Sunday, February 7, 2016

රට වනසන, සසුන නසන අලජ්ජි භික්ෂූන්ට තැලිය යුත්තේ මොන වලිගයෙන්ද. ජනපතිතුමනි?

ගාමිණී වියන්ගොඩ

සෑම ඇඳුමකම පොදු ගුණාකාරය විළි වසා ගැනීමයි. පසුගිය දවසක, ගැහැනියක තනපටය ගලවා වේදිකාවකට වීසි කළ විට, අදාළ පුද්ගලයන්ට මඩුවලිගයෙන් තැලිය යුතු යැයි ජනාධිපතිවරයා කීය. පසුගියදා, ‘අපේ හාමුදුරුවෝ’ සිවුර ගලවා පාරට වීසි කොට, අඳනකඩයෙන් අමුඩය ගසා උසාවියක තාප්පයක් දිගේ බඩගෑවේය.

විළි වසා ගැනීමේ ප‍්‍රාථමික අර්ථයට අමතරව සෑම ඇඳුමක්ම යම් අදහසක්ද නියෝජනය කරයි. එදා ඉග්ලේසියාස්ට ‘බොඩියක්’ වීසි කිරීමේ ක‍්‍රියාව පසුපස ඇත්තේ එවැනි අදහසකි. එය, පුද්ගල අදහසකට වඩා, සමාජ කුලක අදහසකි. බටහිර රටක ඇඳුම හරහා එය පැහැදිලිව විශද නොවෙතත්, තුන්වැනි ලෝකයේ ලංකාව වැනි රටක තවමත් එය දළ වශයෙන් හඳුනාගත හැකිවෙයි. ඒ අනුව, අමුඩය ගොවියෙකු නියෝජනය කරයි. සරම බැනියම, ගැමියෙකු නියෝජනය කරයි. කලිසම/කබාය ‘මහත්මයෙකුගේ’ ය. මේ කිසි ඇඳුමක් පසුපස ඉහත කී අර්ථ හැමදාමත් අනිවාර්ය නැතත්, සිවුර නැමැති ඇඳුමට අනිවාර්ය සහ නිශ්චිත අර්ථයක් තිබේ. එය අප හඳුනාගන්නේ, ධර්මය වශයෙනි.

අප වඳින්නේ සිවුරට යැයි තවමත් සමහරු කියති. මෙය සහසුද්දෙන්ම අඳබාල කතාවකි. ශ‍්‍රද්ධාව සහ බුද්ධිය අතර වෙනස බුදුන් වහන්සේ තරම් අවධාරණය කළ වෙනත් ශාස්තෘවරයෙක් නැත. තමාගේ ධර්මය ශ‍්‍රද්ධාවෙන් අවබෝධ කරගත නොහැකි බව පෙන්වා දුන් උන්වහන්සේ ඒ වෙනුවට බුද්ධියෙන් කරුණු විමසන්නැයි දේශනා කළ සේක. මේ නිසා, ‘සැදැහැතියා’ යන්න තුළම යම් පරහක් තිබේ. බුද්ධත්වයට පත්වීමෙන් පසු, තමන් අවබෝධ කරගත් ධර්මය දේශනා නොකොට සිටීමට මුලින්ම උන්වහන්සේ තීරණය කෙළේ, එම දහම අවබෝධ කරගැනීමට තරම් බුද්ධියක් පස්වග මහණුන්ටවත් තිබිය හැකිදැයි යන අඩමානය නිසා ය.

