Monday, April 27, 2015

නේපාලයේ සිරවී සිටින ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් පිරිසකට මව්රට ඒමට බාධා

(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.26, ප.ව. 7.10) රාජපක්ෂ භීෂන සමයෙහි ඇතිවූ යම් යම් තර්ජන හේතුවෙන්  නේපාලයට පලාගොස් එහිදී එක්සත් ජාතීන්ගේ සරනාගත කොමිසමේ රැකවරන ලැබූ  ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් පිරිසක් එරට ඇතිවූ දරුණු භූමි කම්පාවෙන් අනතුරට ලක්ව සිටිය දී ඔවුන් යළි මව් රට එවීමට තමන් උපරිම උත්සාහ ගන්නා නමුත් නේපාලයේ ආගමන- විගමන අංශ අවසර නොදුන් බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
නේපාලයට හදිසි ආධාර රැගෙන පැමිණි ගුවන් යානයක් අද සවස යළි ශ්‍රී ලංකාව බලා පිටත්ව ගිය අතර එයට ගොඩ වීමට අවසර පැතූ මෙම මාධ්‍යවේදීන් වන ජයම්පති බුලත්සිංහල, කුමුදුනී විජේවර්ධන සහ ශාන්ත විජේසුරිය මෙසේ සිය රට යෑමට අවසර නොලද  ශ්‍රී ලාංකික පිරිස අතර වේ.
මෙම පිරිස ගුවන් තොටුපළෙහි සිරවී සිටින බවත් ඔවුන්ගේ නවාතැන් පවා අහෝසිවී ගොස් ඇති බවත් වාර්තා වේ.
රාජපක්ෂ භිෂණ සමයෙහි රට හැර ගිය ජනමාධ්‍යවේදීනට යළි පැමිණෙන ලෙස වත්මන් ආණ්ඩුව යලි යලි අරාධනා කර ඇතත් අනතුරුදායක තත්වයකට පවා පත්ව සිටින මෙම ජනමාධ්‍යවේදීන් ආපසු සිය රට ඒම ප්‍රමාණවත් පියවර ගැනීමට අදාළ අංශ ප්‍රමාණවත් උනන්දුවක් දක්වා නැතිවීම කණගාටුවට කරුණකැයි කොළඹ ජනමාධ්‍යවේදිහු ගණනාවක් ලංකා ඊ නිව්ස් අමතා ප්‍රකාශ කළහ‍.
ලංකා ඊ නිව්ස් කොළඹ ආරංචි මාර්ග දක්වන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුනාරත්න පරණවිතාන මේ සම්බන්ධයෙන් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වන බවට අද උදෑසන පොරොන්දු වූ බවයි. එමෙන්ම කොළඹ විදේශ අමාත්‍යශයද මේ සම්බන්ධයෙන් නේපාලයේ ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බවයි.
නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ තමන් එම පිරිස ගුවන් තොටුපළෙහි ආරක්ෂක අංශ පසු කර රැගෙන ගිය නමුත් නේපාල ආගමන - විගමන අංශයේදී  වලංගු ගුවන් බලපත් නොතිබීම සහ වීසා දඩ මුදල් නොගෙවීම උඩ එම තිදෙනාට ගුවන් තොටුපළට ඇතුලු වීමට අවසර නොදුන් බවයි
ලංකා ඊ නිව්ස් ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියකුගෙන් මේ පිළබඳව විමසනු ලදුව කියා සිටියේ තමන් මෙකී ජනමාධ්‍යවේදීන් සිය රට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දිගටම උත්සාහ ගනිමින් සිටින බවයි.
ගුවන් තොටුපළෙහි සිරවී සිටින ජනමාධ්‍යවේදීන් ඇමැතීමට ලංකා ඊ නිව්ස් ගත් උත්සාහයන් සාර්ථක නොවීය. දැන ගන්නට ඇති අන්දමට ඉක්මන් විසඳුමක් නොලැබුණ හොත් ඔවුන් මහත් අපහසුතාවයන්ට පත්වීමට ඉඩ තිබේ

No comments:

Post a Comment