Sunday, February 28, 2016

වෙල්ගම බය ඇයි? III, කොමිස් මුදල රු.මිලියන 255ක්

ලසන්ත රුහුණගේ

ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීම සඳහා පසුගිය ආණ්ඩුව සමයේ ඇති කරගත් වැඩපිළිවෙළ තුළ සිදුවූ අක‍්‍රමිකතා පිළිබඳ වූ සිදුකෙරුණාවූ රේගු පරීක්ෂණය නවතා දැමීම සඳහා රුපියල් මිලියන 125ක අල්ලස් මුදලක් ලබාගත්තේයැ’යි කියන සිදුවීම දිනෙන් දින අලූත්වෙමින් අලූත් මාතෘකා සපයමින් තිබේ.

ඊට අදාළ අලූත්ම සිද්ධිය වාර්තාවන්නේ පෙබරවාරි 24 වැනිදාය. ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම එදින ප‍්‍රකාශ කළේ අදාළ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රේගු අධිකාරිවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවයි. එම අල්ලස් සිද්ධියට සම්බන්ධ පළමු සැකකරුවන් පසුගිය වසරේ ඔක්තෝබර් 15 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අවස්ථා කිහිපයකදීම මහේස්ත‍්‍රාත් අධිකරණයට පොරොන්දු වූයේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කටයුතු ඉහළ රේගු අධිකාරිවරුන් දෙදෙනා හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවය. එහෙත් එය දැන් සිදුවී ඇත්තේ ඉතා ඉක්මනින් නොව පළමු සිදුවීමෙන් මාස හතරක් ගෙවීයෑමෙන් පසුය. මේ පමාව පිළිබඳව 2016 ජනවාරි 17 දින රාවය ‘අල්ලස් කොමිසම අල්ලස් ගත්තාද?’ යනුවෙන් අවධානය යොමු කළේ පමාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ එම විමර්ශනයට අදාළ නිලධාරියෙකුගේ යම් ගැතිබවක් ඇති බවට කරුණු අනාවරණය වීමත් සමගය.

එම ගැතිභාවයන්ට අදාළ තවත් සිදුවීමක් පසුගිය පෙබරවාරි 16 දින ප‍්‍රකාශ වී ඇති බව රාවය පසුගිය සතියේදී අනාවරණය කරනු ලැබූ අතර? එහිදී අප පෙන්වා දුන්නේ එම අල්ලස් සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් අධිකරණ නඩුවේදී සැකකරුවන්ගේ නීතිඥයන් විසින් අධිකරණයට කරනු ලැබූ සැලකිරීමක්ය. එහිදී එම නීතිඥයන් කියා තිබුණේ ශ‍්‍රීලංගම සඳහා අමතර කොටස් ගෙන්වීමේ ගනුදෙනුවට අදාළ රේගු පරීක්ෂණයේ අල්ලස් කොමිසම භාරයට ගෙන ඇති මුල් ලියවිලි සහිත ලිපිගොනුවේ ඉතා වැදගත් මුල් ලියවිලි කිහිපයක් එම ලිපිගොනුවෙන් ඉවත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින් එම ලිපිගොනුව ආරක්ෂා කරන ලෙසයි.

ඒ ආකාරයට අතුරුදන් වූ හෝ අතුරුදන්වීමට නියමිත මුල් ලියවිලි වන්නේ මෙම අමතර කොටස් ගනුදෙනුවට අදාළ කොමිස් මුදල් බෙදීයෑමේ ලියවිලි බව පසුගිය රාවය කලාප දෙකකින්ම ‘වෙල්ගම බය ඇයි?’ යනුවෙන් අප පෙන්වා දුන් අතර මෙම අමතර කොටස් ගනුදෙනුව ගැන පරීක්ෂණයේදී යමෙකු අල්ලසක් පැතීම හෝ එවැනි අල්ලසක් ලබාදී එම පරීක්ෂණ අතරමග නතර කිරීමට සැරසීම අරුමයක් නොවන්නේ මෙම අමතර කොටස් ගනුදෙනුවේ මූල්‍යමය වටිනාකම පමණක් නොව කොමිස් ගනුදෙනුවද ඉතා ඉහළ අගයක් ගැනීම නිසා බව බැහැර කළ නොහැකිය. රුපියල් මිලියන 1500ක් අල්ලස් ලෙස ඉල්ලූවායැ’යි කියන්නේ හා අවසානයේ රුපියල් මිලියන 125ක් අල්ලස් ලෙස දෙන්නට එකඟවන්නේ මේ විශාල මූල්‍යමය වටිනාකම් නිසාය.

