සුහද වෙනුවෙන් විජයදාස සටනක
 |
කේ. සංජීව |
පසුගිය පාලන යුගයේදී රාජපක්ෂවරුන් සමග ළැඳිව කටයුතු කරමින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ධුරය පවා හොබවන ලද, ස්වාධීන පුද්ගලයකු යැයි සැලකිය නොහැකි සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මීළඟ නීතිපතිවරයා ලෙස පත් කළ යුතු බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ආණ්ඩුවෙන් දැඩි ඉල්ලීමක් කරමින් සිටින බව වාර්තා වේ.
අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ මෙම ඉල්ලීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනෙකුත් කැබිනට් අමාත්‍යවරුන්ද බොහොම යක් විරුද්ධත්වය ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
එසේ වුවද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනද සුහද ගම්ලත් මහතා එම තනතුර සඳහා පත්කිරීමට කැමැත්තක් දක්වන බව දැනගන්නට ලැබේ. දහනව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව නීතිපතිවරයා පත්කිරීම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයා විසින් සිදු කළ යුතු අතර, ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට යවනු ලබන නම් තුනක් හෝ ඊට අඩු සංඛ්‍යාවකින් එක් පුද්ගලයකු එම සභාව විසින් පත්කිරීම සඳහා නිර්දේශ කර ජනාධිපතිවරයාට යැවිය යුතුය.
නව නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය, ජනධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අජිත් පතිරණ මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ නීතිපති තනතුරට පුද්ගලයකු පත් කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වයට මුල් තැන දිය යුතු සේම නීතිපති දෙපාර්තමේන්තුවේම අයෙකු පත් කළ යුතු බවට ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි.
ඒ අනුව සුහද ගම්ලත් මහතා එම තනතුරට පත්වීමේදී ඔහුගේ විශ්වසනීයත්වය පිළිබඳව ගැටලූවක් පැන නඟින බවට කරන ලද විමසීමේදී අජිත් පතිරණ මහතා පැවසුවේ ගම්ලත් මහතාගේ විශ්වසනීයත්වය පිළිබඳව ප‍්‍රශ්නයක් තිබෙන බවයි. ඊට හේතුව ලෙස ඔහු දැක්වූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සිට අමාත්‍යාංශ ලේකම් ධුරයක් දැරීම සඳහා ඔහු පසුගිය කාලයේ යෑමය. එසේම ඔහු පැවසුවේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා අදාළ පත්කිරීම කරන්නේ නම් එය සාධාරණය කළ හැකි තර්කයක් ඉදිරිපත් කළ යුතු බවයි.
සුහද ගම්ලත් මහතා නීතිපති තනතුරට පත් කළ හොත් එම දෙපාර්තමේන්තුවේ විශිෂ්ට නිලධාරීන් දෙදෙනෙකු වන ජයන්ත ජයසූරිය හා කපිල වෛද්‍යරත්න යන අය එම දෙපාර්තමේන්තුව හැර යෑමේ අනතුරක් පවතින බවද තවදුරටත් වාර්තා වේ.
මේ පිළිබඳව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් කරුණු විමසීම සඳහා ඔහු දුරකථනයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.
No comments:
Post a Comment