Thursday, January 28, 2016

හරක් ප්‍රේමය පාර කපන්නේ හොර හරක් ජාවාරමටය

හරක් මැරීම මෙරට නොකර, කන්නට ඔනේ නම් පිටරටින් හරක් මස් ගෙන්විත් දිය යුතු බව තමන් මුදල් ඇමැතිවරයාට පැවසූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පවසා තිබිණි. ඒ තෛපොන්ගල් දිනය වෙනුවෙන් පැවති උත්සවයකදීය. එහිදී ජනාධිපතිවරයා මේ කතාව මතක් කර තිබුණේ අය වැය වාර්තාවේදී මේ බව සඳහන් කිරීමට මුදල් ඇමැතිවරයා කටයුතු නොකිරීම නිසා වූ සිත් බිදීමක් නිසා බවද ඇතැම් මාධ්‍යයක වාර්තා වී තිබිණි. අය වැයට හරක් ප්‍රශ්නය ඈඳුනේ නැතිවීම මුදල් ඇමැතිතුමාගේ අඩු පාඩුවකි. අය වැය දේශප්‍රේමී අයවැයක් කර ගැනීමේ අවස්ථාව ඉන් ගිලිහිණි. මේ වෙලාවේ පැවැත්ම වෙනුවෙන් දේශප්‍රේමය වඩා බලවත් බව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දශක හතරකට පමණ වන දේශපාලන අත් දැකීම් වලින් අවබෝධ කරගෙන ඇතුවාට සැක නැත. එය රටට හෙණයක් බව වෙනම කතාවකි.

කොහොම නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව තමන් හරක් මැරීමට එරෙහි වූයේ සත්ව හිංසාව ට අකමැති නිසා බවද සඳහන් විය. එහෙත් ඒ සත්ව අහිංසාව හරකාට පමණක් විශේෂිත වීමේ ගැන ගැටලුවක් පවතී. සත්ව හිංසාවට එරෙහි නම් හරකා මැරීම පමණක් නොව හාල් මැස්සා කූනිස්සා ඇල්ලීමද තහනම් විය යුතුය. එමෙන්ම පෙරහැරේ අලියා ගෙන යාමද තහනම් කළ යුතුය. එයද සත්ව හිංසාවකි. මිනිසුන්ගේ ඇති ගොත්‍රික මිත්‍යා මති මතාන්තර වල පව් ගෙවීමට අලියාට සිදුව තිබෙන බව ජනාධිපතිවරයා තේරුම ගත යුතුය. හින්දු ආගමේ විශේෂ සැලකිල්ල හරකාට පමණි. ඒ අවිහිංසාව නිසා නොවේ. ඒකාව පුජනීය වස්තුවක් කරගෙන තිබෙන බැවිනි.

එළුවා කපා දෙවියට පුජ පූජා පැවැත්වීම හින්දූන්ට පූජනීයය. ඉස්ලාමියයන් ඌරා වඳුරා වැනි සතුන් කිහිප දෙනෙකු මරාගෙන නොකෑවද අනිත් සතුන් මාරගෙන කති. බෞද්ධ දර්ශනයේ එලෙස විශේෂිත සත්ව වර්ගී කරණයක් සැලකීමක් නැති වූවද සියලු සතුන්ගේ ප්‍රාණ ඝාතයට එරෙහිය. ඒත් මාංසජනක ආහාර ගැනීම ගැන විරෝධයක් ඇත්තේද නැත. මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් යැයි එම වාර්ගිකයන් විසින් සලකනු ලැබුවද මෙරට ඉපැරණි සංස්කෘතිය තුල සතුන් මරා ආහාරයට ගැනීම සිදු විනි. කිසිවෙක් ඊට තහංචි පනවා ගත්තේ නැත. ගෙරි මස් කෑවාට කමක් නෑ ඇඟේ එල්ල ගෙන කන්න එපා. යැයි ගැමි වහරක් තිබෙන්නේ ඒ නිසාය. පන්සලේද පිරිත් ගෙදරද පෙරහැරේද හරක් හමට තඩි බා ශබ්ද්ධ රසය දනවන්නේ හරක් මැරීම ගැන මහලොකු විරෝධයක් තිබුනේ නැති නිසාය. තමන් පිලිගන්න බෞද්ධ ආගමික මතය අනුව මස් අනුබවයට රුකුලක් නැති වුනත් තහංචිද නැති බව එකල ගැමියා දැන සිටියහ. කතොලිකයාට සියල්ල දෙවියන් වහන්සේ විසින් මවා ඇති පිලිවෙලට සිදුවේ. ඒ නිසා කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් ඔවුන්ට වගවීමක් නැත.


