සීඑස්එන් හැංගි හැංගි වෙස් බැඳීම ඉවරයි
 |
ලසන්ත රුහුණගේ |
හිටපු ජනාධිපති වත්මන් කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂගේ පුත් නාවික හමුදා නිලධාරි යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම මහත් ආන්දෝලනයකට ලක්වූ කරුණක් බවට පත්වී ඇත. රාජපක්ෂවාදී ඒකාබද්ධ විපක්ෂයයැ’යි හඳුන්වා ගන්නා පිරිසට අනුව එය දේශපාලන පළිගැනීමක්ය. එමෙන්ම රාජපක්ෂවාදී යහපාලන ආණ්ඩුව තුළ තනතුරු දරන පිරිසට අනුවද එය දේශපාලන පළිගැනීමකි. මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂට අනුව එය දරුවන්ගෙන් පළිගැනීමකි. රාජපක්ෂවාදීයැ’යි නොකියන යහපාලන ආණ්ඩුවේ තනතුරු දරන නිමල් සිරිපාල ද සිල්වාට අනුව යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත් එෆ්සීඅයිඩිය හෙවත් මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසය විසුරුවා හැරිය යුතු ආයතනයකි.
දේශපාලන පළිගැනීමක්යැ’යි සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ තමන්ට එරෙහි විරුද්ධවාදී මත දරන්නන් පිළිගත හැකි හේතු රහිතව දඬුවමට ලක්කිරීමය. දේශපාලනඥයන් සම්බන්ධ යෙන් හෝ ඊට සමීප සම්බන්ධතා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් විමසා බැලූවහොත් මෑතකම අපට ගතහැකි උදාහරණ දෙක වන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව හා හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව රාජපක්ෂවරුන් සිදුකළ දඬුවම් ලබාදීම්ය.
ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදා සේවයේ සිටියදී දේශපාලනඥයන් සමග සාකච්ඡුා පවත්වා ඇතැයි (ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සමග) චෝදනා ගෙන ආවේය. ඔහුගේ බෑණා වන දනුන තිලකරත්නට ඍජු සම්බන්ධයක් නැති සමාගමක් විසින් රාත‍්‍රියේ පළඳින ඇස් කණ්ණාඩි හා ටෝච් යුද හමුදාවට සැපයීමෙන් ෆොන්සේකා වරදකරුවකු බව කීවේය. මේ අනීතික චෝදනා සඳහා ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගනු ලැබුයේ ප‍්‍රශ්න කිරීමකින් හෝ තොරව යුද හමුදාවේ රාජපක්ෂ හෙංචයියන් යොදවා බලහත් කාරයෙන්ය. ෆොන්සේකාට එරෙහිව ඇති කරන ලද හමුදා අධිකරණයද පක්ෂග‍්‍රාහීත්වයෙන් පිරුණු එකක් විය.
එහෙත් නාවික හමුදා නිල ඇඳුම සමඟින් හා එසේ නොවී ප‍්‍රසිද්ධියේම තම පියාගේ මැතිවරණ ප‍්‍රචාරක වේදිකාවලට ගොඩවූ යෝෂිත රාජපක්ෂ නාවික හමුදා නීතිය උල්ලංඝනය කරන බවට චෝදනා කළේවත් නඩු පැවරුවේවත් නැත. ඒ එකල රාජපක්ෂවරුන්ගේ නීතිය ඔවුන්ට ඕනෑ ආකාරයට භාවිත වූ නිසාය.
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකටද එසේමය. ඈ පිළිබඳව රාජපක්ෂ හෙංචයියන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර පැය කිහිපයක් තුළ නඩුවක් අසා එහි වාර්තාවද රෑ එළිවෙනකම් සකස් කර රාජපක්ෂවාදී හෙංචයියන් බහුතරයකගේ අත් එසවීමෙන් තීන්දුවක් දුන්නේය. අධිකරණයට යොමු කළ ඇයට විරුද්ධ චෝදනාද බොරුවෙන් පිරී තිබුණේය. ශේෂය රුපියලක්වත් නැති අක‍්‍රිය ගිණුම් ඇයට එරෙහි චෝදනා විය.
වඩා ඈතටම දිව ගියහොත් ජේ.ආර්. ජයවර්ධන විසින් සිරිමා බණ්ඩාරනායක ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු පිරිසගෙන් පළිගැනීම සඳහා පත් කළ විශේෂ කොමිසම හා ඒවාහිදී නැගූ චෝදනා අපට සිහිකරගත හැකිය. එහිදී මේ සියල්ලන්ගේම ප‍්‍රජා අයිතිය හෙවත් ඡන්දය ඉල්ලීම් ඇතුළු පුරවැසි අයිතිය ජේ ආර් අහෝසි කර දැම්මේය.
