Tuesday, January 26, 2016

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අපි විරුද්ධ නැහැ - සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය


ජේ.ටී. ද සිල්වා

වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම හෙළිකරගෙන වැරැදිකරුවන් වන අයට තරාතිරම නොබලා දඬුවම් පැමිණ විය යුතුව ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පැවැසීය.

මේ ජාවාරමෙන් රටට එන ආදායම නැති වෙනව කියල කවුරුහරි කියනව නම්, මේක නැවැත්වීමට අදාළ නීති රීති පවා සංශෝධනය කළ යුතු බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පෙරේදා (25දා) පැවැති මාධ්‍ය හමුවකදී රත්නප්‍රිය මහතා පැවැසීය. ඉන්දියාවේ ප්‍රාන්ත පොලිසිය වකුගඩු ජාවාරම ගැන අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට යන බවත්, ඒ පිළිබඳ සැක කරන වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට යන බවත් මාධ්‍යවල පළ වී තිබුණු බව සඳහන් කළ සමන් රත්නප්‍රිය මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට වෛද්‍ය සභාවට වගකීමක් තිබෙන බවද පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශය ලවා පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත්, එවැනි පරීක්ෂණයක් පැවැත්වීම වැදගත් වන බවත් හෙතෙම සඳහන් කෙළේය.

මාධ්‍යවේදියෙක් : මාලඹේ සයිටම් ආයතනයට ඔබ සංගමය විරුද්ධද?
සමන් රත්නප්‍රිය : සයිටම් ආයතනයට විරුද්ධ වන්න හේතුවක් නැහැ. හැබැයි එම ආයතනය පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රමිතිය තියෙන්න ඕන. මේ රටේ පෞද්ගලික ආයතන කොයිතරම් තියෙනවද? කළමනාකරණ විෂය සඳහා තියෙනවා. කලා විෂයයන් සඳහා තියෙනවා. ඉතින් පෞද්ගලික වෛද්‍ය ආයතන බිහි වීමේ ඇති වැරැද්දක් නැහැ.

අවුරුද්දකට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාව එක් ලක්ෂ හතළිස් දහසක් පමණ වෙනවා. විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නේ 25,000කට ආසන්න පිරිසක්. මේ සමත්වන සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙන්න ආණ්ඩුවට බැහැ. එහෙනම් ඒ දරුවන් වෙනුවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකළ යුතුයි.
මාධ්‍යවේදියෙක් : අද මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව තැනින් තැන පෙළපාළි යනවා. උද්ඝෝෂණ පවත්වනවා. සත්‍යග්‍රහ සිදු කෙරෙනවා නේද?
සමන් රත්නප්‍රිය : ඔව්. සමහරු කියනවා සයිටම් ආයතනය වහන්න කියලා. ජනසතු කරන්න කියනවා. කරන්න තියෙන්නේ අවශ්‍ය ප්‍රමිතිය ඇති කිරීමයි.

No comments:

Post a Comment