සිංහල බෞද්ධ නමින් පෙනි සිටින්නට හරකා විශේෂිත සතෙකු වූයේ බෞද්ධ දර්ශනය විකෘති කර ආගමික ව්‍යාපාරයක් බවට පරිවර්තනය කළ ආගමික මුදලාලිලා නිසාය. විශේෂයෙන්ම අනගාරික ධර්මපාලලාට හරක් මස් කෑමට විරුද්ධව ගෙන ගිය ව්‍යාපාරයම බෞද්ධ දර්ශනය එහෙම් පිටින්ම විකෘති කිරීමකි. එය හින්දු ආගමෙන් කොපි කර ගන්නා ලද කොටසක් විනා බෞද්ධ දර්ශනයේ වුවමනාවක් නොවේ. බෞද්ධ දර්ශනය පෙන්වා ‘බුද්ධාගම‘ නැමැති ආගමික මුල්‍ය සමාගමක් බිහිකර ගැනීමේ වුවමනාව හේතු කොට ගෙන අද වර්තමාන සමාජයද මේ ආගමික මූලධර්මවාදයෙන් ඔදල්වූ සමාජයක් බවට පත්ව තිබේ. ජනාධිපතිවරයාගේ හරක් ප්‍රේමය මතුවන්නේද මෙතැනිනි.

ලෝකයේ හරකා මැරීම තහනම් කොට ඇත්තේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තය ඇතුලු තවත් ප්‍රාන්ත කිහිපයක පමණි. ඒ හින්දු ආගමේ බලපෑම මතය. එහෙත් හරකා මැරීම හා අනුබවය තහනම් වූවද ඉන්දියාවේ ‘ මී හරකා‘ ට ගැලවීමක් නැත. හින්දුන්ට පූජනීය එළහරකා පමණි. එමෙන්ම ලොකයේ හරක් මස් නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් පරිමාව අනුව ඉන්දියාව පසුවන්නේ 6 වන ස්ථානයේ ය. එමෙන්ම හරක් මස් නිශ්පාදනය සීග්‍ර වර්ධනයක් අත්පත් කරගෙන තිබෙන ප්‍රමුඛම රටද ඉන්දියාවය. ලෝකයේ වැඩිම හරක් ගහනයක් ඇත්තේ ද ඉන්දියාවේය. ඒ ලංකාවේ ජනගහනය මෙන් තුන් ගුණයකි.

කෙසේ නමුත් ජනාධිපතිවරයා මේ තමන්ගේ හරක් ප්‍රෙමය සම්බන්ධයෙන් මේ ආගමික වුවමනාව සෘජුව ගාවා නොගැනීම එක අතකින් හොඳය. එහෙත් සත්ව අහිංසාව නැමැති සංකල්පය පදනම් කර ගෙන කළ ප්‍රකාශයද අවුල් සහගතය. මෙය අවිහිංසාවාදින්ගේ නිර්මාංශ උගුලට වැටීමක්දැයි සැකයකුත් තිබේ.

