Sunday, January 31, 2016

කළු සල්ලි සුදු කළ පවුලේ නාලිකාව නොහොත් සී.එස්.එන් කළු සල්ලි මාෆියාව

With Courtesy of CeylonFirst

කියන්නට යන්නේ කළු සල්ලි සුදු කළ පවුලේ නාලිකාව නොහොත් (Calton Sports Network) සී.එස්.එන් [CSN]ගැනය. රාජ්‍ය බලය තිබිය දී රටේ ජනතාවගෙන් වසන් කළ මූල්‍ය අපරාධයක් පිළිබඳවය.
කළු සල්ලි සුදු කළ ව්‍යාපාරයක් පිළිබඳවය. සී.එස්.එන් [CSN] සඳහා මුදල් යෙදවීම සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීම සඳහා මුදල් ලැබුණේ කෙසේද කාගෙන්ද යන ප‍්‍රශ්නයට ලැබෙන්නේ මෙවන් පිළිතුරකි. යෙදවූ මුදල රුපියල් මිලියන 230කි. එම මුදල ලැබුණේ කාගෙන්ද?

සජින් වාස් ගුණවර්ධනට අයත් කොස්මෝස් ටෙක්නොලොජි ආයතනයෙන් රුපියල් මිලියන 50 යි, ඔහුටම අයත් කොස්මෝස් ප‍්‍රින්ටින් ආයතනයෙන් රුපියල් මිලියන 50 යි, පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරාගෙන් මිලියන 52 යි, එල්. ඕ.එල්.සී (LOLC) ආයතනයෙන් ණයක් ලෙස රුපියල් මිලියන 50 යි, චෙස්මි කොන්සොලිසේටස් ආයතනයෙන් මිලියන 25යි.

ආරම්භක අධ්‍යක්‍ෂ මණ්ඩලය සචිත‍්‍ර කවිෂාන් දිසානායක, රබිනාත් ප‍්‍රනාන්දු, සාධ්‍යා කරුණාජීව, රොහාන් වැලිවිට, දිනේෂ් ජයවර්ධන මාස දෙකක කාලයක් අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය කිරීමෙන් පසුව රොහාන් වැලිවිට ඉන් ඉවත් වන අතර ඒ වෙනුවට අධ්‍යක්‍ෂ මණ්ඩලයට දිනේෂ් ජයවර්ධන මහතා ඇතුළත් කෙරිණ.

සචිත‍්‍ර යෝෂිතගේ කළණ මිතුරාගේ අයියාය. රබිනාත් යෝෂිතගේ පන්ති සගයාය (Class mate). සාධ්‍යා කරුණාජීව රාජපක්ෂ පවුලට හිතවත්ව කටයුතු කළ ඩබ්ලිව්. කරුණාජීව හෙවත් මහජන බැංකුවේ හිටපු සභාපතිගේ ලේලිය ය. රොහාන් වැලිවිට ජනාධිපති මාධ්‍ය අංශයේ කටයුතු කළේය. දිනේෂ් ජයවර්ධන මැක්ලර්නස් ආයතනයේ හිමිකරු සහ ප‍්‍රකට කාර් රේස් ව්‍යාපාරිකයාය. සියල්ලෝම රාජපක්ෂ පවුලේ අතිජාත මිත‍්‍රයෝය. ආරම්භක ලිපිනය කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්, අංක 260/12, ටොරිංටන් ඇවනිව්, කොළඹ 05. ‘සිරිලිය සවිය’, ‘තාරුණ්‍යයට හෙටක්යන ව්‍යාපාර ලියාපදිංචි කර තිබුණේ ද මෙම ලිපිනයේ ය.
කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ලිපිනයේ ලියාපදිංචි කර තිබුණේ 2011 වසරේදීය. කාල්ටන් පෙර පාසල් සමූහය, කාල්ටන් ක‍්‍රීඩා සමාජ ඇතුළු කාල්ටන් හෙවත් රාජපක්ෂ සමාගම් සමූහයේ මෙහෙයුම් මධ්‍යස්ථානය ලියාපදිංචි කර තිබුණේ මෙතැනය. ආරම්භක ලිපිනය සහිත ඉඩම කාගේද? මෙම ඉඩම අයිතිව තිබුණේ ප‍්‍රභාත් නානායක්කාර නමැති ව්‍යාපාරිකයාටය. 2002-2003 වසරේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස කටයුතු කරද්දී ඔහු සහ ඔහුගේ පවුලට නවාතැන් ගැනීම සඳහා මෙම ඉඩමේ ගොඩනැගිලි ලබා දී තිබිණි. එහෙත් ඒ සඳහා බදු ගිවිසුමක් හෝ වෙනත් කිසිදු ලියැවිල්ලක් අත්සන් කර තිබුණේ නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් අනතුරුව අදාළ ඉඩම ප‍්‍රභාත් නානායක්කාර නමැත්තාට දිය යුතුව තිබුණත් රාජ්‍ය බලයේ නාමයෙන් එය එසේ කර තිබුණේ නැත. ඒ වෙනුවට රාජපක්ෂ පවුල මෙම ඉඩම මිලදී ගන්නට කටයුතු කළේය.

