තරිඳු උඩුවරගෙදර |
පුරවැසියන් තුළින් ආ සටන් පාඨයක් වන නව
ව්‍යවස්ථාවක් සකස් කරගැනීම යථාර්ථයක් බවට පත් කරගැනීමට ඉඩක් ලැබී තිබේ. බිහිවන්නට
නියමිත ව්‍යවස්ථාව යහපත් එකක් කරගැනීමේ වගකීම සිවිල් සමාජය හා පුරවැසියන් සතුය. නව
ව්‍යවස්ථාවක් සඳහා වත්මන් ව්‍යවස්ථාවෙන් වෙනස් විය යුතු කාරණා පිළිබඳව සිවිල්
බුද්ධිමතුන් සමග පසුගිය සති කිහිපයේ අපි සංවාද කළෙමු. මේ එම සංවාදය ඉදිරියට ගෙන
යමින් රාජ්‍යය සහ ආගම එකිනෙකට සම්බන්ධ විය යුතු දැයි අප කළ අදහස් විමසීමකි.
රාජ්‍යය නිරාගමික විය යුතුයි | ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
මගේ පුද්ගලික අදහස නම් ආගම ඇදහීම
කියන්නේ පෞද්ගලික දෙයක්. රාජ්‍යය සහ ආගම පටලවාගන්න ඕනෑ නැහැ. රාජ්‍යය නිරාගමික විය
යුතුයි. ඒත් ලංකාවේ ගත්තාම ඒක කරන්න බැහැ. රාජ්‍යය නිරාගමික විය යුතුයි කියන
යෝජනාව දැම්ම ගමන් එන අතිවිශාල විරෝධයට මුහුණ දෙන්න ආණ්ඩුවට බැහැ. ආණ්ඩුවට එහෙම
ඕනෑකමකුත් නැහැ. රටේ තියෙන අධිපති දෘෂ්ටිවාදය එක්ක වැඩ කරනකොට ආණ්ඩුවට තියෙන්න ඕනෑ
විශේෂ වැඩපිළිවෙළක්. මේ ආණ්ඩුවට එහෙම වැඩපිළිවෙළක් තියෙන බව පෙනෙන්නේ නැහැ. ඇත්තටම
මේ ආණ්ඩුව ඉන්නේත් අධිපති දෘෂ්ටිවාදය ඇතුළේ. ඒ සම්බන්ධයෙන් කිසිම ප‍්‍රායෝගික
වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා ඔය ආගම සම්බන්ධව මොනවත් කෙරෙන එකක් නැහැ. විශේෂයෙන්
ජනාධිපතිවරයා කීවේ මේ ව්‍යවස්ථාවෙන් වෙනස් වෙන්නේ මැතිවරණ ක‍්‍රමය සහ විධායක
ජනාධිපති ක‍්‍රමය විතරක් බවයි. මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙනවා දෙමළ ජනතාවට බලය
බෙදීම. ඒකත් මේ ආණ්ඩුවට කරන්න බැරි දෙයක්. මේ වාගේ දේවල් ඇවිත් හුදු ව්‍යවස්ථාවේ
වෙනස්කම් විතරක් නෙමෙයි. දේශපාලනික පෙරළි ලෙස දකින්න ඕනෑ. ඒවා වෙනස් කරන්න නම්
විශාල මහන්සියක් දරන්න වෙනවා. මහජන අදහස් විමසීමේ කමිටු දාලා ඕක කරන්න බැහැ. මම
නම් හිතන්නේ මේ කමිටු දැමීම වගේ දේවල් බොරු කියලායි. කරන්න ඕනෑ දේ කලින් කියනවා
නම් හොඳයි. සාමාන්‍ය ජනතාව කියන ඒවා උඩ මේවා කරයිද? විවිධ අය විවිධ දේ ඉල්ලයි. අන්තිමේ තමන්ට ඕනෑ දේ කරලා මහජනතාව
ඉල්ලූවා කියයි. ඕනෑම දෙයක් කවුරු හරි කියලා තියෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම
වැඩකිරීම ගැන මට ඒ තරම් විශ්වාසයක් නැහැ. ඇත්තටම මේ දේවල් ගැන සමාජය තුළ
දීර්ඝකාලීන සාකච්ඡුාවක් තිබුණා. ඒවායේදී එකඟ වුණ අදහස් තියෙනවා. ඒවා මත පදනම් වෙලා
මේ වෙනස්කම් කළ යුතුයි. ඒත් ආගම සම්බන්ධ දේවල් වෙනස් කරන්න මේ ආණ්ඩුවට බැහැ.