එය හින්දුන්ගේ ආගමික වැඩසටහනකදි ප්‍රකාශයට පත් කිරීම තුල ජනාධිපතිවරයාට හින්දුන්ගේ වීරයෙකු විය හැකිය. සමහර විට දේවත්වයටද නැංවිය හැකිය. එය ජනාධිපතිවරයාගේ මුග්ධ උපදේශකයන්ගේ දැනුම් දීම මත සිදු කළා විය හැකිය. මන්ද මේ ප්‍රකාශය තුල ජනාධිපතිවරයාගේ බහුශ්‍රැත බාවය හෝ තමන් මේරට සියලු පුරවැසියන්ගේ ජනාධිපතිවරයාය යන්න පිළිබිඹු නොවන බැවිනි.

ඇතැම් විට ඉදිරියේ දී පැවැත්වෙන ඉස්ලාමීය ආගමික උත්සවයක්දී ඌරන් මැරීම තහනම් කිරීම ගැනද ප්‍රකාශයක් ජනාධිපතිවරයා සිදු කරනු ඇත. වෙසක් දාට සියලු සතුන් මැරීම තහනම් කිරීමටද ඉඩ තිබේ.

මෙම ප්‍රකාශ වලට අවශ්‍ය කරුණු කාරණා ජනාධිපති උපදේශයකන් විසින් සලසා දෙනවාට සැක නැත. මන්ද පසුගිය කාලයේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශ හා කටයුතු රාශියක අවුල් සහගත බව හා සලකා බැලීමේදි මෙයද ඊට සමගාමී කතාවකි.

මීට සති කිහිපයකට පෙර මෙරට දුම්කොළ වගාව තහනම කරන බවට ප්‍රකාශයක්ද ජනාධිපතිවරයා විසින් සිදු කොට තිබිණි. ඊට හේතු වශයෙන් දැක්වූයේ දුම්කොළ යොදාගෙන දුම් වැටි නිපද වන බවත් එය ශරීරයට විශ සහිත නිසා එවැනි වගාවන්ට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයාගේ තර්කය විය. මෙයද ජනාධිපතිවරයා වටා සිටින මැටි මෝල් උපදේශකයන්ගේ උපදෙස් මත සිදු කළ ප්‍රකාශයක් බව පැහැදිලිය.

මෙරට දුම්කොළ වගාව තහනම් කළ යුතුව තිබිණි. ඒ දුම්වැටි නිපදවීමට යොදා ගන්නා නිසා නොවේ. දුම් කොළ වගාව නිසා සිදුවන පරිසර හානියේ නිසාය. වානිජමය වශයෙන් සිදු කෙරෙන දුම් කොළ වගාව නතර කළ යුතු බවට නවසිය අනූව දශයේ මුලදීත් විශාල ඉල්ලීමක් පරිසරවෙදීන් වෙතින් ඉදිරිපත් විය. කඳුකර ඉඩම් සොදා පාලුවට ලක්වීමේ ඊට ප්‍රධාන හේතුව වී තිබිණි. ජනාධිපතිවරයා වෙතින් දුම්කොල වගාව සම්බන්ධයෙන් ඉදිරිපත් වියයුතුව තිබුණේ එම කැරුණු විනා දුම් වැටි ඉරීම ගැන නොවේ. දුම් වැටිය මෙතරම් ගැටලුවක් නම් මෙරට දුම් වැටි තහනම් කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුය. නමුත් ජනාධිපතිවරයා පසුගිය ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියදීම සටන් කළේ දුම්වැටි පැකැට්ටුවට පින්තූර දැමීමේ අරගලයයි. එම පින්තූර නිසා නිසා දුම්වැටි බාවිතය අඩු වී ඇත්දැයි සංඛ්‍යා ලේඛනයක් තවම ඉදිරිපත්වද නැත.