ඉඩම මිලදී ගත්තේ කවුද? රහස ඇත්තේ එතැනය. ඞී.අයි. අබේවික‍්‍රම නම් ප‍්‍රසිද්ධ නොතාරිස් විසින් සහතික කරන ලද 676 දරන ඔප්පුවට අනුව රුපියල් මිලියන 35කට මෙම ඉඩම මිලදීගෙන ඇත්තේ මේරි ලෝඞ් වික‍්‍රමසිංහ (535233314V) යන තැනැත්තිය විසිනි. මේරි ලෝඞ් වික‍්‍රමසිංහ යනු කවුද?

පාතාලයට, කුඩු ජාවාරම්වලට, සමාජ විරෝධී ක‍්‍රියාවන්ට සම්බන්ධ අපරාධකරුවන්ට විවිධ වර්ගයේ ව්‍යාජ නම් පටබැඳී ඇත. වම්බොට්ටා, මාළු නිහාල්, කළු අජිත්, මොරටු සමන්, මාමිස්මි, චණ්ඩි මල්ලි එවැනි නම් කිහිපයකි. පොලීසිය මොවුන් අධිකරණයට හඳුන්වා දෙන්නේ ඔවුන්ගේ ඇත්ත නමිනි. වෙලේ සුදානොහොත් සමන්ත කුමාර යැයි කියන්නට සිදු වන්නේ මේ නිසාය. සී.එස්.එන්. ඉඩම මිලදී ගැනීමේ දී ද තත්ත්වය මෙයයි. ඉඩම රුපියල් මිලියන 35කට 2013 අපේ‍්‍රල් 05 වන දින මිලදී ගෙන තිබුණේ ශිරන්ති රාජපක්ෂ නොහොත් මේරි ලෝඞ් වික‍්‍රමසිංහ මැතිණිය විසිනි. තවත් සරලව කිවහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ විසිනි. ලිපිනය වෙන තැනක ව්‍යාපාරය තව තැනක සී.එස්.එන්. නාලිකාවේ ලියාපදිංචි ලිපිනය නො. 260/12, ටොරිංටන් ඇවනිව්, කොළඹ 05 යන ලිපිනයේ ලියාපදිංචි කර තිබුණත් එම ආයතනයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන්නේ අංක 236/01, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයේ ය.

මෙම ඉඩම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යාබද ඉඩමය. ඒ ඉඩම කාගේද? අලූත් ලිපිනය කාගේද? 2003 අපේ‍්‍රල් 05 වන දින එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බස්නාහිර ප‍්‍රදේශ සංවර්ධන අමාත්‍ය එම්.එච්. මොහොමඞ් මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපන සංස්කෘතික හා සමාජ සේවා පදනමේ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මෙම ඉඩම ලබා දෙන ලෙසය. එවකට හිටපු අමාත්‍ය එම්.එච්. මොහොමඞ් මහතා 2003 සැප්තැම්බර් 22 වන දින කැබිනට් අංක 19/2003 යටතේ කැබිනට් පත‍්‍රිකාවක් මඟින් ඊට අවසර ඉල්ලා සිටියේය. 2003 දෙසැම්බර් 03 වන දින කැබිනට් පත‍්‍රිකා අංක 10/8/1/602 යටතේ ඊට කැබිනට් අනුමැතිය ලැබෙන්නේය. 1998 අංක 23 දරන රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික සහ සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත ගැසට් නිවේදනයක් මඟින් ද ප‍්‍රසිද්ධ කරන ලදී. කපටි රාජපක්ෂ ඉඩම ලබා ගත්තා මිස කිසිදු සමාජ සේවා කටයුත්තක් මේ ඉඩමේ පවත්වාගෙන ගියේ නැත.

