Friday, February 26, 2016

ලංකාවේ බුද්ධ ධර්මය: ඥානසාරගෙන් ධම්මාලෝකට

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa

''ශුද්ධත්වය හෝ අශුද්ධත්වය රඳා පවතින්නේ තමන් මතය. යම් අයෙකුට වෙනත් අයෙකු ශුද්ධත්වයට පත්කළ නොහැකිය'' 

ගෞතම බුදුන්


ශ්‍රී ලංකාවේ බුද්ධ සාසනය පිරිහීම සඳහා මුලික වශයෙන් බලපාන ලද බරපතලම කාරණය වූ කලී, කිසිඳු හිමිනමක් තම මූල්‍ය වත්කම්වලට අදාළ වගකීමකට බැඳී නොසිටීමය. භික්ෂූන් සතු මූල්‍ය වත්කම් මල්වත්ත

හෝ අස්ගිරි යන මූලික පාර්ශ්වයන් ද්විත්වය හෝ වෙනත් ස්වාධීන මණඩලයක් විසින් කළමනාකරණය නොකිරීම මගින් කල්ලි වශයෙන් බෙදුණු භික්ෂු සමාජයක් නිර්මාණය වී තිබේ. මෙමගින් පොහොසත් භික්ෂුව මෙන්ම පාවාහන් යුගලක් හෝ පැළඳීමට වත්කමක් නොමැති දුගී භික්ෂූන් සිටිති. ඇතැමුන් විකාර පරිභෝජනය මෙන්ම කාම සුඛල්ලිකානුයෝගය රිසිසේ භුක්ති විඳීම සඳහා “භික්ෂු ජීවිතය” තෝරාගෙන ඇත්තෝය. එය තමන් සිහිනෙන්වත් නොදුටු භෞතික සම්පත් සහ මානසික ප්‍රමොදයන් අත්කර ගැනීමේ “භාග්‍යය” උදා කරගැනීමේ මගක් සේ සිතා කටයුතු කරති. අනෙකාව අපයෝජනයට මෙන්ම අපහරණයට ලක් කරති.

කදිම හාස්‍යය ජනක කාරණයකි; ගෞතම බුදුන් ප්‍රතික්ෂේප කළ සහ බැහැරකළ යුතු යැයි වදාළ බොහෝදෑ වර්තමාන භික්ෂුව විසින් මූලික අවශ්‍යතාවයන් ලෙස ගනිමින් තම “භික්ෂු ජීවිතය” ගෙවා දමමින් සිටිති. ඇතැමෙකු මල්මත ගමන් කරති, තවකෙකු රන් ආලේපිත ආසනමත වාඩී වී “නිවනට” යන මග ගැන කියති. තවකෙකු හැකි පමණ මුදල් ගෙවා තම ස්වරූපය හැඩගන්වා ගනිති. රූපලාවන්‍ය ශිල්පීන් යොදා භාවිතා කරන ආලේපන මඟින් විචිත්‍රවත් වී, අනෙකා ඉදිරියේ ගමන් කරනු ලබන්නේ, තම පින් බලයෙන් අදාළ රූප සම්පත්තිය ලැබූ ආකාරයෙකි. මොවුහු සිදුකරණ බොරුවේ පරිමාණය මැනිය නොහැකිය. ඔවුහු ඔවුහුම රවටා ගනිති. එවැනි වටපිටාවක අනෙකාව රැවටීම වූ කලී අතිශය පහසු කටයුත්තකි.

මෙම සන්දර්භය තුළ සැබෑ භික්ෂූන් හමුවන්නේ අතිශය කලාතුරකිනි. සැබෑ භික්ෂූන් සිතිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු, හුදෙකලාව වැඩ වාසය කරනු ලබන්නේ මෙම අප්‍රසන්න දෑ වලින් මිදීම සඳහා ලැබී ඇති කෙටි කාලය තම ප්‍රයෝජනය සඳහා භාවිතා කරමිනි. එසේම, අතලොස්සක් වූ, ගුණගරුක භික්ෂූන් විශාල බාධක සහ කම්කටොලු මධ්‍යයේ තම සංඝ ජීවිතය සත්‍යය දේශනා කිරීම සඳහා කැපකොට තිබේ.

වසර 2500කට පෙර සමාජය සහ වත්මන් සමාජය අතර ප්‍රභල වෙනස්කම් ඇති බව සත්‍යය. ව්‍යුහමය වශයෙන් බොහෝ දෑ සිදු වී ඇත. ඒ අනුව ලංකාවේ භික්ෂු සමාජය නූතන සමාජ ව්‍යුහයට අනුකූල වන අයුරින් දැනුමෙන් මෙන්ම තාක්ෂණයෙන් පෝෂණය විය යුත්තේය. එය එසේ විය යුත්තේ බෞද්ධ දර්ශනයේ පැහැදිළිව සඳහන් කොට ඇති විනය මූලික කාරණා අපයෝජනය හෝ අපහරණය කිරීමෙන් නොවේ. නමුත් අවාසනාවට, නිර්මල බුද්ධ ධර්මය ඇතැයි ලෝකයට හඬනගා කියන මෙරට ථේරවාද භික්ෂු සමාජය බොහොමයක් නොපනත්කම් මෙන්ම කෛරාටක දේශපාලන කල්ලිවාදයක නිරත වෙමින් අනෙකාව මුලාවට පත්කොට තමන් බුදුන්ගේත් බුදුන් බව පෙන්වීමට උත්සහ දරති.

