයි පිටකොටුවේ කොල්ලෝ ටිකයි අරගෙන යනවා. ගහලා එලවනවා. ඉතින් මෙයා පිටකොටුව චණ්ඩියා වුණා. මෙයා නීතිඥයන්ටත් ගැහැව්වා. අධිකරණයටත් ගැහැව්වා. උඩින් එන ඕන එකක් කළා. ඒකේ ලකුණු දාගත්තේ වාසුදේව ඇමතිවරයා. එයාට එදා ඉඳලා ප‍්‍රශ්නයක් තියෙනවා පිරිස් බලය ගැන. එයා රාජපක්ෂලාට පෙන්නුවා මේ මගේ පිරිස් බලය කියලා. කහඳගම මෝඩයා නිසා ඒක අකුරටම පෙන්නුවා. කහඳගම කරපු හැමදේටම වාසු වගකියන්න ඕනෑ. ඔහුට අද බන්ධනාගාරයට යන පාර කැපුවේ වාසුයි. අද මහින්ද ගෙනල්ලා මේ මහින්දව බේරගන්න වෙන්න ඇති වාසු කෑගහන්නේ. වාමාංශික කතා කිව්වට වාසුවගේ අහිංසකම මිනිස්සුන්ගේ බඩට ගහපු ඇමතිවරයෙක් තවත් නැතිව ඇති. දැන් කහඳගම හිරේ. වාසු එළියේ.ප‍්‍රදීප් මහතා දැක්වූ අදහස් එබඳුය.
මීට වැඩිය දේවල් නම් ගම් එක්ක කියන්න පුළුවන්. ඒත් හවසට ඇවිල්ලා කට කපලා යයි. ඒ තරම් මැරයෝ කහඳගමට ඉන්නවා.ස්වර්ණලතා කීවේ අද තත්ත්වයද එදා මෙන්ම බව ඒත්තු ගන්වන්නටය.

වාසු ඇමතිවරයා කහඳගම ලවා ගොඩනගන ස්වයංරැුකියා නියුක්තික යන්ගේ සංගමය රට පුරා ව්‍යාප්තය. එහි ශාඛා මේ වනවිට 222ක් පවතින අතර එහි සාමාජිකත්වය 22,000 ඉක්මවති. මේ අය දිනකට රුපියලක් සාමාජික මුදල ලෙස වසර අග රුපියල් 365ක් ගෙවිය යුතුවේ. ඒ අනුව 365 ඒවා 22,000ක් හමුවේ. ඊට අමතරව සෑම කඩයකින්ම දිනකට රු. 50-100-200 වශයෙන් ප‍්‍රමාණය අනුව ගෙවිය යුතුය. ඊටත් අමතරව මසකට රුපියල් 1000ක් ගෙවිය යුතුය.

මේ කහඳගමගේ සාක්කුවට ගිය මුදල්ය. වසර ගණනාවක් ගිය මුදල්ය. ඒ හරහා ඔහු මහා ධනවතෙක් බවට පත්විය. එය කොතරම් ප‍්‍රමාණයක්ද දන්නේ ඔහුමය. අදත් ඔහුගේ මුදල් එකතු කරන කිහිපදෙනකුගේ දිනක ආදායම රු. 14,000කි. තවත් දෙදෙනකුගේ 10,000කි. සෙසු අයට 5000-8000ත් අතරය. මේ මුදල් එකතු කරන අයගේ දිනක වැටුපය. මේ කෙරුමන්ට එසේ නම් කහඳගමට ගිය කල ගැන කවර කතාද? මේ මුදල් වාසු ඇමතිගේ ඕනෑඑපාකම්වලට නොයෙ දුණායැයි කියන්නේ කෙසේද? පිරිස් බලයෙන් උපරිමය කළ කහඳගමෙන් ඊට එහා දෙයක් වාසු ඇමතිවරයා බලා පොරොත්තු නොවුණිද?