පනත උල්ලංඝනය කළ හැටි
රාජපක්ෂ පදනම සංස්ථාගත කිරීමේ පනතට අනුව අනාථ නිවාස, මහලූ නිවාස පිහිටුවීමට සහ පවත්වාගෙන යෑමට සමාජ සුබසාධන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට මහින්ද රාජපක්ෂ එකඟ වූයේය. අඳ, ගොළු, බිහිරි සහ ආබාධිත තැනැත්තන් සඳහා සුබසාධන පහසුකම් සැලසීමටත් නිවර්තන නිවාස පිහිටුවීමටත් එකඟ වූයේය. එහෙත් ඒ කිසිවක් සිදු වූයේ නැත. අවසානයේ පවුලේ ඥාතීන්ගේ ලැගුම්හලක් බවට එතැන පත් වුණේය. 2011 සිට සී.එස්.එන්. හෙවත් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් නම් ව්‍යාපාරය ඇරඹෙන්නේ අඳ, ගොළු, බිහිරි උන් වෙනුවෙන් සමාජ සුබසාධනය කරනවා යැයි කියන එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලා ගත් මෙම ඉඩමේය.

යෝෂිත මාට්ටු
සී.එස්.එන්. නාලිකාවේ නාලිකා ප‍්‍රධානී ලෙස කටයුතු කළේ යසාරා අබේනායක මෙනවියය. ඇයට එම තනතුර ලැබී තිබුණේ ඇය යෝෂිත රාජපක්ෂගේ විශ්වසනීයම මිතුරිය වීම හේතුවෙන් බව රටට රහසක් නොවේ. තත්ත්වය මෙසේ තිබියදීත් සී.එස්.එන්. නාලිකාවට යෝෂිතගේ සම්බන්ධයක් නොමැති බව එහි පාලනාධිකාරිය ඔප්පු කර පෙන්වීමට මහන්සි ගත්තේය. නමුත් යෝෂිත රාජපක්ෂ විසින් පවත්වාගෙන ගිය www.yosita@csn.lk යන විද්‍යුත් ලිපිනයෙන් ඇත්ත එළියට ආවේය.

රජයේ සේවකයෝත් CSN සේවයට
ප‍්‍රියන්ත අබේරත්න නම් තැනැත්තකු 2009.03.02 වන දින සිට 2013.03.13 දක්වා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයකු ලෙස සේවය කළේය. ඔහු ටෙලිකොම් ආයතනයේ සේවය කළ කාලය තුළ මාසිකව රුපියල් එක්ලක්ෂ තිස්දහසක (130,000) වැටුපක් ලබා ගත්තේය. එම කාලය තුළ ස්ථාන මාරුවක් හෝ වෙනත් ආයතනයකට අනුයුක්ත කිරීමක් ද සිදු වී නැත. එසේ වුව ද 2012.01.09 වන දින සී.එස්.එන් නාලිකාවේ බලපත‍්‍රය සම්බන්ධ ගැටලූවක් නිරාකරණය කරගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසමට යවන ලද ලිපියේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස අත්සන් තබන්නේ ප‍්‍රියන්ත අබේරත්න නමැත්තාය. දේශපාලන බලය යොදවා රාජ්‍ය සේවය අවභාවිතාවට ලක්කර තිබෙන බව දැන් පැහැදිලිය.
ප‍්‍රියන්ත අබේරත්න ඔහු කවුද?

ශිරන්ති රාජපක්ෂ නොහොත් මේරි ලෝඞ් වික‍්‍රමසිංහ ආර්යාවගේ මුහුණේ වත්සුණු තවරා ඇය හැඩ ගන්වනු ලැබුවේ චාන්දනී බණ්ඩාර නම් රූපලාවණ්‍ය ශිල්පිනිය විසිනි. ඇගේ ස්වාමිපුරුෂයා වූයේ ප‍්‍රියන්ත අබේරත්න මහතාය.

