Monday, April 13, 2015

ජනපති ආරක්ෂාවට තර්ජනයක් වූ රේසින් කාරයේ සැකකරුවන් නිදැල්ලේ: නීතිපති දෙපාර්තමේන්තුවත් සීසීඩීයත් නිදිවදිති ෴ ජනතා සාක්කිය

(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.13, ප.ව.4.10)  පසුගිය ජනවාරි මස 14 දා කැස්බෑවේ නිවන්තිඩිය ප්‍රදේශයේ හමුදාවට යකඩ සපයන කොන්ත්‍රාත්කරුවෙකුගේ නිවසේ තිබී පොලිසිය විසින් අල්ලා ගත් මැදමූලන පොඩි එකාගේ රේසින් කාරය ගැන සිද්ධිය පාඨකයාට මතක ඇතැයි සිතමු.
එම රේසින් කාරය මැදමූලන පොඩි එකා හුරතලයට පරිහරණය කරන ලද්දක් බවත් ඊට මාස කිහිපයකට පෙර බොරැල්ල කනත්ත වටරවුෙම් සිදු වූ අනතුරටද මෙම වාහනය සම්බන්ධ බවත් පසුව තොරතුරු හෙළි වීය. එම අනතුර පිළිබඳව අනුර සේනානායක නමැති කුප්‍රකට පොලිස් නිලධාරියා හොඳින් දන්නා නිසාම අනතුරින් පසු පොඩි එකාගේ රේසින් කාරය එම ස්ථානයෙන් අතුරුදහන් වූ බව බොරැල්ල කනත්තේ සිටින මළගිය ඇත්තෝ පවා දනිති. 
අප මේ සටහන ලියන්නේ පොඩි එකාගේ රේසින් කාරයේ ඇති වෙනත් බරපතල කාරණයක් හෙළි කිරීමට ය. මෙහි එල්ලා තිබූ අංක තහඩු දෙකෙහි සඳහන්ව තිබූ   KE - 1391 දරණ ලියාපදිංචි අංකය ව්‍යාජ එකකි. එය වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පරිහරණය කරන ඛෙන්ස් රථයක අංකයකි. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ද මෙම අංකය වත්මන් ජනාධිපතිවරයා පරිහරණය කරන වාහනයක අංකයක් බව තහවුරු කර ඇත. 
නිසාන් GTR වර්ගයේ මෙම රේසින් කාරය බදු රහිතව ඇ.ඩො. 1,65,000 ක් වන අතර ලංකාවේ බදු සහිත මිල රු ලක්ෂ 600 ඉක්මවනු ඇත. එසේ නමුත් පොඩි එකාගේ හොර අංක ගැසූ මේ රේසින් කාරය දැන් කැස්බෑව අධිකරණ භූමියේ වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් තිබෙන බව කාටත් දැක ගත හැකිය. අධිකරණය මේ ගැන නිද්‍රාශීලී නීතිපති දෙපාර්තමේන්තුවෙන් වැඩිදුර නීතිපති උපදෙස් පතා ඇතත් දැන් මාස 4 ක් තිස්සේ කිසිදු උපදෙසක් ලැබී නැත.
ජනාධිපතිවරයාගේ රථයක අංකයක් හොරට ගසා තිබියදී හසුවූ පොඩි එකාගේ රේසින් කාරයට දැන් අයිතිකරුවෙක්ද ඉදිරිපත් වී තිබේ. ඔහු ලංකාවේ ප්‍රසිද්ධ මෝටර් රථ කොටස් ආනයනකරුවකු වේ. එමෙන්ම ලංකාවේ මෝටර් රථ දෙපාර්තමේන්තුවට අංක තහඩු සපයන්නේ ඇක්සස් සමාගම විසිනි. ඔවුන්ගේ සහායකින් තොරව ව්‍යාජ අංක තහඩුවක් තිබිය නොහැක. මන්ද යත් මෙම අංක තහඩුව නිකම්ම නිකම් එකක් නොව අංකයේ සමානතාවය මෙන්ම සියයට සියයකින්ම ඇක්සස් සමාගම නිකුත් කරන අංක තහඩුවකට සමානය. එමෙන්ම අංක තහඩු ලබා දෙන්නේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ය. 
රටේ ජනාධිපතිගේ වාහනයක අංකයක් මැදමූලන පොඩි එකාගේ රේසින් රථයට ගියේ කෙසේද ?  එය ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් නොවේද? මැදමූලන මහ එවුන් විසින් තම පොඩි එකාට රථයක් පරිත්‍යාග කළත් අංක තහඩුවක් පරිත්‍යාග කිරීම නීති විරෝධීය. දරු සෙනෙහස කොතෙක් උතුරා ගියද මවගේ හෝ පියාගේ රථයක අංක තහඩුවක් දරුවෙකුට පරිත්‍යාග කළ නොහැකිය.
මේ සෙල්ලම සම්බන්ධයෙන් කිසිවෙක් මෙතෙක් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් හෝ ඊට අංක තහඩු සපයන ඇක්සස් සමාගමෙන් හෝ ප්‍රශ්න කර නැත. එපමණක් නොව දැන් අයිතිකරුවා යයි ඉදිරිපත් වී ඇති වාහන අමතර කොටස් ආනයන කරුවාගෙන්ද මේ ගැන ප්‍රශ්න කර නැත. 
නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට සහ අධිකරණයට උපදෙස් දී නැත. මෙයින් හෙළිවන්නේ නීතිපති දෙපාර්තමේන්තුව පමණක් නොව කොළඹ අපරාධ කොට්ඨාශයද තවමත් රාජපක්ෂ වරුන්ගේ පුද්ගලික සමාගමක් බව නොවේද.?
නිරෝෂන් පාදුක්ක විසිනි

No comments:

Post a Comment