Saturday, April 25, 2015

බැසිල්ව රිමාන්ඩ් කළ හේතු මෙන්න..! ඉහෙන් බහින රෝගයක් නොතිබූ මෙවන් හොරුන්ට ගෙවන වාට්ටු වල සුර සැප විඳීමට ඉඩ නොදෙමු

(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.23, ප.ව.9.45) පොදු දේපල අයථා ලෙස පරිහරණය කිරීම නිසාවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ් කර තිබේ.   දිවි නැගුම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව එය සිදුව ඇත. 2014 ජනවාරි තුන් වෙනි දින ස්ථාපනය කරන ලද දිවි නැගුම දෙපාර්තමේන්තුව රජයට අයත් ආයතනයක් බැවින්,   ඊට අයත් සියළු දේපල ආණ්ඩුවේ නොඑසේ නම් පොදු දේපල ගනයට වැටේ.  එම, ආයතනය සමන්විත වූයේ සමෘද්ධි අධිකාරිය, උඩරට සංවර්ධන අධිකාරිය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය, සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව යන ආයතනවල එකතුවෙනි.   පොදුවේ ගත් විට පහලොස් ලක්ෂයකට අධික පිරිසක් ඒ යටතේ ආවරණය වුණි.  
“දිවි නැගුම” යටතට ඇතුලත් පුද්ගලයන්ගේ ආදායම් එකතු කිරීමට හා වියදම් බෙදා හැරීම වෙනුවෙන් දිවි නැගුම අරමුදල නම් වෙනම අරමුදලක් විය.   එය දිවිනැගුම දෙපාර්තමේන්තුව ගොඩ නැගීමට ගෙන ආ පනතෙන් බලය ලබා දුන් විශේෂ අරමුදලක් විය.
දිවි නැගුම අරමුදලට මුදල් ලැබූ ප්‍රධාන මූලාශ්‍රයක් වූයේ  ඊට අයත් රට වටා පිහිටවා තිබූ ක්ෂුද්‍ර මූල්‍ය බැංකුය. පසුගිය වසරේ ජූලි මාසය වන විට  එබඳු බැංකු 1073 ක් රට වටා පිහිටුවා තිබුණි.  දිවි නැගුමේ සාමාජිකයන් තැන්පත් කරන මුදල්වලින් ඒ බැංකු පෝෂණය වූ අතර,  අපේක්ෂා කළ යුතු ආකාරයට ම ඉන් ප්‍රතිලාභ හිමි විය යුතු ව තිබුණේ එහි තැන්පත් කරුවන්ට පමණි.   දිවිනැගුම අරමුදලෙන් පරිබාහිරව එම මුදල් වියදම් කිරීමේ හැකියාවක් කිසිසේත්ම නොවූ මුත්, පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධන කිරීම වෙනුවෙන් නිර්ලජ්ජිත ආකාරයට එම මුදල් බලධාරීන් නිර්ලෝභීව වියදම් කළේය.   දිවිනැගුම භාර අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊට අවැසි නියෝගය ලබා දෙත් දී අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක හා දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ රණවක හිස වනමින් එය පිළිගන්නා ලදී.   තම අමාත්‍යංශයට අදාළ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමේ දී අදාළ අමාත්‍යවරයාට මග පෙන්වීමේ යුතුකමත් රාජ්‍ය නිලධාරින්ට ඇතිමුත් මේ ඉහළ නිලධාරීන් දෙදෙනා ඒ වෙනුවට කළේ ඉහළින් තමන්ට ලැබුණු උපදෙස් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව දේවභාෂිතයක් ලෙස පිලිගැනීමය.
   