කළු සල්ලි මාට්ටු
සී.එස්.එන්. ආයතනයට මුදල් ලැබුණේ කෙසේද යන්නත් ඔවුන් කර ඇති ණය ගනුදෙනු සම්බන්ධවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ උකුසු ඇස යොමු විය. විමර්ශන සම්බන්ධව B/1823/15 යටතේ කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අනුව සී.එස්.එන්. ආරම්භ කිරීම සඳහා පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා මුදල් පරිත්‍යාග කර නැත. නමුදු ඔහු මුදල් පරිත්‍යාග කළ බවට ලේඛනයක් ඉදිරිපත් කර ඇත්තේ යෝෂිත ප‍්‍රමුඛ සී.එස්.එන්. බළඇණිය විසිනි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප‍්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇත්තේ බලහත්කාරයෙන් කිසියම් ලිපියක් සඳහා නිමල් පෙරේරාගේ අත්සන යොදා ගත් බවයි. ඔහු කිසි විටෙක රුපියල් මිලියන 52ක මුදලක් සී.එස්.එන්. ආරම්භ කිරීම සඳහා ලබා දී නොමැති බවය. සජින් වාස්ගේ කළු සල්ලි ගැටය කොස්මෝස් ටෙක්නොලොජි (Cosmos Technology) සහ කොස්මෝස් ප‍්‍රින්ටින් (Cosmos Printing) යන සමාගම් දෙකෙහිම අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කරන්නේ ටියානා දියන්ති ඇන්තනීස් මහත්මිය ය. ඇය සජින් වාස්ගේ බිරිඳය. මෙම සමාගම් දෙකේ උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ සජින් වාස් ගුණවර්ධනය.

සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීමට කොස්මෝස් ටෙක්නොලොජි සහ ප‍්‍රින්ටින් යන සමාගම් දෙකෙන් රුපියල් මිලියන 50 බැගින් මුදල් ලැබුණු බව සී.එස්.එන්. නාලිකාව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශනවල දී සජින් වාස් ගුණවර්ධන පිළිගෙන ඇත්තේ කොස්මෝස් ප‍්‍රින්ටින් යන සමාගමෙන් රුපියල් මිලියන 50ක් සී.එස්.එන්. වෙත ලබා දුන්නත් කොස්මෝස් ටෙක්නොලොජි සමාගමෙන් මුදල් නොගෙවූ බවය. ඒ අනුව රුපියල් මිලියන 50කට වගකිව යුත්තෙක් නැත.

LOLC ණය නොගෙවීම
සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීම සඳහා LOLC සමාගමෙන් රුපියල් මිලියන 50ක මුදලක් ණයට ගෙන තිබිණි. එම ණය නොගෙවා පැහැර හැරීම නිසා ඇපකරයක් මඟින් ණය මුදල කපා ගැනීමට LOLC ආයතනය ක‍්‍රියා කළේය. මෙම ඇපකරය ඉදිරිපත් කර ඇත්තේ සිංගප්පූරු TPL ප‍්‍රයිවට් ලිමිටඞ් නම් සමාගමයි. ඇපකරු වශයෙන් අත්සන් කර ඇත්තේ එහි සාමාන්‍යාධිකාරිවරියක ලෙස කටයුතු කර ඇති ටියානා දියන්ති ඇන්තනීස් නැතහොත් සජින් වාස් ගුණවර්ධනගේ බිරිඳය. සිංගප්පූරු TPL සමාගම ශ‍්‍රී ලංකාවේ කර ඇති එකම කාර්යය මිහින් ලංකා ගුවන් සේවයේ පර්යන්ත මෙහෙයුම (Ground Handing) සඳහා උපකරණ සැපයීමයි. එම කොන්ත‍්‍රාත්තුව ඔවුන්ට ලබා දී ඇත්තේ සජින් වාස් මිහින් ලංකා කළමනාකරණ අධ්‍යක්‍ෂ ධුරය දරන කාලයේය.

සී.එස්.එන්. වෙනුවෙන් ඇපකර තැබීමට TPL සමාගමට නැතහොත් සජින්ගේ බිරිඳට මුදල් ලැබුණේ කෙසේද?
මෙම ගනුදෙනුවට අමතරව සජින්ගේ බිරිඳගේ කොස්මෝස් ප‍්‍රින්ටින් නම් ආයතනය LOLC සමාගමෙන් රුපියල් මිලියන 35ක ණයක් ගත්තේය. එම ණය මුදලට ඇප වී ඇත්තේ ද සිංගප්පූරු TPL සමාගමය. කොස්මෝස් ප‍්‍රින්ටින් ආයතනය ණය නොගෙවීම නිසා ඛධඛක්‍ සමාගම ණය අය කරගත්තේ TPL සමාගමේ ඇපකරයෙනි. නඩුත් හාමුදුරුවන්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය යනුවෙන් ජනවහරේ කියන්නේ මේ වාගේ වැඩවලටය.පොලිස් පරීක්ෂණ අනුව රුපියල් මිලියන 230ක කළු සල්ලි සී.එස්.එන්. කොස්මෝස් LOLC යන සමාගම් අතර හුවමාරු වී තිබෙන්නේය.

