Saturday, January 23, 2016

මෙන්න කතාව! ක්‍රිකට්‌ තරග පාවාදීමේ මුල මැද සහ ඉතිරි ටික


අසේල විතාන
කඹය කඩාගෙන ඉබා ගාතේ ඇවිද ගිය "ගොනා" නතර වූයේ පොල් පැලයක්‌ ලඟය. ඊළඟට "ගොනා" පොල් පැලය දෙසට හැරී එය අනුභව කොට කුස පුරවා ගනියි. මේ ගොන් නාම්බා පොල් පැලයේ වටිනාකම නොදත් නිසා අනාගතයට බොහෝ ප්‍රයෝජනයක්‌ ගත හැකි පොල් පැළයක්‌ විනාශ විය. කකුල් හතරේ ගොන් නාම්බා එසේ කරද්දී මිනිස්‌ මොළය ඇති කකුල් දෙකේ "ගොන් නාම්බන්ද" එසේ කළහොත් ඔවුන්ව දඩුකඳේ ගැසිය යුතුයෑයි අපි ආරම්භයේදීම යෝජනා කරමු. 

සමස්‌ත රට වැසියන්ම කිසිදු භේදයකින් තොරව ආදරය කරන මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව මේ වන විට ගෙවනු ලබන්නේ සෙනසුරුගේ මහ දසාවයි. එයට හේතුව අපි ඉහතින් සඳහන් කළ කකුල් දෙකේ "ගොන් නාම්බන්" පිරිසක්‌ රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාවම අශූචි ගොඩකට ඇද දමමින් "මැච් ෆික්‌සින්" හෙවත් තරග පාවාදීමේ විශබීජය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නාමය ඉදිරියේ සටහන් කිරීමට උත්සාහ කර තිබීමයි. 

අලු යට ගිනි පුපුරු මෙන් කාලාන්තරයක්‌ තිස්‌සේ පැවතුන "මැච් ෆික්‌සින්" නමැති විෂබීජය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ හරහා හමා යැම ආරම්භ වුයේ කුසල් පෙරේරා තහනම් උත්තේජක ගත් බවට තහවුරු වීමත් සමගය. කුසල් පෙරේරාගේ මුත්‍රා සාම්පලයට තහනම් උත්තේජකය ඇතුලු වුයේ කෙසේද යන්න විවිධ පැතිකඩ ඔස්‌සේ සොයා යැම දැන් නතර වී ඇත්තේ බුකී කරුවන්ගේ ඕනෑ එපාකම් මත සිදුකරනු ලබන තරග පාවාදීමේ සිද්ධිදාමය පාමුලය. 

කුසල් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් සමග එකට කා බී සතුටු වූ පුද්ගලයකු වු ගයාන් විශ්වජිත් නැමැත්තා මේ වන විට එහි කර මුලටම හසුවී තිබේ. එයට හේතුව කුසල් පෙරේරා සහ රංගන හේරත්ව තරග පාවාදීමේ සිද්ධියකට ඇඳෑ ගැනීමට ගයාන් විශ්වජිත් නැමැත්තා උත්සහ කර ඇති බවට එම ක්‍රීඩකයන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දූෂණ විමර්ශණ ඒකකයට වාර්තා කර තිබීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ එෆ්.සී.අයි.ඩියට කැඳවනු ලැබුවේත් ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරුවකු වූ අනූෂ සමරනායකව වැඩ තහනමකට ලක්‌වීමටත් ප්‍රධානතම හේතුව ගයාන් විශ්වජිත් නැමැත්තා විසින් කුසල්ට සහ රංගනට කරන ලද යෝජනාවය. 

පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණි පකිස්‌තාන් සහ ඉන්දියානු කණ්‌ඩායම් ගාල්ලේදී තරගවදින විට මෙම තරගපාවාදීමේ සිද්ධියට මුල් පදනම වැටී තිබේ. එම තරග නිරීක්‍ෂණය කිරීමට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දුෂණ විමර්ශණ ඒකකයට සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දුෂණ විමර්ශන ඒකකයට බුකී කරුවන් යෑයි හඳුනා ගත් පිරිසක්‌ අතටම හසුවිය. ඒ අනූව ක්‍රියාත්මක වූ අයි.සී.සී. දූෂණ විමර්ශණ ඒකක නිලධාරීන් අදාළ කණ්‌ඩායම් කැඳවා සිද්ධිය පැහැදිලි කර දී ක්‍රීඩකයන්ට ප්‍රවේශම් වන බව දන්වා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දුෂණ විමර්ශණ ඒකකයෙන්ද ශ්‍රී ලංකා පිලට අනතුරු අගවමින් තරග පාවාදීමට කවුරු හෝ යෝජනා කර ඇත්නම් වහාම දන්වන මෙන් අනතුරු අගවා තිබේ.

තරගය අවසන්වී කොළඹ පැමිණි කුසල් පෙරේරා පළමුව ශ්‍රී ලංකා දූෂණ විමර්ශණ ඒකකයට ගයාන් විශ්වජිත් නමැත්තා තමන්ට කළ යෝජනාව පැමිණිලි කර තිබේ. ගයාන් විශ්වජිත් ගාලු ටෙස්‌ට්‌ තරගයේදී කුසල්ට ලකුණු 18කට අඩුවෙන් දැවී ගියහොත් ශ්‍රී ලංකා රුපියල් මිලියන දහයක්‌ ලබාදෙන බවට පවසා ඇත. එම යෝජනාව කුසල් තරයේ ප්‍රතික්‌ෂේප කර ඇති අතර වාසනාවකට එම තරගයේදී කුසල් ලකුණු 23 ක්‌ ලබා ගත්තේය. රංගන හේරත්ව එම තරගය අතරතුරදී හමුවු විශ්වජිත් කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ව තවදුරටත් සමීප ලෙස ඇසුරු කිරීමේ අවස්‌ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ යෑයි කියනු ලැබේ. එම යෝජනාවද රංගන විසින් අදාළ විමර්ශණනය ඒකකයට වාර්තා කර ඇත. දැන් ක්‍රීඩකයන් දෙපලට වූ අයුතු යෝජනාවෙන් ඔවුන් බේරී තිබේ. එහෙත් ප්‍රශ්නය එදා සිට උඩුදුවන්නට පටන් ගෙන දැන් එහි උච්ඡතම අවස්‌ථාවට එළැඹ ඇත.

ගයාන් විශ්වජිත් නමැත්තා පුහුණු දැල තුළදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පන්දු යවමින් සේවය කර ඇත. ඒ අතරතුර අනිකුත් පුහුණු පන්දු යවන්නන්ට වඩා මොහු ක්‍රීඩකයන් සමග කුළුපඟව ඇසුරු කර තිබේ. ඒ සඳහා විශ්වාස කළ හැකි ඡායාරූපද අප මේ ලිපිය සමග පළ කරන්නෙමු. නමුත් ඔහු තවම චූදිතයකු පමණි.

එහෙත් ඒ මිතුරුකම ගැන සමස්‌ත රටක්‌ම අපකීර්තියට පත්වන්නට තරම් කටඋත්තරයක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දූෂණ විමර්ශණ ඒකකයට ලැබී තිබේ. එහි සත්‍ය වාර්තාව ලබන මසදී එළියට දමන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දූෂණ විමර්ශණ ඒකකයේ ප්‍රධානියා වන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ පරීක්‍ෂක ලක්‍ෂ්මන්ද සිල්වා මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවසීය. අනිකුත් දැල් පන්දු යවන්නන්ට වඩා ගයාන් විශ්වජිත් ක්‍රීඩකයන් සමග කුළු පඟ ඇසුරක්‌ දැක්‌වීමට හේතුවක්‌ තිබේද යන්නත් ප්‍රශ්නයක්‌ මතුව තිබේ. 