අද ලංකාවේ ඇතැම් සංඝයා වහන්සේලා මේ අහිංසක ශ‍්‍රද්ධාව, ධර්මය නොවන සෑම දෙයක් වෙනුවෙන්ම දඩමීමා කර ගනිති. කොටින්ම, ශ‍්‍රද්ධාව අපහරණය කරති. මේ ශ‍්‍රද්ධා ව්‍යාපාරය කරපින්නා ගත් පසු, ඕනෑම දර්ශනයක් හෝ ධර්මයක් කෙළෙසීමට ‘බටහිර බලවේග’ හෝ ‘එන්.ජී. ඕ’ අවශ්‍ය නැත. අන්ධ ශ‍්‍රද්ධාවම ප‍්‍රමාණවත් වන්නේය. මේ ශ‍්‍රද්ධාව නිසාම, ආගම රැුකගනු වස්, රටක් හෝ ජාතියක් වෙනුවෙන් දිවි දිය යුතු යැයි කෙනෙකු කීවොත්, එයත් මුනිවර දේශනාවක් වශයෙන් ගැනෙන්නේ එබැවිනි. ‘‘සතුරා නැසීම නිවනට මඟ වේ’’ යැයි සින්දු ලීවේ, ගිහියෙකු නොව, චීවරධාරියෙකි. පසුගිය දා, සිවුරු පොරවාගත් ‘හැබිචෝල්’ කල්ලියක් හෝමාගම අධිකරණ භූමිය ඉදිරිපස හැසිරුණු ආකාරය දකින ඕනෑම බෞද්ධයෙකු, ‘අහෝ බුදුනි’ කියා ඔළුවේ අත ගසා ගනු නියති. බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් මාස තුනක් ගිය තැන සුභද්‍ර නැමැති භික්ෂුවක කී අභද්‍ර වචනයක් නිසා (‘‘එයා (බුදුන්) මැරුණහම අපිට මොකෝ’’ යැයි කී නිසා) ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වුණි. අද ධර්ම කතිකා පනතට මාරාන්තික විරෝධය පාන්නේද, තාප්ප දිගේ බඩගාන මේ ‘අඳනකඩ අමුඩකාරයන්’ ය. (අදාළ ධර්ම කතිකා පනතට මේ ලියුම්කරුත් විරුද්ධයි. එහෙත් ඒ වෙනත් කාරණා හේතුවෙනි).

ජාතියක් වෙනුවෙන් විනාශයට නොයා යුතු යම් දහමක් වෙත් නම් ඒ බුද්ධාගමයි. සතා සීපාවාගේ පැවැත්ම පවා එක සේ සලකන බුදු දහමේ සාරයම, ජන්ම වර්ගීකරණයක් වන ජාතිය ප‍්‍රතික්ෂේප කිරීමකි. ජාතිය ප‍්‍රතික්ෂේප කරන ආගමක්, ජාතිවාදය ඊටත් වඩා ප‍්‍රතික්ෂේප කරයි. එසේ තිබියදීත්, ජාතියක් වෙනුවෙන් ආගමක් විනාශ මුඛයට ඇද දමමින් සිටින රටක් ඇත්නම් ඒ ශ‍්‍රී ලංකාවයි. වෙනත් ආගම් පරිහානියට ගියේ හෝ යමින් තිබෙන්නේ, නූතනත්වයේ තාර්කිකත්වය හමුවේ ගොළුවීමෙනි. බුද්ධාගම වැනි සාපේක්ෂ තාර්කිකත්වයක් උඩ පදනම් වූ ආගමක් පරිහානියට යන්නේ, ධර්මය වෙනුවට ජාතිය කරපින්නා ගන්නා දේවදත්තයන් ඉදිරියේ සිල්වත් සංඝ සාසනය මුනිවත රැුකීමේදී ය.

ගලගොඩඅත්තේ ඥානසාරගේ ගිහි නායක ඩිලන්ත විතානගේ, ඔවුන්ගේ මෙහෙයුම වන්නේ සාසනය පිරිසුදු කිරීම බව, ඊයේ (27* ‘හිරු’ ගුවන්විදුලියේ මා සමග පැවති සංවාදයකදී කියා සිටියේය. අතීතයේදී සාසනය පිරිසුදු කොට ඇත්තේ, මහා කස්සපලා සහ සැරියුත් මුගලන්ලා මිස සෝමාරාමලා සහ බුද්ධරක්ඛිතලා නොවේ. ගලගොඩඅත්තේ ඥානසාර වැනි මිනිසුන් සාසනේ නාමෙන් පෙනී සිටින තාක් කල් සිදුවන්නේ, සාසනය රැුකීමක් නොව, බුදුන්ගේ ධර්මයමත් ඝාතනය කිරීමයි. මොහු, ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් උමතු වූ චීවරධාරියෙකු පමණක් නොව, ගිහි පැවැත්මේ අවම සදාචාර පිළිවෙත් පවා උල්ලංඝනය කිරීමටත් පසුබට නොවන පුද්ගලයෙකු බව, අධිකරණය ඉදිරියේ පැවරී ඇති අතීත නඩුහබ හරහා රටටම ප‍්‍රදර්ශනය කොට ඇත්තෙකි.