ආගම පුද්ගලික කාරණාවක් | සිනමාවේදී
අශෝක හඳගම
මගේ අදහස නම් රටක ආගම කියන්නේ අතිශය
පුද්ගලික කාරණාවක්. කාට හරි බෞද්ධ, කතෝලික,
ඉස්ලාම් විතරක් නෙවෙයි මහසෝනා, ගස්ගල් හෝ වෙනත් ඕනෑම දෙයක් විශ්වාස කරන්න
පුළුවන්. ඒවා සම්බන්ධයෙන් විවේචන හෝ විචාර තියෙන්න පුළුවන්. ඒත් ඒ ඕනෑම ආගමක් අදහන
එක පෞද්ගලික අයිතියක්.
ඒ ඇදහීම අනෙකාට කරදරයක් නොවෙන තාක් කල්
අයිතියට බාධා කරන්න බැහැ. පුද්ගලික නිදහසේ සීමා තුළ ඉඳගෙන ආගම අදහන්න ඕනෑ.
එතකොට මේ අතිශය පෞද්ගලික හැඟීම්බර
කාරණයක් වන ආගම් අතරින් එකක් සුවිශේෂී කරලා රාජ්‍යය විසින් සලකනවා නම් එය විශාල
අවුලක් බවට පත් වෙනවා. රජය එක් ආගමක් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන්නේ අනවශ්‍ය විදිහට
පෞද්ගලික ජීවිතයට ඇඟිිලි ගැසීමක් කියන එක. ඒ නිසා ආගමක් රජය ඇතුළට ගන්නවා නම් ඒ
හොඳ රාජ්‍යයක් නෙවෙයි.
රජය ආගමක් වෙනුවෙන් පෙනී හිටීම තුළම
ගැටලූ රැුසක් මතුවෙනවා. ආගම ආරක්ෂා කරනවා නම් මොකකින්ද ආරක්ෂා කරන්නේ?, කාගෙන්ද?, මොකක්ද?, කොහොමද ආරක්ෂා කරන්නේ? මේ වාගේ ගැටලූ ගොඩක් මතුවෙනවා.
මේක කිසිසේත්ම ලංකාව වගේ බහුවාර්ගික,
බහුආගමික, බහුසංස්කෘතික රටවල්වලට ගැළපෙන්නේ නැහැ. එක් ආගමක් සුවිශේෂී ලෙස
හැමවිටම අනෙක් ඒවාට ඉහළින් තැබීම නිසා දේශපාලන බලය ලබාගැනීමේදීත් අර ආගම සටන්
පාඨයක් වෙනවා. ඒකෙන් හැමවිටම ඉඩ ලැබෙන්නේ අන්තවාදයට.
රාජ්‍යය ආගමක් සුවිශේෂී ලෙසින් සැලකීම
තුළ ජාතීන් අතර ආතතියක් ඇතිවෙනවා.
බුද්ධාගම තියෙන එකම රට ලංකාව නිසා එයට
ප‍්‍රමුඛස්ථානය දිය යුතුයි කියනවා. ඒත් ඒ අපි හිතන හැටි විතරයි. බුරුමය, තායිලන්තය, චීනය වගේ රටවලත් බුද්ධාගම තියෙනවා.
ආගමක් රකින්න රාජ්‍යය මැදිහත් වීම
මනුෂ්‍යත්වයේ නොදියුණු ලක්ෂණයක්. ආගමක් බලෙන් රකින්න හැදුවා කියලා එය ආරක්ෂා
වෙන්නෙත් නැහැ. දැන් බුද්ධාගම කියලා රකින්නේ බුද්ධ දර්ශනය නෙවෙයි එහි පිළිබිඹුවක්
විතරයි.
තියෙන තත්ත්වය පැවතිය යුතුයි | නීතිඥ උපුල් ජයසූරිය
පවතින ව්‍යවස්ථාවේ තියෙන්නේ බුද්ධාගමට
ප‍්‍රමුඛස්ථානය දිය යුතුයි කියන කාරණය. ඒක වෙනස් කරන්න බැහැ. තියෙන තත්ත්වය පැවතිය
යුතුයි. ඒ අතර අනෙක් සියලූ ආගම්වලට අයිතිවාසිකම් ලබාදිය යුතුයි. ප‍්‍රමුඛස්ථානය
ලබාදිය යුතුයි කියන එක මෙච්චර කල් ප‍්‍රශ්නයක් වෙලා නැහැ. බොදු බල සේනාව වගේ
අන්තවාදී සංවිධාන බිහිවුණේ ඒ ප‍්‍රතිපාදන තිබුණු නිසා නෙවෙයි. ඒ ප‍්‍රතිපාදන
තිබුණත් අන්තවාදයට එරෙහි පියවර ගන්න බාධාවක් නැහැ. ඒ නිසා ඕනෑම ආගමක අන්තවාදය
සම්බන්ධයෙන් නීතිය එක හා සමානව ක‍්‍රියාත්මක කරන්න පුළුවන්. මෙය වෙනස් කරන්න
ගියොත් තමයි මේ වෙලාවේ ප‍්‍රශ්න ඇතිවෙන්නේ. මෙය තිබුණා කියලා විශාල ප‍්‍රශ්නයක් ඇතිවෙයි
කියලා හිතන්න බැහැ.
