Saturday, February 27, 2016

බැසිල් නාමල් මෛත‍්‍රී පිලට

සුභාෂ් ජයවර්ධන

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම වැළැක්වීම සඳහා නාමල් රාජපක්ෂ මහතාට හා බැසිල් රාජපක්ෂ මහතාට ශ‍්‍රීලනිපයේ ප‍්‍රබල තනතුරු දෙකක් ලබා දීම සඳහා මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ශ‍්‍රීලනිපයේ ආරංචි මාර්ග පවසයි.

රාජපක්ෂ යුගයේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි චරිත හේරත් මහතාගේ අභාවප‍්‍රාප්ත පියාට අවසන් ගෞරව දැක්වීම සඳහා එම නිවසට පැමිණ සිටි ශ‍්‍රීලනිපයේ දෙපාර්ශ්වයේ නායකයන් අතර වූ සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් මූලික අදහසකට පැමිණ ඇත.

මෙම අවමංගල්‍යය සඳහා ජනාධිපතිවරයා ඇතුළු ශ‍්‍රීලනිපයේ ප‍්‍රබලයන් ගණනාවක් සහභාගි වූහ. එම දින කිහිපයේ දී මෙම දෙපාර්ශ්වයේ නියෝජිතයෝ ශ‍්‍රීලනිපයේ ගැටලූව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් එම නිවසේ දී සාකච්ඡා ගණනාවක නිරත වූහ.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට ශ‍්‍රීලනිපයේ නියෝජ්‍ය ලේකම් තනතුර ලබා දිය යුතුව ඇත. දුමින්ද දිසානායක මහතා ප‍්‍රධාන ලේකම්වරයාව සිටීම සම්බන්ධයෙන් මහින්දවාදීන්ගේ විරෝධය පළ කර නොමැත. එමෙන්ම මෙම යෝජනාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ හා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ කැමැත්ත ද පළව තිබේ. එහෙත් පසුගිය මහ මැතිවරණයේ දී මෙම දෙපාර්ශ්වය අතර එකඟතාවයක් ඇති කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාව අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට මෛත‍්‍රී පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබුණ ද ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ වී තිබිණි.

පසුගිය දින කිහිපය තුළ දී ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවක් ලෙස මෛත‍්‍රී පාර්ශ්වයට ඉදිරිපත් කර තිබුණේ ශ‍්‍රීලනිපයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් තනතුර ඔවුන්ට හිමි විය යුතු බවය. එමඟින් දෙපාර්ශ්වය අතර විශ්වාසය ගොඩනංවා ගත හැකි බව ඔවුන් පෙන්වා දී ඇත. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය පැරදවීමට නම් දෙපාර්ශ්වයටම කැපකිරීම් කිරීමට සිදු වන බව ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රධානීන්ගේ මතය වී තිබේ. ඔවුන්ගේ අවශ්‍යතාව වන්නේ ශ‍්‍රීලනිපය දෙකඩ වීම වළක්වා එජාපය පැරදවීමය.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට ලබා දෙන තනතුර සම්බන්ධයෙන් තවම නිශ්චිත එකඟතාවක් නොමැති බවත් වාර්තා වේ. බැසිල් රාජපක්ෂ මහතා ශ‍්‍රීලනිපයේ හිටපු ජාතික සංවිධායකවරයා වේ. කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා තමන් අපේක්ෂා කරන තනතුර සම්බන්ධයෙන් ද තවම අදහසක් ප‍්‍රකාශ කර නොමැති බවත් දැන ගැනීමට තිබේ.

මෙම තනතුරු ලබා දීම සඳහා යෝජනා වී තිබෙන නාමල් රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව බරපතළ මූල්‍ය අපරාධ චෝදනා එල්ල වී තිබෙන අතර මේ එකඟතාව හරහා ඒවා යටපත් කර ගැනීමේ අවදානමක් ද මතු විය හැකිය. ඇතැම් විට මේ නම් දෙක යෝජනා වන්නේ ද එම පරීක්ෂණ කටයුතු යටපත් කර ගැනීම් වෙනුවෙන් විය හැකිය.

ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම සම්බන්ධයෙන් වන මහින්ද රාජපක්ෂ පවුලෙන් එල්ල වන තර්ජනාංගුළියෙහි පදනම වන්නේ තම පවුලේ සාමාජිකයන් කිහිප දෙනා පමණක් බේරා ගැනීම බව පසුගිය කාලයෙහි දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දෙනු ලැබීය. මන්ද මහින්ද රාජපක්ෂ මහතා, දේශපාලන වශයෙන් කලබල වී වෙනම පක්ෂයක් තැනීම සඳහා ක‍්‍රියාකාරීව කටයුතු කිරීම ආරම්භ කරනු ලැබුවේ යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟය. ඔහු වෙනුවෙන් සේවය කළ බොහෝ දෙනකු අත්අඩංගුවේ පසු වූවද රාජපක්ෂ මහතා ඒ ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

No comments:

Post a Comment