Sunday, February 21, 2016

'දන්නෝ බුදුන්ගේ' නොදන්නා බබ්බු

උපුල් ජෝශප් ප්‍රනාන්දු

"අපරාදෙනේ මේ ආණ්ඩුව නිදහස් උත්සවයට අර එංගලන්ත මහ රැජන ඉස්සරහ ඔපෙරා කීව කිශානිව ගෙනැල්ල 'දන්නෝ බුදුන්ගේ' කියෙව්වේ. අර කෝටි ගණනක් දීලා ජැක්සන් ඇන්තනිට කියලා ප්‍රසංගයක් කරවා ගත්තා නම් ඉවරයිනේ..."
මේ බි්‍රතාන්‍යයේ මහ රැජන ඉදිරියේ තනිව ඔපෙරා ගී ගයන්න වාසනාව ලද විශ්ව කීර්තියට පත් පළමුවැනි දකුණු ආසියානු ගායන ශිල්පිනිය නිදහස් උළෙලේදී 'දන්නෝ බුදුන්ගේ' ගීතය ගැයුවා කියල දේශප්‍රේමීන් ඇයට ගහන්න කාඩ් බෝඩ් සිංහයන් ගඩොල් භාග හොයද්දී ජේ‍යෂ්ඨ කලාකරුවකු කී කතාවය.


ඔහු කී කතාව ඇත්තය. නිදහස් දිනයේදී මහාචාර්ය කිශානිට දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලියෙන් ගයන්න මෛත්‍රි - රනිල් ආණ්ඩුවේ නිදහස් දින සංවිධායකයන් දුන්නේ මොන අමාරුවකට දැයි කියන්න දන්නේ නැත. ඇයි මේ ආණ්ඩුවට ජැක්සන් ඇන්තනිගේ කොම්පැනියකට දීලා හොඳ නිදහස් උත්සවයක් කර ගන්න බැරි වුණේ කියලා කියන්න දන්නේ නැත. මහින්ද හම්බන්තොට වරාය විවෘත කරන්න තිබ්බ උත්සවයට ජැක්සන්ලාට නැටුම් නටන්න සින්දු කියන්න ජැක්සන්ගේ කොම්පැනියකට මිලියන 15ක් දුන් බව වාර්තා විය. හම්බන්තොට කරදියවර මංගල්ලයට මිලියන 18ක් දුන් බව වාර්තා විය. මේවා මහජන මුදල් වුණත් වැය වෙන්නේ දේශීය කලාකරුවකු වෙනුවෙන්ය.

ඔහුට දුන්නාට අනෙක් කලාකරුවන් හූල්ලනවාට කරන්න දෙයක් නැත. ඔවුන්ද පිනක් පාදා ගත යුතුය. ජැක්සන් නම් පින පාදා ගත්තේ මහින්ද බුදු හාමුදුරුවන්ගේ නෑදෑයෙක් කියාය. මෛත්‍රි - රනිල් ජැක්සන්ගේ කොම්පැනියකට කෝටි ගණනකට නිදහස් උළෙල සංස්කෘතික ප්‍රසංගය දුන්නා නම් ජැක්සන් මෛත්‍රිට සහ රනිල්ටද බුදු හාමුදුරුවන්ගේ නෑදෑකමක් හදලා දෙන එක සහතිකය. ජැක්සන් රූපවාහිනියේදී මහින්ද බුදු හාමුදුරුවන්ගේ නෑදෑයකු යැයි කියද්දී ඔය කියන දේශප්‍රේමීන් එය බුදුන්ට කළ අපහාසයක් යැයි කියා මර ළතෝනි තිබ්බේ නැත. ඔවුහු ජැක්සන් මහින්ද බුදු හාමුදුරුවන්ගේ නෑදෑයකු යැයි කියන විට 'සාධු සාධු' කීහ. ලෙහෙසියෙන්ම රුපියල් කෝටි ගණන් දී බුදු හාමුදුරුවන්ට නෑදෑකමක් හදා ගන්න අවස්ථාව තියෙද්දී මහාචාර්ය කිශානි ජයසිංහව ගෙනැල්ල දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලියෙන් ගායනා කරවලා බුදු හාමුදුරුවන්ට නින්දා කළාය කියල අහගන්නේ ඇයි දැයි යහපාලනයට ඡන්දය දුන් ටොයියන්ටත් තේරෙන්නේ නැති ගානය.