තම විරුද්ධවාදීන්ගෙන් දේශපාලනිකව පළිගන්නවායැ’යි කියන්නේ ඒවාටය. යෝෂිත රාජපක්ෂ ඇතුළු කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස් රූපවාහිනී ආයතනයට සම්බන්ධ පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කිරීම එවැනි දේශපාලන පළිගැනීමක්ද? කිසිසේත්ම නැත. මේ වූකලි පැවති රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා ජනතාවගේ පාර්ශ්වයෙන් නැතහොත් පුරවැසියන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ එක් ප‍්‍රධාන ඉල්ලීමක පුංචි එක් ප‍්‍රතිඵලයක් පමණය. එකී ජනතාවගේ පුරවැසියන්ගේ ඉල්ලීම වූයේ රාජ්‍ය දේපළ කොල්ලකෑ රාජ්‍ය දේපළ අවභාවිත කළ, දේශපාලන බලය යොදා අල්ලස් කොමිස් ලබාගෙන කෝටි ප‍්‍රකෝටිපතියන් වූ පිරිස් පිළිබඳව පරීක්ෂණ කර දඬුවම් ලබාදෙන ලෙසය.
යෝෂිත රාජපක්ෂ ඇතුළු සීඑස්එන් නාලිකාවට සම්බන්ධ පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේද වෙන කිසිවක් නිසා නොව එම නාලිකාව ආරම්භ කිරීම සඳහා යෙදවූ මුදල්වලින් රුපියල් මිලියන ගණනක මුදලක් සොයාගත්තේ කෙසේද යන්න පිළිබඳව ප‍්‍රකාශ කිරීමට නොහැකිවීමේ තත්ත්වය තුළය. සීඑස්එන් නාලිකාව සම්බන්ධ සමාගම් ලියාපදිංචියේ හෝ වෙනත් ලියවිලිවල එම සමාගමේ සභාපතිවරයා හෝ අයිතිකරුවා වශයෙන් යෝෂිත රාජපක්ෂගේ නාමය නිල වශයෙන් දක්නට නැතත් විමර්ශකයන් සොයාගෙන ඇත්තේ යෝෂිත එම නාලිකාවේ සභාපතිවරයා හා අයිතිකරුවා වශයෙන් කටයුතු කර ඇති බවය.
රටේ කිසිදු පුද්ගලයකුට ඉබේ කෝටි ප‍්‍රකෝටිපතියන් විය නොහැකිය. පුද්ගලයකු මුදල් උපයා ගත් ආකාරයක් තිබිය යුතුය. එය ඔප්පු කරන්නට පුළුවන් විය යුතුය. එම ආදායම අනුව ආදායම් බදු හා වෙනත් බදු ගෙවිය යුතුය. ගෙවා තිබිය යුතුය. එසේ නොවුණහොත් එම දේපළ වැටෙන්නේ කළු සල්ලිවලින් මිලදී ගත් දේපළ හැටියටය. කළු සල්ලිවලින් පවත්වාගෙන යන ව්‍යාපාර ලෙසටය. එවැනි කළු සල්ලි දේපළවලට හෝ ව්‍යාපාරවලට රටේ නීතියේ ඉඩක් නැත. ඊට අදාළ මෑතකම උදාහරණය පෙන්වූයේ යහපාලන ආණ්ඩු සමයේදී නොවේ. පසුගිය රාජපක්ෂ පාලනයේදීය. ප‍්‍රකට කුඩු ව්‍යාපාරික වෙලේ සුදාගේ මුදල් හා දේපළ රාජසන්තක කළේ ඒ අනුවය. නීතිය කාහටත් පොදුය. හිටපු ජනාධිපතිවරයාගේ පුතුන් කියා එහි වෙනසක් තිබිය නොහැකිය.
ඒ නිසාම අප විසින් මීට පෙර අවස්ථා ගණනාවකදී හෙළිදරව් කරන ලද කාල්ටන් ස්පෝර්ට්ස් හා ඊට ඈඳුණු සිදුවීම් පිළිබඳව පුරවැසියන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සඳහා නැවත සිහිපත් කිරීමක් කළ යුතුමය. එම කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් එනමින් නිල වශයෙන් ආරම්භවන්නේ 2011 මාර්තු 07 වැනිදා කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදීය. ඊට සහභාගි වූයේ හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, එවක ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, එවක ස්වාධීන රූපවාහිනී සභාපති රොස්මන්ඞ් සේනාරත්න ආදින්ය. ඊටත් අමතරව මෙම නාලිකාවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළේ යසාරා අබේනායකය. ඇය ඒ වනවිට යෝෂිත රාජපක්ෂගේ පෙම්වතියය. ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේ නිශාන්ත රණතුංගය. ඔහු ඒ වනවිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ආණ්ඩුව පත් කළ අතුරු කමිටුවේ ප‍්‍රධානියෙකි.