වේග පන්දු පුහුණුකරුවකු වූ අනූෂ සමරනායක සමගත් ගයාන් විශ්වජිත් සුහද ඇසුරක්‌ පවත්වා ඇත. වෙනත් පුහුණු දැල තුළ පන්දු යවන්නන්ට වඩා ගයාන් විශ්වජිත් කැපී පෙනෙන චරිතයක්‌ බවට කෙසේ හෝ පත්වීම සැකයට තුඩු දෙන ප්‍රධාන සාක්‍ෂියක්‌ වී තිබේ. ඒ අනූව චූදිතයා වරදකරු හෝ නිවැරදිකරු කිරීමට සියලු පාර්ශ්ශව හරහා කට උත්තර ගනිමින් පරීක්‍ෂණ පැවැත්වීමට සිදුවීමද අරුමයක්‌ නොවේ.

නළු නිළියන් හෝ වේවා නිරූපිකාවන් යෑයි බැලූ බැල්මට පෙනෙන රුවැති කාන්තාවන් සමගද මොවුන් ඡායාරූපවල එකට සිටීම තවත් අතුරු පැනයකි. ක්‍රීඩකයන් ජනප්‍රිය වු පළියට රුවැති තරුණියන් මෙසේ ඡායාරූපවලට පැමිණෙනවා විය හැකිය. එහෙත් තරග පැවැත්වෙන අවස්‌ථාවලදී මාධ්‍යවේදීන්ට පමණක්‌ ලබාදෙන රථ වාහන බල පත්‍රය (Media Pass) අතැතිව රූමතියන් සිටින්නේ කෙසේද? ඔවුන් ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු මාධ්‍ය ආයතනයක සේවය නොකර මාධ්‍යවේදීන්ටත් සීමිතව ලබා දෙන අදාළ Media Pass කාගේ බලපුලුවන්කාරකමකට ලබා ගෙන ඇත්ද යන්නත් සෙවිය යුතුම ප්‍ර්‍රශ්නයකි.

ක්‍රීඩකයන් නවාතැන් ගන්නා තරු පහේ හෝටල්වලට පිටස්‌තර පුද්ගලයන්ට ඇතුළු විය නොහැකි නමුත් අදාළ තැනැත්තන් හෝ තැනැත්තියන් එම තරු පහේ හෝටල්වලදී හෝ ක්‍රීඩාංගණවලදී ඡායාරූප ලබා ගැනීමට දැන් 'ඇදගෙන නා ගැනීමක්‌' යෑයි අපි සිතමු. 

කෙසේ හෝ කුසල් පෙරේරා දැන හෝ නොදැන තහනම් උත්තේජක ගත් බව සැකයකින් තොරව ඔහුගේ "ඒ" සහ "බී" මුත්‍රා සාම්පලවලින් තහවුරු වීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ නව නීති රීති අනූව සිව් වසරක තරග තහනමකට ලක්‌වීමට කුසල්ට අනිවාර්යයෙන් සිදුවේ. ඒ තහනමෙන් මිදීම සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කිරීමට කුසල්ට තවදුරටත් අවස්‌ථාව ඇති අතර ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයටද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මේ වන විටත් දන්වා තිබේ. මේ සඳහා ක්‍රීඩා ඇමැතිවරයා උපරිම උත්සය ගන්නා බව පවසමින් ක්‍රියාත්මක වීමත් සමග තහනම් උත්තේජක චෝදනාව කරළියේ මාර්තෘකාවක්‌ බවට පත්විය. 

ලෝක ක්‍රීඩා නීතිය අනූව මෙසේ තහනම් උත්තේජක ලබා ගැනීම තහවුරු වීමෙන් තරග තහනමකින් මිදුණු කිසිදු ක්‍රීඩකයකු ලොව කොතැනක හෝ නොමැති බව වාර්තා වේ. නමුත් එසේ මිදීමට ඇති අවස්‌ථා කිහිපයක්‌ තිබේ. එහිදී තහනම අවම කර ගැනීමේ අවස්‌ථාව ඕනෑම ක්‍රීඩකයකුට විවෘතය. කුසල්ට කවුරු හෝ තහනම් උත්තේජක සංඝටක ඇතුළත් බෙහෙත් වර්ගයක්‌ වතුරකට හෝ කෑමට දමා දුන්නේ නම් ඒ පිළිබඳව දීර්ඝ පරීක්‍ෂණයකින් වරදකරු සාක්‍ෂි ඇතිව හසුවිය යුතුය. එවිට කුසල්ගේ තහනම අවම මාස හයක්‌ හෝ වසරක්‌ විය හැකිය. නැතිනම් වෛද්‍යවරයකු අත්වැරදීමකින් බෙහෙතක්‌ දුන් බවට පිළිගත යුතුය. 

ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට වේදනා නාශකයක්‌ හෝ සෙම්ප්‍රතිශ්‍යාවකට බෙහත් ගැනීමටද ක්‍රමවේදයක්‌ ඇත. ඒ ක්‍රමවේදය පිළිබඳව ඔවුන් සියයට සියයක්‌ දැනුවත්ය. එසේ දැනුවත්ව ඇති කුසල් කිසිම විටක 'ටැබ්ලට්‌' එකක්‌ නොගෙන ඇති බව ඔහු පුනා පුනා කියන බව දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමැතිතුමා අප සමග පැවසීය. ඒ අනූව කුසල්ට මේ තහනම් උත්තේජකය කවුරු හෝ ලබාදී ඇති බවට සැක කරමින් ක්‍රීඩා ඇමැතිවරයා එෆ්.සී.අයි.ඩී. යට යොමු කර පැමිණිල්ල අනූව මැච් ෆික්‌සින් වැඩේ අතේ පත්තුවන්නට පටන් ගෙන තිබේ.

1983 දී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිල තහනම් දකුණු අප්‍රිකානු සංචාරයකට ගොස්‌ ක්‍රිකට්‌ තරග තහනමකට ලක්‌විය. එදා බන්දුල වර්ණපුරලා රුපියල් පන්සියට ක්‍රිකට්‌ ගැසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේද කොන්ත්‍රාත්තුවක්‌ නැතිවය. නමුත් ඔවුන් කළ වැඩේට එදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නිර්භයව තීරණයක්‌ ගත්තේ ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ වරම් ලැබු වකවානුවකදීය. එබැවින් ක්‍රීඩකයන් රට දිනවන විට හුරේ කියන්නත් පරදින විට එළියට යවන්නත් කෑ මොර දෙන ප්‍රේක්‍ෂකයෝ ඔවුන් වැරදි කර ඇත්තනම් ඒ වෙනුවෙන්ද නොපැකිළිව ඉදිරිපත් වෙති. එබැවින් මේ එළඹ තිබෙන්නෙ ශ්‍රී ලංකාව ජයග්‍රහණ ගොඩට වඩා පරාජ ගොඩ වැඩි කරගන්නා සමයකි. එවැනි කලක වරදක්‌ කර ඇත්නම් බන්දුල වර්ණපුරලාට එදා දුන් දඩුවමට වඩා වැඩි දඩුවමක්‌ අද ක්‍රීඩකයන්ට ලැබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නැමැති ක්‍රීඩාවේ ජනප්‍රියත්වයත් උඩ හදා ගත් කල්ලි වාදයක්‌ද ඇති බව මේ සමග එල්ලවන තවත් චෝදනාවකි. අදාළ කල්ලිවල "ලීඩර්ලා" අනුව ක්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන් ඇතුළටත් එළියටත් විසිවෙති. ඒ සඳහා අවශ්‍ය බලය ඇති පිරිසක්‌ දැන් කොටුවී හමාරය.සත්‍ය වසන් කිරීමට හැක්‌කේ කෙටි කාලයකි. එබැවින් ඒ සත්‍ය හෙළිවනදාට බොරුව රජකෙරුවූ පුද්ගලයන් දංගෙඩියට හසුවන බව අපි දනිමු. 

කෙසේ හෝ හැන්සි කොන්යේ, සලීම් මලීක්‌, මොහොමඩ් අමීර්, අඡේ ජඩේජා, මොහොමඩ් අසරුදීන් සල්මන් බට්‌ වැනි සුපිරි ක්‍රිකට්‌ තරු වැටුණු මැච් ෆික්‌සින් නැමැති බහිරවයාගේ මකර කටට අපේ ක්‍රීඩකයන් ගොදුරු නොවේවා යෑයි අපි ප්‍රාර්ථනා කරමු. 

අසේල විතාන


No comments:

Post a Comment