අනෙක දන්නෝ බුදුන්ගේ සින්දුව මොනවාට නිදහස් උළෙලේ ගායනා කෙරෙව්වාද කියල ගඩොල් භාගේ දේශප්‍රේමීන් දන්නේ නැත. හේතුව 1948 නිදහස් උත්සවයේදී ඩී.ඇස්. - බණ්ඩාරනායක ආණ්ඩුව දින කිහිපයක් සංස්කෘතික ප්‍රසංග පැවැත්වූ බවත්, එක් දිනක හියුබට් රාජපක්ෂ නම් වූ ඉතාලියේ පුහුණුව ලද ලාංකික ඔපෙරා ශිල්පියා ලව්වා දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කරවූ බවත්, මේ දේශප්‍රේමීන් දන්නේ නැත. තිස්ස ද්වේන්ද්‍ර නම් වූ ජේ‍යෂ්ඨ සිවිල් සේවා නිලධාරියා පුවත්පතකට එය ලියා තිබුණේ පසුගිය අඟහරුවාදාය. දන්නෝ බුදුන්ගේ ගීතය බුදු ගුණ ගීතයක් නොව අනුරාධපුර නගරයේ වරුණ කියන ගීතයක් කියලාවත් මේ දේශප්‍රේමීන් දන්නේ නැත. මේ ගීතයෙන් වර්ණනා කරන්නේ අනුරාධපුර නගරයය. මේ ගීතය අඩංගු වන්නේ ජෝන් ද සිල්වා සූරීන්ගේ 'සිරිසඟබෝ' නාට්‍යයේය. සිරිසඟබෝ නාට්‍ය මහ වංසයෙන් සිරිසඟබෝ රජ්ජුරුවන්ගේ කතාවට අනුව සකස් වුණු නාට්‍යයකි. එම නාට්‍යයේ සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය යන තුන් යහළුවන් අනුරාධපුරය බලා එද්දී පිටුපසින් මේ ගීතය ඇසෙයි. මොවුන් ලම්බකර්ණ වංශිකයන්ය.

මහියංගණයේ සිට පැමිණි ඔවුන් අනුරාධපුර රාජධානියට බැල්ම හෙළන්නේ හරියට රාජපක්ෂ පවුල වූ මහින්ද, බැසිල්, ගෝඨාභය ශ්‍රී ල.නි.ප.යට බැල්ම හෙළන ගානටය. සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය තිසා වැව අසලින් යද්දී අන්ධ බ්‍රාහ්මණයෙක් ඔවුන්ගේ පා ශබ්දය විමසා මේ තිදෙනාම ලංකාවේ රජ වෙනවා යැයි කී බව මහාවංස කතාවේ සඳහන් වේ. ඔවුන් තිදෙනාගෙන් පසුපසින්ම ගොස් ඇත්තේ ගෝඨාභයය. ඔහු මඳක් නැවැතී අන්ධ බ්‍රාහ්මණයාගෙන් අසා ඇත්තේ ඔවුන් තිදෙනාගෙන් වැඩිම කලක් රාජ්‍ය පාලනය කරන්නේ කවුද කියාය. එවිට බ්‍රාහ්මණයා පවසා ඇත්තේ අන්තිමට යන කෙනාගේ රාජ වංසය වැඩි කල් පවතින බවය. තුන්දෙනාම අනුරාධපුරයට ගොස් එකල අනුරාධපුර රජ කළ විජයිදු රජුට පක්ෂව ඔහුට සේවය කළහ. වැඩි දවසක් යන්න පෙර තිදෙනා එක්වී විජයිදු රජු මරා තිදෙනාගෙන් වැඩිමහල් වන සංඝතිස්සව රජකමට පත් කර ගත්හ.