මෙම මුලාවීම හඳුනා ගැනීම සඳහා වත්මන් ප්‍රවණතාවය හමුවේ මතුවන ප්‍රධාන උදාහරණ දෙකක් ගත හැකිය. පළමුවැන්න නම්, බොදු බල සේනාවේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිය. දෙවැන්න ඇලන්මැතිනියාරාමයේ ප්‍රධාන භික්ෂු උඩුවේ ධම්මාලෝක හිමිය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි, බුද්ධ ධර්මය දේශපාලනික අතකොළුවක් ලෙස භාවිතාකොට එමඟින් සමාජයේ පවතින මූලික කාරණාවලට පහරදෙනු ලබති. තම පහරදීම සාධාරනීකරණය කිරීම සඳහා, වෙනත් ආගම්වලින් එල්ල වී ඇති තර්ජනය මෙන්ම “දේශප්‍රේමීත්වය” පසුබිම් සාධක ලෙස යොදා ගනිති. බැලූ බැල්මට හෙතමට හෙතම සධාරනීකරණය කිරීම සඳහා විශාල හේතු ප්‍රමාණයක් ඇත. එය කෙතරම් දුරට ගමන් කළේද යන්න ඔහුගේ වත්මන් තත්වය දැකීමෙන් අවබෝධ කර ගත හැකි වේ.

උන් වහන්සේ, රටේ අතුරුදන් කරනු ලැබූ පුරවැසියෙකුගේ බිරිඳ යුක්තිය වෙනුවෙන් සටන් වැදීම, අපහාසයට ලක් කරමින් අදාළ ක්‍රියාවලියට තර්ජනය කිරීම හේතුවෙන් මේ වන විට බන්ධනාගාර ගත කොට තිබේ. මෙහිදී ප්‍රතික්ෂේප කළ නොහැකි මූලික කාරණයක් තිබේ. එනම්, ගලගොඩඅත්තේ ඥානසාර හිමි වූ කලී දිරාගිය සමාජ ව්‍යුහයක රෝග ලක්ෂණය නියෝජනය කරන එක් චරිතයක් පමණි. හෙතම ගැන, කෙතරම් විවේචන එල්ල කළද, මෙවැනි සමාජ ව්‍යුහයක් ඇති ඕනෑම තැනක එවැනි චරිත බිහි වේ.

මේ අතර උඩුවේ ධම්මාලෝක හිමි තම භික්ෂු ජීවිතය ගැන තමන් විසින්ම ගුණ වැයීම ආරම්භ කර තිබේ. ඔහු නියෝජනය කරනු ලබන අදහස්වලින් ගම්‍යවන්නේ, භික්ෂු ශාසනය තුළ දැක ගත හැකි බිඳ වැටීමේ සංකීර්ණතාවයයි.

උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීම ඇති සැලසුම සම්බන්ධයෙන් උන් වහන්සේ රඟදක්වමින් සිටින නාටකය මඟින් එහි ඇති පරිමාණය මනාව අවබෝධ කර ගත හැකිය. ඔහු තම වියදමින් හෝ කිසිවෙකු හෝ කරනු ලැබූ “ධන පරිත්‍යාගයකින්” මෙරට පලවන ප්‍රධාන පුවත්පත් කිහිපයක සම්පූර්ණ පිටුවක් මිළදීගෙන දැන්වීමක් පලකොට තිබේ. තම පුවත්පත් මුදල් ඉපයීම මූලිකකොට ගනිමින් මුද්‍රණය කරණ විකුණුම් භාණ්ඩයක් වන්නේය, නමැති ප්‍රතිපත්තියක සිටින මෙරට පුවත්පත් හිමිකරුවන් ඕනෑම අයෙකුට මුදල් ගෙවා ඕනෑම බොරුවක් පල කිරීමේ අයිතිය ලබා දී තිබේ. මෙය සැබවින්ම, ජනමාධ්‍යවේදීන් ලැජ්ජා විය යුතු කාරණයකි. නමුත් අවාසනාවට ඊට කළ හැකි විකල්ප ගැන සමාජ සංවාදයක් මේ දක්වා ඇති වී නැත.

අදාළ දැන්වීම මඟින් උඩුවේ ධම්මාලෝක හිමි මුලික කාරණා කිහිපයක් ගෙන හැර දක්වති. එනම්, තමන්ගේ පන්සල, හැරදමා යන මිනිසුන් මෙන්ම සතුන්ටද නිවහනක් වූ බවය. ඔහු කිසිම අලි පැටවකු සොරකම් නොකළ නමුත්, අලින් රැගෙන ආ පුද්ගලයින් අලි පැටවකු දමාගොස් තිබේ. හෙතම, මෙරට ජනතාව මෙන්ම ඔහුගේ දේශනා කියවන හෝ අසන අයවලුන් අලියෙකු හෝ අලි පැටවකු ජීවිත කාලයේම දැක නැති පිටසක්වලින් පැමිණි සතුන් කොටසක් යැයි සිතා, කිසිවෙකු විසින් හැර දමා ගිය අලි පැටවකු ගැන සඳහන් කොට ඇත්තේ, අලි පැටවා පූස් පැටවකු යැයි සිතමින් විය හැකිය.