එපමණක් නොව මෙම සීඑස්එන් නාලිකාව එනමින් නිල වශයෙන් එළිදක්වන්නට පෙර විකාශය කරනු ලැබූයේ ඩයලොග් ප‍්‍රයිම් ටීවී හරහාය. එය එකල හැඳින්වූයේ නාමල් රාජපක්ෂගේ තාරුණ්‍යයට හෙටක් ටීවී චැනලය වශයෙන්ය. තාරුණ්‍යයට හෙටක්හි උපසභාපති වූයේද යෝෂිත රාජපක්ෂය. මේ තරුණයන්ට හෙටක් සංවිධානයේ ලිපිනය වශයෙන් එවක භාවිත වූයේ මහින්ද රාජපක්ෂ සිය පළමු ජනාධිපතිවරණ අවධියේ භාවිත කළ අංක 260/12, ටොරින්ටන් ඇවනිව්, කොළඹ 05 යන ලිපිනයය. කාල්ටන් ස්පෝර්ස් නෙට්වර්ක්ස් නාලිකාව දැන් පවතින ස්ථානයට එන්නට පෙර සිය ලියාපදිංචියේ ලිපිනය වශයෙන් භාවිත කළේද ඉහත අංක 260/12, ටොරින්ටන් ඇවනිව්, කොළඹ 05 යන ලිපිනයය. කාල්ටන් ස්පෝර්ට්ස් දැන් පවත්වාගෙන යන ගොඩනැගිල්ල පිහිටි බත්තරමුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව පාරේ ඉඩම ඞී.ඒ. රාජපක්ෂ පදනමට ආණ්ඩුවෙන් ලබාගත් ඉඩමක්ය.
කෙසේ හෝ ඩයලොග් ප‍්‍රයිම් ටීවී හරහා සීඑස්එන් මුල් අවධිය හෙවත් තාරුණ්‍යයට හෙටක් රූපවාහිනී චැනලය විකාශය වන අවධියේ එම තාරුණ්‍යයට හෙටක් සංවිධානය නමට ගෙන්වන ලද කන්ටේනරයක් වරාය හා රේගු ගාස්තු ගෙවීමකින් තොරව හා කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව හමුදා සාමාජිකයන් පිරිසක් විසින් කොළඹ වරායෙන් රැුගෙන ගොස් ඇති බව රාවය වාර්තා කරන ලද්දේ 2010 ජනවාරි 17 වැනිදාය. ලැබුණු නියෝගයක් අනුව එම කන්ටේනරය වරායෙන් පිට කළ බවට වූ සටහනක් හැර එම කන්ටේනරයට අදාළ අනෙකුත් අත්‍යවශ්‍ය ලියකියවිලි ලබාදීමක් සිදුකර නැත. කන්ටේනරය කොළඹ වරායට පැමිණ ඇත්තේ 2009.11.09 දින KATHARINA – S/944/W දරන නෞකාවෙන් වන අතර එම කන්ටේනරයේ අංකය වූයේ 21MU1048435ය. එම නැව විසින් කන්ටේනරය භාරගෙන තිබුණේ මලයාසියාවේ KLANA වරායෙන්ය. මෙසේ හමුදාව යොදා කිසිදු පරීක්ෂාවකින් තොරව හා ගාස්තු ගෙවීමකින් තොරව රැුගෙන ගිය කන්ටේනරය තුළ නාමල් රාජපක්ෂ විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ රූපවාහිනී චැනලයට අදාළ භාණ්ඩ තිබූ බවට බරපතළ සැකයක් මතුවිය.