ශ‍්‍රී ලංගම සඳහා අමතර කොටස් ගෙන්වීමේ ගනුදෙනුව සිදුකිරීම සඳහා ඇති කරන ලද දේශීය සමාගම වන ස්ටීල් ඉම්පෙක්ස් ඇන්ඞ් ඉන්ඩස්ටී‍්‍රස් ලංකා සමාගමේ ගණකාධිකාරිවරයාගේ ලැප්ටොප් පරිගණකයෙන් ලබාගෙන ඇති ගිණුම් සටහන් අනුව එම සමාගම 2011.06.09 දින සිට 2014.02.26 දින දක්වා පමණක් ඇමරිකානු ඩොලර් 8,552,851.26ක හෙවත් දළ වශයෙන් රුපියල් මිලියන 1200ක පමණ අමතර කොටස් ලංකාවට ගෙන්වා තිබේ. ඊට අමතර 2011.07.05 දින සිට 2012.02.09 දින දක්වා පමණක් ඇමරිකානු ඩොලර් 1348354.90ක හෙවත් දළ වශයෙන් රුපියල් මිලියන 190ක පමණ ටයර් ගෙන්වා තිබේ. එම ගෙන්වීම්වලදී පමණක් 27%-30% හා 8.5% වශයෙන් විවිධ ආනයනයන්වලදී ලැබී ඇති කොමිස් මුදල ඇමරිකානු ඩොලර් 1636347.14ක් හෙවත් දළ වශයෙන් රුපියල් මිලියන 230ක් පමණ වන්නේය. ඒ සඳහා අමතර වශයෙන් අමතර කොටස් වෙළෙඳාමේ 2% හා 3% වශයෙන් දක්වා ඇති හා ටයර් වෙළෙඳාමේ 3% වශයෙන් එම කාලයන්ට අදාළව දක්වා ඇති තවත් ඇමරිකානු ඩොලර් 177577.63ක් හෙවත් දළ වශයෙන් රුපියල් මිලියන 25ක පමණ මුදලක් එකතුවිය යුතුය. ඒ අනුව දළ වශයෙන් රුපියල් මිලියන 255ක පමණ මුදලක් අදාළ කාලයේදී කොමිස් වශයෙන් ලංගම අමතර කොටස් ගනුදෙනුවේදී බෙදී ගොස් ඇත. එහි තේරුම වන්නේ ටයර් ආනයනයේදී 11.5%ක් වැනි අගයකිනුත් අමතර කොටස් ආනයනයේදී 27%ත් 33%ත් අතර අගයකිනුත් වශයෙන් මුළු ආනයනවලදී දළ වශයෙන් 20%කට වැඩි කොමිස් මුදල් ප‍්‍රමාණයක් බෙදී ගොස් ඇති බවය.

එම දත්තද ශ‍්‍රී ලංගම සඳහා අමතර කොටස් හා ටයර් ආනයනයේදී ඉහත දැක්වූ කාලසීමාවට අදාළව පමණි. ඉන්පසු එම ගිවිසුම ක‍්‍රියාත්මක වූ කාලයේ (අනිවාර්යයෙන්ම 2015 ජනවාරි 8 වෙනස වන තෙක් හෝ ක‍්‍රියාත්මක වී තිබිය යුතුය.) සංඛ්‍යා දත්තද ඇතුළත් කළහොත් ඇමරිකානු ඩොලර් හෝ රුපියල් කොමිස් මුදල් තව ඉහළ යනු ඇත. ඊටත් අමතරව එම සංඛ්‍යා දත්ත තවදුරටත් ඉහළයන්නේ ශ‍්‍රී ලංගමට සැපයීම සඳහා දේශීය වශයෙන් මිලදී ගෙන ඇති අමතර කොටස්හි අගයද එකතු වූ විටය. ඒ අනුව 2011/2012 වර්ෂයේදී රුපියල් මිලියන 10 (රු. 10,600,295.18)ක්, 2012/2013 වර්ෂයේදී රුපියල් මිලියන 78 (රු. 78288588.26)ක් හා 2013/2014 වර්ෂයේදී රුපියල් මිලියන 95 (95.058,941.10) ක් දේශීය වශයෙන් අමතර කොටස් මිලදී ගැනීමට වැයකර ඇති බැවින්ය.

මේ සියල්ලම ගැන අවධානය යොමුකිරීමේදී පෙනෙන්නේ අඩු මිලට ඍජුවම නියම අමතර කොටස් ශ‍්‍රී ලංගම වෙත ලබාගැනීමේ ක‍්‍රියාවලිය බොරුවෙන් හා කොමිස්වලින් හරි අපූරුවට නිමැවී ඇති බවය. එම බොරුව හා කොමිස් මතුකර පාදා ගැනීම අල්ලසට, දූෂණයට හා මූල්‍ය වංචාවන්ට එරෙහි විමර්ශන කණ්ඩායම්වල වගකීම බව සටහන් කරමු.


No comments:

Post a Comment