ඒ අනුව මහින්ද රාජපක්ෂ අපේක්ෂකයාගේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දිවි නැගුම අරමුදලට අයත් මුදල්වලින් නිවාස ණය ආධාර ලබා දීමට  හා හිටපු ජනාධිපතිවරයාගේ රුව රැගත් ලිත් මුද්‍රණය කිරීමට  ඔවුන් කටයුතු කළේය. දිවි නැගුම යටතේ ආවරණය වූ මුළු සාමාජික සංඛ්‍යාව ලක්ෂ පහළොවක් පමණ වුවත්,  ඔවුන් ලිත් ලක්ෂ පනහක් පමණ පසුගිය ජනාධිපතිවරණ  සමයේ මුද්‍රණය කිරීමට කටයුතු කරන ලදී.   රටේ සාතිශය බහුතරයක් වන ගම්බද අසරණ ජනතාව තම අනාගත සුභසාධනය ගැන සිතමින් ගම්වල පිහිටි ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල තැන්පත් කළ මුදල් හිටපු පාලකයන් කොල්ල කෑවේ ඒ ආකාරයට ය.  ඉන් නොනැවතී ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය සදහා යැයි කියමින් ඔවුන් රුපියල් බිලියන 2.1 ක මුදලක් ද දිවි නැගුම අරමුදලින් අත දිග හැර ලෝස් නැතුව වියදම් කර ඇත. එවැන්නකට කිසිදු හැකියාවක් නොමැති අතර,  ඒ සදහා ඔවුන් මුදල් ලබාගත යුතුව තිබුණේ මහා භාණ්ඩාගාරය හරහා ය.  මේ ආකාරයෙන් බරපතල විෂමතා රැසක් බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යධූරයේ සිටිය දී සිදු ව තිබේ. දැන් ඒවා එකින් එක ඉදිරියට ඇදෙමින් තිබේ.  මේ මහජන ප්‍රදර්ශනයට විවර වී ඇත්තේ ඉන් පළමු දර්ශනය ය. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට මහජන මුදල් මිලියන හයදාහකට ආසන්න ප්‍රමාණයක් වංචා කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයෙකු හා ආයතනික ප්‍රධානියකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.  එය දූෂණ වංචාවල යෙදීමට බලාපොරොත්තුවන්නන්ට හා පසුගිය කාලයේ එසේ  කළ පුද්ගලයන්ට කරන ලද බරපතල අනතුරු ඇගවීමක් බව තේරුම් ගැනීම අතිශයින්ම වැදගත්ය.  
මේවා ඊයේ(22) පොලිස් විශේෂ මූල්‍ය වංචා ඒකකයේදී දිග හැරෙද්දී බැසිල් රාජපක්ෂ කියා සිටියේ තමන් බෞද්ධයෙක් නිසා හොරකම් නොකරන බවයි. හොරු බේරෙන්නට අවසානයේ දඩ මීමා කර ගන්නේ ආගමය. අත් අඩංගුවට ගැනීමේදී තමන් හිටපු ජනාධිපති ගේ සොයුරා බවත් දැනටමත් මන්ත්‍රීවරයෙකුත් බව කියා අත් අඩංගුවට ගත නොහැකි යයි පැවසීය. ඊයේ මේ සොරකම් දිග හැරී අත් අඩංගුවට ගන්නා බව කීමෙන් පසු අමාත්‍යාංශ ලේකම් නිහාල් ජයතිලක නමැත්තාට පොලිසියේදී පස් වතාවක් බඩ ගියේ ය. කරන කලට පව් මීරිය මීසේ - විඳින කලට දුක් දැඩි වෙයි බෝ සේ යනුවෙන් පැරැන්නෝ කීවේ නිහාල් ජයතිලක වැන්නවුන්ට ය.  දැන් ඔවුහු රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ව්‍යාජ වෛද්‍ය වාර්තා මවා මහ රෝහලේ ගෙවන වාට්ටු වලට වී සුවසේ සිටිති. ඉහෙන් බහින රෝගයන් නොමැතිව ඊට කලින් දිනයේ ගුවන් යානයෙන් බැස පෙලපාලි ගිය බැසිල්ට පසුදා අසාධ්‍ය රෝග සැදුනේ කෙසේද? ජනතාව මේ වංචාවටද ඉඩ නොතබා ක්‍රියා කළ යුතුය. සිරගත කළවුන් හිරේ සිටිය යුතුය. රෝහල් වල සිටිය යුත්තේ රෝගීන්ය. ඔබ සිටිය යුත්තේ මේවාට එරෙහි සටනේ ය.

No comments:

Post a Comment