සංඝතිස්සටද වැඩිකල් රජකම් කරන්නට ලැබුණේ නැත. ඔහු අඹ කන්න ගොස් නැඟෙනහිර ජනතාවට කරදරයක් වී මැරුම් කෑවේ විස අඹ කෑමෙනි. ඉන් පසු රජ වන්නේ සිරිසඟබෝය. සිරිසඟබෝ ගෝඨාභයව භාණ්ඩාගාරය භාර ඇමැති කළේය. සිරිසඟබෝ දිනෙන් දිනම ජනප්‍රිය විය. ජනතාව ඔහුට කැමැති වූහ. මේ විදියට ගියොත් සිරිසඟබෝ මැරෙන තුරුම රට පාලනය කරයි යන බියෙන් ගෝඨාභය සිරිසඟබෝගෙන් රාජ්‍ය ගන්න සැලැසුම් කළේය. ගෝඨාභය සේනා සංවිධානය කොට එන විට බය වී සිරිසඟබෝ වනයට පැන ගියේය. සිරිසඟබෝගේ බෙල්ල ගේන ලෙස ගෝඨාභය නියෝග දුන්නේ මින් පසුවය.
දැන් ශ්‍රී ල.නි.ප.ය කඩාගෙන එහි නායකත්වයට පත්වීමට මහින්ද, බැසිල්, ගෝඨාභය අතරද ඇත්තේ එවැනිම පොරයකි. හිස දන් දෙන්න වෙන්නේ කාටද කියලා නම් තවම කියන්න බැරිය.


දේශප්‍රේමීන් මේවා දන්නේ නැත. හියුබට් රාජපක්ෂ කියා ඔපෙරා ශිල්පියකු හිටියාද කියලා දන්නේවත් නැත. ඔහු ඔපෙරා ශෛලියෙන් දන්නෝ බුදුන්ගේ පමණක් නොව තවත් ජන ගීත ගායනා කළ බව ප්‍රවීණ සිනමාවේදී තිස්ස අබේසේකර 2003 මැයි 25 'දි අයිලන්ඩ්' පුවත්පතට ලියා ඇත. ඔහු ලන්ඩනයේ විග්මෝර් ශාලාවේදී ඔපෙරා ශෛලියෙන් සිංහල ජන ගීත ගැයූ බවත්, එම ශාලාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ද සිටි බවත් එහි ලියා ඇත. හියුබට් රාජපක්ෂ ගයපු දන්නෝ බුදුන්ගේ ගීතය තැටියකට නැඟුවේ එකල කාර්ගිල්ස් සමාගමය.


සිංහල බෞද්ධයන්ගේ මුර දේවතාවන් ලෙස පෙනී සිටින තමන් දේශප්‍රේමීන් යැයි ලේබල් ගහගෙන ඉන්නාවුන් මේ ඉතිහාසය දන්නේ නැත. නොදැන කරන්නේ දේශප්‍රේමී ලේබලය ගහපු ගඩොල් භාගවලින් ආණ්ඩුවට ගසා ආණ්ඩුව වට්ටවන්න පුළුවන් දැයි බැලීමය.


මෙය අමු බොරු දේශප්‍රේමයකි. බෞද්ධාගමේ මුදුන් මල්කඩ බඳු වූ දළදා වහන්සේ වැඩ සිටින මහනුවර දළදා වීදියට යන මහ පාරේ මහින්දගේ ආණ්ඩුව රාත්‍රි කාර් රේස් පදිනකොට මේ දේශප්‍රේමීහු 'සාධු සාධු' කීහ. එලෙස කාර් රේස් පැද්දේ මහනායක හාමුදුරුවන්ගේ විරෝධය නොතකාය. මහින්දගේ ආණ්ඩුව සුද්දියන් ගෙනැවිත් නිරුවත් කොට ගල්කිස්ස වෙරළේ බීච් පාටි දමන කොට මේ දේශප්‍රේමීහු ගඩොල් භාග ගැහුවේ නැත. මල් පූජා කළහ.


මේ දේශප්‍රේමය බලය ගැනීමේ පමණක් නොව බඩ වඩා ගැනීමේද ව්‍යාපාරයකි. සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය අනුරාධපුරයට ලොබ බැඳ ගත්තා සේ මහින්ද, බැසිල් සහ ගෝඨාභය බලයට ලොබ බැඳගෙන සිටී. සංඝතිස්සලා සංඝබෝධිලා, ගෝඨාභයලා රාජ්‍ය බලය ගත්තා සේ දැන් රාජ්‍ය බලය ගන්න ලෙහෙසි නැත. අඹ ගෙඩිය වැටෙන තෙක් අඹ ගහට ගල් ගහන කොල්ලන් කුරුට්ටන් සේ දේශප්‍රේමීන් මෛත්‍රි - රනිල් ආණ්ඩුවට ගඩොල් භාගවලින් දමා ගසන්නේ රාජපක්ෂ පවුලේ දෙවැනි රාජාභිෂේකයටය.

No comments:

Post a Comment