Wednesday, February 17, 2016

'පන්සලේ දමා ගිය අලි පැටියා හදාවඩා ගත්තා' (Includes video)

From Lankadeepa Online - අකිල බද්දෙවිතාන , බිමල් ශ්‍යාමන් ජයසිංහ

බල්ලන් බළලුන්  අපේ  පන්සලට  ගෙනවුත්  දානවා.පෙරහරකට  ගෙන ආ  අලියන් සමඟ සිටි අලි  පැටවකු  පන්සලේ  දමා  ගිහින්  තිබුණා. වසරක්  පමණ ඒ  පැටියා  මම ආදරයෙන් කවාපොවා  හදාගත්තා. දැන් මගෙන්  එම අලියාගේ  බලපත්‍ර ඉල්ලනවා. මං මේ බව ඒ කාලේම වනජිවි ඇමැතිටත්  කිව්වා. මේ අලි පැටියා  නිසා  මා අත්අඩංගුවට  ගන්න යනවා. එයට මම සුදානම් . මම නිතියට  ගරු කරනවා’. පොල්හේන්ගොඩ  ඇලන්  මැතිණියාරාමයේ  වැඩ  වාසය කරන හිටපු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමි මාධ්‍ය හමුවක් කැඳවමින් කීහ.



බන්ධනාගාර ගත විමට  තමා  සුදානම් බවත් බන්ධනාගාර රෝහලට  නොයන බවත්  වාට්ටුවේ  සිරකරුවන්ට  දෙන දානය  වළදන බවත් පැවසූ ධම්මාලෝක හිමියෝ  නඩුවට  වියදම්  කිරිමට  අඩු ගණනේ රුපියල් දහය බැගින් හෝ පුජා කරන ලෙස දායකයන්ගෙන් ඉල්ලා  සිටියහ.

තමන් වහන්සේ සියලු සත්ත්වයන්ට ආදරය කරුණාව දක්වන බවත් බොහෝ අය තම පන්සලේ අලි තැබීමට ප්‍රියතාවයක් දක්වන බවත් උන්වහන්සේ කීහ. ආදරයෙන් කරුණාවෙන් සතකුට සැලකීම බලවත් වරදක් බව යම් පුද්ගලයකු හෝ සංවිධානයක් පවසන්නේ නම් ඒ මගින් තමන් වහන්සේ සිරගත කිරීමට උත්සාහ දරන්නේ නම් ඔවුන්ගේ එම බලාපොරොත්තුව ඉටු කරගැනීමට නිහතමානීව, උපේක්ෂාවෙන් හා මෛත්‍රියෙන් ඉදිරිපත් වන බවද ධම්මාලෝක හිමියෝ පැවසූහ.

ප්‍රශ්නය - අත්අඩංගුවට ගැනීමට යන බව අසා දේශපාලනඥයකු හෝ වෙනත් බලවත් කෙනෙක් මේ ගැන ඔබ වහන්සේගෙන් විමසුවාද?

පිළිතුරු - ඔව්. ජනපති ජනවාරි මාසයේදී මට කථා කළා. මේ සිදුවීම දැනගෙන සිටියේ නෑ කිව්වා. මේක වහාම සමථයකට පත් කරන්න මැදිහත්වනවා කිව්වා. ඔබවහන්සේ වැනි පිළිගත් නමක් තිබෙන භික්ෂූන් වහන්සේ නමකට කරදරයක් වෙන්න දෙන්නේ නෑ කිව්වා.

ප්‍රශ්නය - ඔබ වහන්සේට එරෙහිව මේ ක්‍රියාත්මක වන්නේ කුමන්ත්‍රණයක්ද ? දේශපාලන පළිගැනීමක් ද ?
පිළිතුරු - මම කාටවත් චෝදනා කරන්නේ නෑ. ලංකාවේ අලි වඳකරන කුමන්ත්‍රණය යටත් විජිත යුගයේ සිටම එන එකක්. මම ජනතාව එක්ක ඉන්න හාමුදුරුනමක්. එකට යම් බලවේග හරි තරහින් ඉන්නවා. අලි පෙරහරවල්වලින් අයින් කරන්න උත්සාහ කරන කණ්ඩායමක් ඉන්නවා. දැන් ක්‍රමය අල්ලලා රිමාන්ඩ් කරලා නඩු අහන එක. ඒ නිසා මේ සියලු දේ මම උපේක්ෂාවෙන් දරාගන්නවා.

ප්‍රශ්නය - ඔබ වහන්සේ හෝ ඔබේ පන්සලේ වෙනත් කෙනෙක් මේ වනජීවී බාරයට ගත් අලිපැටියාට ව්‍යාජ බලපත්‍රයක් පෙන්නුවාද ?

පිළිතුරු - නෑ. කිසිම බලපත්‍රයක් පෙන්නුවේ නෑ. අලි 20ක් 30ක් ආපු පිංකමකදී මේ අලි පැටවා දමා ගොස් තිබුණා. මම ඌට කන්න බොන්න දීලා ආදරෙන් බලාගත්තා. ඒ කාලේ වනජීවි ඇමතිටත් මේ ගැන කිවාම අපි මොකක් හරි විසඳුමක් දෙන්නම්. ඔබවහන්සේ ළඟ අලියා තියාගන්නකිව්වා.

ප්‍රශ්නය - ඔබ වහන්සේ අත්අඩංගුවට පත්වීමට සූදානමින් බලාගෙන ඉන්නේ ඇයි ?

පිළිතුරු - මම මේ දේ උපේක්ෂාවෙන් පිළිගන්නවා. පසුගියදා පුවත්පතක සඳහන් වුණා මා අත්අඩංගුවට ගන්න නීතිපති උපෙදස් දීලා කියලා. ඒක ඇත්ත වෙන්න ඇති කියලා මම හිතුවා. ඉතින් එන දේකට මුහුණ දෙන්න මම ලෑස්තියි. මුගලන් හාමුදුරුවන්ට වුණ දේ මට මේ වෙන්නේ කියලා හිත හදාගන්නවා. කැළණිතිස්ස මහරහතන්වහන්සේට වුණ දේ වෙන්නේ කියලා මම හිත හදාගන්නවා. මගේ තරහක් වෛරයක් නෑ. මම මෑතදී කිලෝ 12ක රන් කරඬුවක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කළා. ඒ ආශිර්වාදය මට තියෙනවා.

ප්‍රශ්නය - ඔබ වහන්සේගේ නමත් සමග තවත් ලංකාවේ ජනප්‍රිය ස්වාමින්වහන්සේලාගේ නම් කියවෙනවා මේ අලි ගැටළුව සම්බන්ධයෙන්. ඔබ වහන්සේ ඒ ස්වාමින්වහන්සේලා ව්‍යාජ අලි ළඟ තබාගෙන සිටින බවට විශ්වාස කරනවාද?

පිළීතුරු - මම ඒ සම්බන්ධයෙන් කිසි දෙයක් කියන්නේ නෑ. මොකද මේක අධිකරණ ක්‍රියාවලියක්. ඒක නිසා ඒ ගැන කථා කරන එක සුදුසු නෑ.



No comments:

Post a Comment