Wednesday, January 27, 2016

ඥානසාර හිමි ගැන අස්ගිරි මහනාහිමිගෙන් ප්‍රකාශයක්

හේරත් ඒකනායක/කමල් සුරවීර

ව්‍යසනකාරී සෑම අවස්ථාවකදීම රට, ජාතිය බේරා ගැනීම සඳහා මහා සංඝරත්නය ජීවිත පරිත්‍යාගයෙන් හා පෙරමුණ ගෙන ක‍්‍රියා කළ බව අස්ගිරි මහානායක අති පූජ්‍ය ගලගම ශ‍්‍රී අත්තදස්සී හිමියන් පවසනවා.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද බොහෝවිට කටයුතු කළේ අක‍්‍රමිකතා හා දූෂණවලට එරෙහිව බවයි උන්වහන්සේ කියා සිටියේ. 

තැනැත්තන්ට ආගම ඇදහීමට සහ නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු බවද එහෙත් ඇතැම් තැනැත්තන් විවිධ බලපෑම් කර බෞද්ධයන් වෙනත් ආගම්වලට හරවා ගැනීම රටපුරා තවමත් සිදුවන බවද මෙහිදී සිහිපත් කෙරුණා.

ගව ඝාතනය හා කැලෑ එලිපෙහෙලි කර ගම්මාන තැනීමද වලක්වාලිය යුතු බවයි අස්ගිරි මහානාහිමියන් අවධාරණය කළේ. උන්වහන්සේ මෙම කරුණු දැක්වූයේ ජාතික එක්බද්ධතා සහ ප‍්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා අද (27) පෙරවරුවේ තමන්වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීයි. 

අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මල්වතු මහානායක අති පූූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල හිමියන්ද බැහැ දුටුවා. මල්වතු මහානාහිමියන් එහිදී කියා සිටියේ සුළු සිද්ධින් වාර්තා වුවද මේ වන විට රටේ සමගියක් පවතින බවයි.  ඕනෑම රටක අන්තවාදී කණ්ඩායම් සිටිය හැකි බවද ඔවුන් පරාජය කර සමගිය ඇති කිරීමෙන් රට සංවර්ධනය කළ හැකි බවද උන්වහන්සේ කියා සිටියා. 

මේ අතර අස්ගිරි හා මල්වතු මහානාහිමියන් බැහැ දැකීමෙන් පසු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූවා. ඔහු පැවසුවේ බොදු බලසේනා සංවිධානයට සහය දෙන පාර්ශව මහ ජනතාවෙන් ප‍්‍රතිික්ෂේප වන බවයි. 
 

මෑතදී වැඩි වශයෙන් කථාබහට ලක්වූ ‘‘ සිංහලේ ’’ සංකල්පය පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා.  දේශපාලන වාසි ලබාගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා බිල්ලක් කර ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවද අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා කියා සිටියා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බෙදී වෙනම පක්ෂයක් සාදා ගත්තත් එවැනි පක්ෂයකට මහජනතාව ඡන්දය ලබානොදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. 

No comments:

Post a Comment