‘‘අංක 615, නාවල පාර, (සද්ධර්ම රාජික විහාරවාසී) රාජගිරියේ පදිංචි ගලගොඩඅත්තේ ඥානසාර හිමි රථය පදවාගෙන එන අවස්ථාවේ, වැල්ලම්පිටිය දෙස සිට පැමිණි … අංක දරන ත‍්‍රීවීලරයේ ගැටී ඇත. මේ අවස්ථාවේ ත‍්‍රීවීලර්යේ ගමන් ගත් …. නැමැති අයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ඉහත අංක දරන කාර් රථය නොනවත්වා පලා ගොස් ඇත. පසුව එම මාර්ගයේ සිටි නිලධාරීහු එම රථය නවත්වාගෙන ඇත. අනතුර සිදුවන විට වේලාව රාත‍්‍රී 2.30 ට පමණ ඇත. මේ අවස්ථාවේ ඉහත කාර් රථය පදවාගෙන ආ රියැදුරා වන ගලගොඩඅත්තේ ඥානසාර බීමත්ව සිටි අතර, පසුව පොලිස් ස්ථානයට රැුගෙන විත් ස්වාස නාල පරීක්ෂණයට භාජනය කර ඇත. එහිදී ස්වාස නාලය මැද ඇති කහ පාට කොටස කොළ පැහැ ගැන්වී රතු ඉර පසු කරගෙන ගොස් තිබිණ.’’

ගලගොඩඅත්තේ ඥානසාර අංක 6 ශ‍්‍රී 5444 දරන කාර් රථය බීමත්ව පදවා බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධ පරීක්ෂණයට අදාළව මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කළ පොලිස් වාර්තාවෙන් කොටසකි, ඒ.

‘‘ගලගොඩඅත්තේ ඥානසාර- සිටී. චූදිතට/චූදිතයන්ට චෝදනාව/චෝදනා කියවා දෙමි. චූදිත චෝදනාවට/චෝදනාවලට ‘‘මම වැරදිකරු වෙමි’’ යි කියයි. චූදිත චෝදනාවට/චෝදනාවලට වැරදිකරු කරමි. දඬුවම් නියම කරමි.’’

ඒ, ඔහු සම්බන්ධයෙන් ප‍්‍රකාශයට පත් අධිකරණ තීන්දුවයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ වෙනත් ආගමිකයන්ට සහ ජාතිකයන්ට එරෙහිව, විශේෂයෙන් මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව මේ පුද්ගලයා කළ කී අධම දෑ මුළු රටම දැක්කේය. එදා, ඔහුගේ අනුග‍්‍රාහකයන් අතර ප‍්‍රමුඛස්ථානයක් ගත්තේ සර්ව බලධාරී ගෝඨාභය රාජපක්ෂයි. උත්ප‍්‍රාසය වන්නේ, ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකුගේ විවෘත අනුග‍්‍රහය යටතේ පවා අභ්‍යාස නොකළ තරමේ චණ්ඩිකමක් මේ චීවරධාරියා අද යහපාලන ආණ්ඩුව යටතේ ප‍්‍රදර්ශනය කිරීමට පටන්ගෙන තිබීමයි. පසුගිය දා හෝමාගම අධිකරණයේ කිසි නඩුවක පාර්ශ්වකරුවෙකු නොවී සිටියදී පවා, මොහු, විවෘත අධිකරණයේ නැගී සිට, මහේස්ත‍්‍රාත්වරයාටත්, සමස්ත අධිකරණයටත් එරෙහිව වහසි බස් දෙඩවීම අප තේරුම් ගන්නේ කෙසේද?

බල අධිකාරියක තල්ලූවකින් මිස කිසි දවසක තමාගේ වන ස්වායත්ත ශක්තියකින් කටයුතු කොට නැති මේ පුද්ගලයා අද හැසිරෙන්නේ යහපාලන ආණ්ඩුවේ යම් අදිසි හස්තයක අවසරය යටතේද යන පැනය රට ඉදිරියේ බරපතළ ආකාරයෙන් මතුවෙයි. ඉදිරියේ ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට දැන් සිටම කැසකවන ජාතිවාදී බලවේග දිනෙන් දින හිස ඔසවයි. තිරය පසුපස සිට එම බලවේග මෙහෙයවන එක පිරිසක් වන්නේ, පරාජය කරන ලද රාජපක්ෂ කඳවුරයි. ඊට අමතරව, යහපාලනය පැත්තෙනුත් ඒ ජාතිවාදී ව්‍යාපාරය සඳහා තල්ලූවක් නොලැබෙතැයි ආදර්ශයෙන් ඔප්පු කර පෙන්වීමේ වගකීම යහපාලන බලධාරීන් දැන් භාරගත යුතුය.


No comments:

Post a Comment