මීට අමතරව චෙස්මි කොන්සොලිඬේටඞ් (CHESMI CONSOLIDATED (PVT) Ltd.) පෞද්ගලික සමාගමෙන් රුපියල් මිලියන 25ක් සී.එස්.එන්. වෙත ලැබුණු බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර තිබෙන්නේය. චෙස්මි කොන්සොලිඬේටඞ් ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් දෙදෙනා වන්නේ හිමාල් ලාලින්ද්‍ර හෙට්ටිආරච්චි සහ රංගනී හෙට්ටිආරච්චි යන අය ය. මොවුන් දෙදෙනා මහින්ද රාජපක්ෂගේ අක්කාගේ දරුවන් දෙදෙනාය. ඔවුන්ට අයත් මේ ආයතනය මඟින් 2011 වසරේ නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 15ක් ලබා දීම සම්බන්ධව ත්‍ක්‍ෂෘ ඇස යොමු වුණේය.

චෙස්මි කොන්සොලිඬේට්ස් නම් සමාගම කරන ලද එකම කාර්යය නම් එහි අධ්‍යක්‍ෂවරුන් දෙදෙනා වන හිමාල් ලාලින්ද්‍ර හෙට්ටිආරච්චි සහ රංගනී හෙට්ටිආරච්චි යන දෙදෙනා උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ඩයලොග් නියෝජිතයන් ලෙස කටයුතු කිරීම ම පමණි. එසේ කටයුතු කරද්දී අසීමිත ආදායම් ලැබුවේ කෙසේද යන්න පොලීසිය විමර්ශනය කරමින් සිටින්නේය. ඩයලොග් සමාගම ද රාජපක්ෂ සමාගම්වල දූෂණ හෙළිදරව් වීම වළක්වා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වන බව ද දැනගන්නට ඇත. පිටරටින් විශේෂඥයන් ගෙන්වා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම ලබා දෙන්නට සිදු වී ඇත්තේ මේ ජාතියේ ඉංග‍්‍රීසි හොරකම් පිළිබඳව විමර්ශනය කරන්නටය.

කළු සල්ලි සුදු කරන ජාවාරම ක‍්‍රියාත්මක කෙරී ඇත්තේ ද විශේෂඥ උපදෙස් මතය. තවත් සරලව කිවහොත් රාජපක්ෂවරු විශේෂඥ දැනුමකින් හොරකම් කළේය. සී.එස්.එන්. නාලිකාව ආරම්භ කර ඇත්තේත් පවත්වාගෙන යමින් සිටින්නේත් කළු සල්ලි මතය. සියලූ දහංගැට දැන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සාක්ෂි සහිතව ඔප්පු කරගෙන අවසන්ය. විමර්ශන සිදු කෙරෙන මොහොතේ සී.එස්.එන්. විකුණා දැමීමට රාජපක්ෂවරු උත්සාහ දැරුවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය එය වළක්වාලමින් තහනම් නියෝගයක් ලබාගෙන තිබේ. සී.එස්.එන්. සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන කටයුතු නුදුරේදීම අවසන් කෙරෙනු ඇත. සී.එස්.එන්. කර ඇත්තේ නාලිකාවක් පවත්වාගෙන යන මුවාවෙන් කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යාමය; ආර්ථික ඝාතකයකු නඩත්තු කිරීමය. මේ නිසා ඉතා නුදුරේදීම සී.එස්.එන්. නාලිකාව රාජසන්තක කෙරෙන්නේය. ඉංග‍්‍රීසියෙන් හොරකම් කරන්නේ ජනතාවට නොතේරෙන්නය. රාජ්‍ය බලය තිබිය දී ජනතාවගෙන් වසන් කරන සත්‍යය කවදාක හෝ එළියට එන්නේය. ඉතිහාසය විසින් ඔප්පු කර ඇත්තේ එයයි.

කලින් හිටපු අයටත් දැන් බලයේ සිටින අයටත් මේ පරම සත්‍යයට මුහුණ දෙන්නට සිදු වන්නේය.

ලේ සාගරයක ගිල්වා හෝ සත්‍යය යටපත් කළ නොහැකි බව මැක්සිම් ගෝර්කි අම්මානවකතාවේ අවසන් පරිච්ජේදයේ දී ලියා තැබුවේ මේ නිසාය.

No comments:

Post a Comment