එම සැකය තවදුරටත් තීව‍්‍ර කරමින් තාරුණ්‍යයට හෙටක් සංවිධානය නමට එවන ලද තවත් කන්ටේනරයක් ශ‍්‍රී ලංකා රේගුවේ දැඩි පරීක්ෂා කිරීමකින් තොරව වරාය ගාස්තු පසුව ගෙවන පදනම මත මුදාගෙන ගොස් ඇති බව නැවත රාවය වාර්තා කළේ 2010 ජනවාරි 24 දිනදීය. මලයාසියාවේ Laolin Technology සමාගම විසින් කන්ටේනරය එවා ඇති බවත්, එසේ වුවද එම කන්ටේනරයේ ඇත්තේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බෙදාදීම සඳහා ගෙනා පාසල් බෑග්, සපත්තු, ලිපි ද්‍රව්‍ය හා නිල ඇඳුම් රෙදි බවටත්, ඒවා 2009 වසරේ දෙසැම්බර් 04 දිනට පෙර බෙදාදීම සඳහා අවශ්‍ය බැවින් වරාය ගාස්තු පසුව ගෙවීමේ පදනම යටතේ මුදාහරින ලෙසත් තාරුණ්‍යයට හෙටක් සංවිධානය එවක වරාය අධිකාරියේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දීමක් සිදුකර එම කන්ටේනරය මුදාගෙන ඇත. වරාය අධිකාරියේ එවක සභාපති ප‍්‍රියත් බන්දුවික‍්‍රමද තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු වූ අතර ශක්ති ටීවීහි ජේ. ශ‍්‍රී රංගාද එහි අධ්‍යක්ෂවරයෙක් විය. මෙම කන්ටේනරය සම්බන්ධයෙන්ද වූ ලියවිලි පරස්පර වී ඇති අතර කන්ටේනරය හොංකොංවලින් නැව්ගත කර තිබෙන බව රේගු ලියවිලිවල සඳහන් වුවද නැව්භාර පත‍්‍රයේ එය චීනයේ භසබටයදවලින් නැව්ගත කර තිබෙන බව සඳහන් විය. මෙම කන්ටේනරය තුළද තාරුණ්‍යයට හෙටක් රූපවාහිනී චැනලයට අදාළ බඩු ගෙන්වූ බවට සැක මතුවිය.
රාජපක්ෂවරුන්ගේ රූපවාහිනී චැනලයේ කටයුතු ඒ ආකාරයට සිදුවද්දී එවක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඒ වනවිටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් තේරී පත්වී සිටි නාමල් රාජපක්ෂට රූපවාහිනී චැනලයක් පවත්වාගෙන යෑම සඳහා පැවති නුසුදුසුකමත් සුදුසුකමක් බවට පත්කරනු ලැබීය. එය සිදුවූයේ 2010 සැප්තැම්බර් 03 දින දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින්ය. එයින් සිදුකර තිබුණේ ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත යටතේ පනවා තිබූ රූපවාහිනී විකාශන මධ්‍යස්ථාන නියෝගවලට අදාළ බලපත‍්‍ර කොන්දේසි සංශෝධනය කිරීමය. ඒ අනුව එතෙක් රූපවාහිනී විකාශන බලපත‍්‍රයක් දැරීමට නුසුදුසුකමක් සේ සැලකූ යම් පුද්ගලයකු පිළිගත් දේශපාලන පක්ෂයකින් මන්ත‍්‍රීවරයකු ලෙස පත්වුවහොත් එම බලපත‍්‍රය අහෝසි වන බවට වූ කොන්දේසිය ඉවත් කරනු ලැබීය.
එය තවදුරටත් ඉදිරියට ගෙනයමින් 2011 ජූනි 29 දින එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ කැබිනට් මණ්ඩලය විශේෂ තීන්දුවක් ගත්තේය. ඒ ශ‍්‍රී ලංකාවේ හෝ විදේශයන්හි හෝ පැවැත්වෙන ජාත්‍යන්තර කි‍්‍රකට් තරගවල රූපවාහිනී හෝ ගුවන්විදුලි විකාශන අයිතිය රාජ්‍ය මාධ්‍යවලට පමණක් ලබාදීමටය. මේ ප‍්‍රධාන තීරණයත් සමග එහිදී තවත් අතිරේක සුවිශේෂ තීන්දුවක්ද කැබිනට් මණ්ඩලය ගෙන තිබුණි. ඒ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග එළැඹෙන සාකච්ඡුා සම්මුති මත ක‍්‍රීඩාවන්ට පමණක් කැපවුණු පෞද්ගලික රූපවාහිනී නාලිකාවන්ද මෙම විකාශන අයිතිය ලබාදීම සඳහා සලකා බලන බවය. එම තීන්දුවෙන් මාසයක කාලයක් ඉකුත්වීමටත් පෙර සිදුවූයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රථමවරට සංවිධානය කළ විදෙස් ක‍්‍රීඩකයන්ද ඇතුළත් අන්තර් පළාත් විස්සයි විස්සයි ක‍්‍රිකට් තරග විකාශන අයිතිය කාල්ටන් ස්පෝර්ට්ස් ආයතනයට ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවත් පරදා හිමිවීමය.