එසේම, ත්‍රස්තවාදීන් නිදහස් කරන රටක තමන් අත්අඩංගුවට ගැනීමට සැලසුම් කොට ඇති බව හෙතම ලියන්නේය. ඉන් නොනැවතී, නීතියානුකූල නොවන ලෙස එලෙස අත්අඩංගුවට ගතහොත් රටේ සිටින ඉහළම නීතිඥවරුන් මිලදී ගැනීම සඳහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලති. තමන් වරදක් නොකළේනම් රටේ සිටින ඉහලම වටිනාකමකට විකිණෙන නීතිඥවරුන් මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා සිටින්නේ මන්ද? උඩුවේ ධම්මාලෝක හිමි තමන්ගේ ගුණ ගයමින් දෙස් විදෙස් පුද්ගලයිගෙන් තමන්ට මුදල් ලබාදෙන ලෙස ඉල්ලා සිටින අකාරය සැබවින්ම පිළිකුල්සහගතය.

අදාළ දැන්වීම කියවන ඕනෑම අයෙකු තේරුම් ගත යුතු මුලික කරණය වූ කලී, අදාල හිමිනම රටේ මුද්‍රිත මාධ්‍යය මෙවලමක් ලෙස යොදා සිදුකරණ අප්‍රසන්න දේශපාලනයයි. මෙය කියවන සාමන්‍යය ජනතාව තමන්ගේ වචනවලට රවටා ගත හැකිබව ඔහු අනුමාන කරන සැටියෙකි. අදාළ දැන්වීමේ, අවසානයට පලකොට ඇති “මෙම දැන්වීම ඇලන්මැතිනියාරාමයේ දායක දායිකාවන්ගේ අනුග්‍රහයෙන් පලකරන ලද්දකි”, යන්න සාමන්‍යය පාඨකයාගේ අවදානයට ලක් නොවන බව උන්වහන්සේ උපකල්පනය කරන්නට ඇත. එසේම සම්පූර්ණ පිටුවක මෙවැනි දැන්වීමක් පලකිරීම සඳහා මෙරට මුදලින් අවම වශයෙන් ලක්ෂ 5ක් පමණ වියදම් වන බව සාමන්‍යය පාඨකයා නොදන්නේය. මැතිවරණ සමාකෙදී එය ඊටත් වඩා අධිකය. ඔහුට මෙතරම් මුදලක් වියදම් කොට පුවත්පත් දැන්වීම් පලකල හැකිනම්, අනෙකුත් වියදම් සඳහා තම ධනය භාවිතා කිරීම අතිශය සරල කාරණයකි.

මෙම කාරණයේ ඇති ශේෂ පත්‍රය මෙයයි. අදාළ භික්ෂුව වරදකට සැකකරුවෙකු වී සිටින්නේ නම්, අත්අඩංගුවට ගැනීම මෙන්ම, ඒ සඳහා යුක්තිය පසිඳලීම අතිශය තීරණාත්මක වේ. එවැනි ක්‍රියාදාමයක් මෙරට ප්‍රධාන සංඝ නායක හිමිවරුන්ගේ අනුදැනුම මත ගැනීම බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා හේතු වේ. තම වචන වලින් සහ උපයාගනු ලැබූ ධනයෙන් අනෙකාව රවටමින්, එම රැවටීම බුදුන්ගේ ධර්මය ලෙස විස්තර කරමින් සිදුකරණ විනාශය වැලැක්වීම සඳහා කඩිනම් පියවර ගත යුතුවේ. මෙය පුළුල් සමාජ අවශ්‍යතාවක් වේ. මෙවැනි, නළුවන් හේතුවෙන් සැබෑ සංඝ පීතෘවරුන් හුදෙකලා වී සිටින අතර ඔවුන්ගේ සේවය රටට අහිමි වී තිබේ.

විනිවිදභාවය සහ සාදාරණ කළමනාකරණය අහිමි වූ ඕනෑම සංස්ථාවක් මුහුණ දෙන ඇත්ත තත්වය මෙයයි. එවැනි කඩාවැටුණු ව්‍යුහයකින් තම මඩිය තරකර ගැනීම සඳහා මාන බලන අයවලුන් බිහිවීම ස්වභාවික කාරණයකි. ලංකාවේ බුදු සසුන යහමගට ගත හැක්කේ අහිමි කර දැමූ මෙම මුලික අඩිතාලම යළි දැමීමෙන් සහ “බුද්ධ ධර්මය” තම නොපනත්කම් සඳහා මෙවලමක් කරගෙන ඇති වෙස්වලාගත් අයවලුන්ගෙන් නිදහස් කර ගැනීමෙනි.

No comments:

Post a Comment