රජයකට
ආගමක් තියෙන්න බැහැ | මහනුවර වජිරබුද්ධි හිමි
මේ ආගම හා රාජ්‍යය සම්බන්ධ කාරණය ටිකක්
පුළුල් මාතෘකාවක්. මගේ පෞද්ගලික අදහස වැඩක් නැහැ. බුදුන් වහන්සේගේ බෞද්ධ දර්ශනය මත
අදහසක් ඉදිරිපත් වෙන්න ඕනෑ. ඇත්තටම ගත්තොත් මේ වෙද්දි බුදුන් වහන්සේ වදාළ බුද්ධාගම
මොකක්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. හාමුදුරුවරු දේශපාලන වේදිකාවල දේශපාලනය කරනවා.
රජයකට ආගමක් තියෙන්න බැහැ. රජය කියන්නේ පරිපාලන ආයතනයක්. ආගම කියන්නේ පුද්ගලිකව
අපට දැනෙන දෙයක්. ආණ්ඩුවට අවශ්‍ය නම් බුද්ධාගමේ සංකල්ප පාවිච්චි කරන්න පුළුවන්.
නහි වේරේන වේරානී, ලිච්ඡුවි සංකල්පය වගේ බුද්ධ දේශනාවේ
උපදෙස් ගන්න පුළුවන්. හැබැයි රජයකට ආගමක් තියෙන්න බැහැ. එහෙම වුණොත් අනෙක් ආගම්වලට
සිද්ධ වෙන්නේ මොකක්ද? බොහෝ රටවල මෙහෙම තත්ත්වයක් නෑ. රජය
බුද්ධාගම රාජ්‍ය ආගම කරගත් පළියට බුදුන්ගෙන් උපදෙස් ගන්නවාද? රජය ආගම කියලා තේරුම් ගන්නේ මොකක්ද? රජයට චතුරාර්ය සත්‍යය අවබෝධ කරවලා දෙන්න
පුළුවන්ද? මේ වෙද්දී බුද්ධ දර්ශනය අවුරුදු 2500ක් තිස්සේ විවිධාකාරයෙන් බෙදී ගිහින් නිකායවාදී
ආගමක් තියෙන්නේ. මහනායක හිමිවරු ගොඩක් ඉන්න බැහැ බුද්ධාගම එකක් නම්.
බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානකොට කීවේ තමන්ගෙන් පසු ශාස්තෘවරයෙක් නැහැ, ධර්මය ශාස්තෘ කරගන්න කියලා. එහෙනම් ධර්මය මිස
නායකයන් ඉන්න බැහැ. නායකයන් ඉන්නවා කියන්නේ අනුගාමිකයන් ඉන්න ඕනෑ. අපි කාගේවත්
අනුගාමිකයන් විය යුතු නැහැ ධර්මයේ මිස. දැන් රාජ්‍යය බුද්ධාගම පිළිගත්තා කියලා
උපදෙස් ගන්නේ කාගෙන්ද? මහානායක හිමිවරුන්ගෙන්. මහානායක
හිමිවරු තමන් කියන එක අනෙක් අය පිළිගන්නැති නිසා රාජ්‍යය ලවා පනත් සම්මත කරවාගන්න
යනවා. එතැනත් තියෙන ප‍්‍රශ්නය, බුද්ධාගම එකයි නම් කතිකාවත් ගොඩක්
තියෙන්නේ කොහොමද කියන එක. මේ වෙනකොටත් දුර්වල වෙලා තියෙන ආගමකට රජය මැදිහත් වීමෙන්
එය තවත් දුර්වල වෙනවා. ඇත්තටම බුද්ධාගමට රාජ්‍ය පිළිගැනීම දෙන්න යෑමෙන් ලොකුම
හානිය බුද්ධ දේශනාවට සිද්ධ වෙන්න පුළුවන්.