එසේම පසුගිය සමයේ යෝෂිත රාජපක්ෂ ශ‍්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති වශයෙන් පත්වීමෙන් පසු එල්ලේ සම්මේලනයේ සියලූ කටයුතු සිදුවූයේ සීඑස්එන් නාලිකාව තුළ බව එල්ලේ ක්ෂේත‍්‍රයේ සියල්ලෝම දන්නා කරුණුය. එසමයේ ජාතික එල්ලේ ශූරතාව ඇතුළු එල්ලේ තරග මාලාවලට අනුග‍්‍රහය සීඑස්එන් නාලිකාව ලබා දුන්නේ යෝෂිත නිසාය. එසේම සීඑස්එන් නාලිකාවේ වෙබ් අඩවිය තුළ එල්ලේ ක‍්‍රීඩාව සඳහා වෙනම ඉඩක් වෙන් කෙරුවේද මේ එල්ලේ සබඳතාව නිසාය.
ඉහත සඳහන් කරන ලද කැබිනට් තීන්දු තීරණ, ක‍්‍රීඩා අමාත්‍යවරුන්ගේ නියෝග, කන්ටේනර් පරීක්ෂාවකින් තොරව නිදහස් කරගැනීම් නිකම් සිදුවිය නොහැකිය. ඒවා සිදුවන්නේ දේශපාලන බලපුළුවන්කාරකම් මතය. තමන්ට කිසිදු සම්බන්ධයක් නැත්නම් එවැනි තීන්දු තීරණ නියෝග දේශපාලන අධිකාරිය විසින් අරගන්නේ හෝ ක‍්‍රියාත්මක කරන්නේ හෝ නැත.
එසේම මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළදී ‘කාල්ටන්’ යන ඔවුන්ගේ සන්නම් නාමය යොදාගෙන කිසිවකු කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස් යනුවෙන් රූපවාහිනී විකාශන නාලිකාවක් ආරම්භ කරනු ඇතැ’යි සිතිය නොහැකිය. මන්ද තංගල්ලේ පිහිටි ‘කාල්ටන්’ නිවස ඔවුන්ගේය. කාල්ටන් පෙර පාසල් සමූහය ඔවුන්ගේය. කාල්ටන් රග්බි, පැසිපන්දු හා මෝටර් රථ තරගාවලි ඔවුන්ගේය. එහෙයින් ඉහතින් සඳහන් කරන ලද රාජ්‍ය අනුග‍්‍රහයන් හා තීන්දු තීරණද සහිතව තම පෙම්වතියන් හා හෙංචයියන් නාමිකව යොදාගෙන තමන්ගේ සන්නම් නාමයෙන් පවත්වාගෙන ගිය රූපවාහිනී නාලිකාවක් කෙසේවත් රාජපක්ෂවරුන්ගේ මිස අපේ විය නොහැකිය.
මෙම සිද්ධියේ යෝෂිත ගැන පමණක් ගත් කල සීඑස්එන් නාලිකාවට මුදල් යෙදවූ ආකාරය පමණක් නොව නීතිය අනුව තව තවත් චෝදනා ඔහුට ඉදිරියේදී එල්ල විය යුතුය. ඒ නාවික හමුදා නිලධාරියකු වශයෙන් ව්‍යාපාරයක නිරතවීමට හැකියාව නොතිබියදී ඔහු ව්‍යාපාරයක නිරතවීම, නාවික හමුදා නිලධාරියකු වශයෙන් වත්කම් බැරකම් නීතිය යටතේ වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමේදී මේ ව්‍යාපාරික සබඳතාවන් සැඟවීම, උපයාගත් ධනය සඳහා ආදායම් බදු හා වෙනත් බදු නොගෙවීම ආදියය. ඒ ආකාරවලටත් ඔහුට එරෙහිව හා තවත් රාජපක්ෂවරුන්ට එරෙහිව ඉදිරියේදී චෝදනා එල්ලවන විට සුපුරුදු පරිදිම රාජපක්ෂවාදීන් දේශපාලන පළිගැනීම් යන මන්තරය ජප කරනු ඇත. එහෙත් රාජ්‍ය මුදල් ගසාකෑම, රාජ්‍ය මුදල් අවභාවිතය, කොමිස් ගැහීම, අල්ලස් ගැනීම ආදී නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදවලට එරෙහිව දඬුවම් ලබාදීම දේශපාලන පළිගැනීම් නොවන බව අවධාරණයෙන්ම යළිත් සටහන් කළ යුතුය.
No comments:
Post a Comment