මෙරට දුම්කොළ නිශ්පාදනය තහනම් කළ ද පිටරටින් දුම්කොළ හෝ දුම් වැටි ගෙන්වීම ඊට වඩා ලාබදායක ලෙස එම සමාගම් වලට සිදුකිරීමේ හැකියාව තිබෙන බව ජනාධිපතිවරයා නොදන්නවාද මේ ජනාධිපතිවරයාගේ උපදේශකයන් නොදන්නවාද අපි නොදනිමු. අදටත් දුම්කොළ හෝ දුම් වැටි විදේශයන්ගෙන් ගෙන්වයි. කොටින්ම සිගරැට්ටුවට වඩා හානිදායක යැයි කියන ‘බීඩී‘ ඒතීම සඳහා ගන්නා ‘තෙන්දු‘ කොළ ගෙන්වන්නේ ඉන්දියාවෙනි. ඒවා ලංකාවේ වවන්නේ නැත. ලංකාවේදී නම් අපි ‘කුඩුම්බේරිය‘ කොළ හෝ විවිධ ආදේශ ඇතත් ඔරිජිනල් බීඩිය, තෙන්දු කොළේ ඔතපු එකය. තවමත් ගමේ මිනිහාගේ හෝ අවම වැටුපක් ලබන නාගරිකයාගේ බීම, බීඩීය වේ. ඒ තහනම් කරද නැත.

ඒ කෙසේ නමුත් යම් කිසි ලෙසකින් හෝ හරක් මැරීම මෙරට තහනමට ලක් වුව ද ජනපතිගේ කැමැත්ත අනුව ඒ විදෙශයන්ගෙන් ගෙන්වීමේ හැකියාව තිබේ. අදටත් ඉතා ඉහල මට්ටමේ හරක් මස් විදේශයන්ගෙන් ගෙන්වනු ලැබේ. මන්ද ලංකාවේ හරක් මස් වල ඇති තද ගතිය නිසා ඒවා සැලකෙන්නේ බාල වර්ගයේ හරක් මස් ලෙසය. 

මේ නිසා තරු හතරේ පහේ හෝටල් වලට විදේශයන්ගෙන් හරක් මස් ගෙන්වන්නේය. ඒවා ඉස්තරම් හරක් මස් මෙන්ම මිලෙනුත් ඉස්තරම්ය. ග්‍රෑම් 500 ක මස් කුට්ටියක් අමරිකානු ඩොලර් 300 ක් වත් ඉක්මවයි එනම් රුපියල් 4500 කට ආසන්න ගනනකි. ඒ පෝශ්‍ය දායක හා රසවත් ආහාර ගැනීමේ හැකියාව ඇත්තේ ඉහළම ධන්වතුන්ට පමණි.

විශේෂයෙන්ම ඔස්ට්‍රලියාවෙන් ගෙන්වනු ලබන හරක් මස් ඉතා මෘදුය. ඒ ඉතා ඉහළ ප්‍රමිතියේ හරක් මස් ලෙස සැලකේ. මෙරට හරක් මැරීම තහනම් වීම තුල ඔස්ට්‍රේලියාවේ ඉහළ ප්‍රමිතියේ හරක් මස් කෑමේ හැකියාව වැඩි වශයෙන් ලැබෙනු ඇත. එක අතකින් ඒකත් හොඳය. ඊට ඇති බදු අයකිරීම ආදිය අඩුකර මෙරට පාරිබෝගිකයන්ගේ ශරීර සෞඛ්‍ය උදෙසා ඒ පහසුවෙන් ලබා දීමේ වගකීම රජය සතු කාරියකි.

එමෙන්ම මෙරට හරක් මස තනමින් විය හැකි එකම දේ මෙරට හරකා, දඩ මස් වී හෝටල් වලට එන එකය. එය වැලැක්වීමද රජයට කරන්න සිදුවනු ඇත. මෙරට හරක් මස් සදහා ඇති ඉල්ලුම අනුව ඔස්ට්‍රේලියාවෙන් ගෙනෙන මිලෙන් අධික හරක් මස් ප්‍රමාණවත් වන්නේ නැත. ඒ මිළෙනුත් අධික නිසා හොර හරක් මැරීමේ ජාවාරම තවත් ජයට සිදුවනු ඇත. ඒ ගැනද ජනාධිපති උපදේශකයන් කල්පනා කර බැලීම වටී.

No comments:

Post a Comment