බුදු දහමට ප‍්‍රමුඛස්ථානය තිබුණාට කමක්
නෑ | නීතිඥ සාලිය පීරිස්
දැන් තියෙන ව්‍යවස්ථාවේ රාජ්‍ය ආගම
කියලා එකක් නැහැ. නවවැනි ව්‍යවස්ථාව තුළ තියෙනවා බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දිය
යුතු බවත්, රාජ්‍යය බුද්ධාගමේ ආරක්ෂකයා වශයෙනුත් ප‍්‍රවර්ධනය
කිරිම සඳහාත් කටයුතු කළ යුතුයි කියලා. අනෙක් ආගම්වල අයිතීන් තහවුරු කිරීමට 10 ව්‍යවස්ථාවේ 14 (1) ඉ කියන ව්‍යවස්ථාව යටතේ ප‍්‍රතිපාදන තියෙනවා. මගේ පෞද්ගලික අදහස රාජ්‍ය
ආගමක් තිබිය යුතු නැහැ. ඒ වාගේම මේ තියෙන ප‍්‍රතිපාදන වෙනස් විය යුතු නැහැ. මේ
අවස්ථාවේ මේ ව්‍යවස්ථාව අයින් කරන්න යෑම තේරුමක් නැති විවාදයකට හේතු වන බවයි මගේ
අදහස. විශේෂයෙන් ව්‍යවස්ථාවේ අප විසින් කරගත යුතු අනෙක් ප‍්‍රතිසංස්කරණවලට එය
බාධාවක් විය හැකියි. විශේෂයෙන් නව වන වගන්තිය විශාල බාධාවක් කර නොගෙන ආගම් අතර
සංහිඳියාව ගොඩනගාගන්න පුළුවන්. මේ වෙලාවේ එහි කරුණු වැඩි කරන්නට හෝ අඩු කරන්නට යෑම
ගැටලූවක් විය හැකියි. වෙනත් ආගමකට අසාධාරණයක් වුණොත් එයට විරුද්ධව පියවර ගන්න 10 ව්‍යවස්ථාවේ 14 (1) ඉ වගන්තියේ ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත්. රාජ්‍යය ආගම සමග සම්බන්ධ විය
යුතු නැති බව පැහැදිලියි. ලෝකයේ මේ වන විට ආගම සමග බැඳුණ රාජ්‍යයක් තියෙන රටවල්
තියෙනවා. මේ අතරින් අරාබි රටවල් තමයි ප‍්‍රමුඛ. ඒ රටවල් අතරත් ඩුබායි, ඕමාන් වැනි ආර්ථික වශයෙන් සාර්ථක වූ ප‍්‍රදේශ
ආගමෙන් තොර පාලනයකට ගමන් කරලා තියෙනවා. ඉන්දියාවේ බහුතරය හින්දු වුණත් හින්දු ආගමට
වෙනත් රටවල් නොතිබුණත් හින්දු ආගම සහ ව්‍යවස්ථාව සමග සම්බන්ධයෙන් ඇති කරගෙන නැහැ.
හින්දු ආගම විනාශ වෙලාත් නැහැ. විශේෂ කාරණයක් සඳහන් කළ යුතුයි. ක‍්‍රිස්තියානි
ධර්මයේ එංගලන්ත සභාව සිය ආරක්ෂකයා ලෙස බි‍්‍රතාන්‍ය කිරීටය නම් කරලා තියෙනවා. ඒ
කියන්නේ දැන් රැුජින තමයි ආරක්ෂකයා. එහෙත් දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සහිත රටක්
විදියට එය සංකල්පයක් ලෙස පමණක් පාවිච්චි කරමින් ආගම රාජ්‍යයට මැදිහත් කර නොගෙන
පෞද්ගලික කාරණයක් ලෙස එංගලන්තයේ පවතිනවා. ඕනෑම ආගමකට නිදහස එංගලන්තයේ තියෙනවා.
ඓතිහාසික වශයෙන් ආගමික නිදහසට පෙරදිගින් ලැබෙන හොඳම උදාහරණයක් තමයි අක්බාර් නම්
මෝගල් අධිරාජ්‍යයා. ඔහු ඉස්ලාම් නායකයෙක් වුණත් රාජ්‍යය සහ ආගම සම්බන්ධ කළේ නැහැ.
අතිසාර්ථක පාලකයෙක් වන ඔහු සියලූ ආගම්වලට නිදහස දීලා ආගම පෞද්ගලික දෙයක් බවට පත්
කළා. සියලූ ආගම්වලට සම පිළිගැනීම ලබාදුන්නා. සංකල්පයක් වශයෙන් යහපත් ආණ්ඩුක‍්‍රමයක්
ලෙස හඳුන්වන්නේ ආගමේ මැදිහත්වීම නැති පාලනයක්. නවවැනි වගන්තිය ඉවත් කිරීම ගැටලූ
ඇති කරන්නට පුළුවන් නිසා එය එසේ තිබියදී අපට ඒ තත්ත්වය උදා කරගන්න පුළුවන් නම්
යහපත්.
No comments:
Post a Comment