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ නොව ඇමතිවරු ගණනාවකට අවශ්‍ය කරදරකාරයන් මට්ටු කර ඇත්තේ කහඳගමය. ඒ පාරට බහිනවුන්ය. පාරට බහිනවුන් පාරේවුන් ලවාම මෙල්ල කිරීම වාමාංශික තියරියක් විය. වාසුලා දක්ෂ වූයේ මේවාටය. රාජපක්ෂලා කැමති වූයේ එයටය. මහින්දලා, මහින්දලා මොනවා කළත් මිනිස්සු බිය වූහ. මේ බිය තවමත් එහෙමමය.

පේව්මන්ට් එකේ ධනවතා වන කහඳගම නාගරික මන්ත‍්‍රී ධුරයට පත්වන විටත් පයින් යන්නෙකි. නිශ්චල චංචල කිසිදු දේපළක් ඒ වනවිට ඔහුට නොවීය. ගමන් බිමන් සඳහා යොදා ගත්තේ නාලනී ස්වර්ණලතාට අයත්ව තිබූ ත‍්‍රීවිලර් රථයය. එහෙත් වසර තුනක් ඉක්මෙන තැන කොළඹ කොම්පඤ්ඤවීදිය, බොරලැස්ගමුව, කඳානේ යන තැන්වල නිවාස තුනක් මොහුට හිමිය. ඊට අමතරව ඩබල් කැබ් වර්ගයේ වාහනයක්ද ඩොල්ෆින් වෑන් රථයක්ද, ත‍්‍රීරෝද රථ රාශියක්ද ඩිමෝ බට්ටා රථ කිහිපයක්ද ඔහුට අයිතිය. එසේ නම් මේ මුදල් ඉණුවේ කොහින්ද?

මේ මුදල් මැවීමේ ලයිසන් කහඳගමට දුන්නේ කවුද? අංක එක වාසුදේව ඇමතිය. ඒ ඔහු නිර්මාණය කිරීමෙනි. ඊට අමතරව කොළඹ නගර සභාව කළයුතු කාර්යයන් ඔහුට පැවරුවේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂය. ඔහු කහඳගමට කොළඹ පදික නගරයේ පදික වෙළෙඳ සංකීර්ණ තුළින් (කඩ 927ක)  දිනපතා මුදල් එකතු කිරීමට අවසර ලබාදී තිබුණි. මොහු උපයා ගත් මුදල් ගැන පරීක්ෂා කිරීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වගකීමකි. ඊට සාක්ෂි සැපයීමට බොහෝ අය සිටිති. මහින්දගේ කඩ කාමර ගත් වෛද්‍යවරු සිටිති. රජයේ උසස් නිලධාරීන් සිටිති. පොලිස් නිලධාරීන් සිටිති. දේශපාලකයන් සිටිති. කොළඹ නගර සභාවේ මන්ත‍්‍රීවරු සිටිති. පාතාල මැරයෝ සිටිති. මේවා හෙළිදරව් කිරීමට නිදහසක් නැතැයි අදත් මොවුන් මැසිවිලි නගති. ගෝඨාභය රාජපක්ෂ ක‍්‍රියාත්මක කළ කඩා බිඳ දමන තියරිය වත්මන් නගරාධිපති පටන් ගෙන ඇතැයි මොවුහු කියති. එදා ගෝඨාභයට, මහින්ද කහඳගමට බිය වූ මුසම්මිල්ලා, මුජිබර්ලා අද තම චණ්ඩිකම් පටන් ගෙන ඇතැයිද අලූතින් ඉදිවන කඩ ඔවුනොවුන් අතර බෙදාගන්නා බවද මොවුන් නගන ප‍්‍රධාන චෝදනාවකි. ඒ අතර මහින්ද කහඳගමගේ ගේ මැරයෝද පරණ ලෙසම මුදල් එකතු කරති. මේ තත්ත්වය තුළ බරපතළ අවුලකට මොවුන් පත්ව ඇතැයි මොවුහු කියති. මේවා අහවරවන්නේ කවදාද? කහඳගමලා ගියා. ඒත් වැඬේ එහෙම්මමනේ. රාජපක්ෂලා ගියා ඒත් එහෙම්මමයි නේද? මේ ඔවුන් අපෙන් අසන පැනයය. අප වෙනුවෙන් පිළිතුරු ඕනෑම කෙනෙකුට ලබාදිය හැකිය.


No comments:

Post a Comment