Wednesday, April 15, 2015

බලංගොඩ ගිනි තියන්න කූරගලින් ගිනි සෙවීම

කේ. සංජීව
පසුගිය 4 වැනිදා සිංහල රාවය නම් ජාතිවාදී ආගම්වාදී භික්ෂු සංවිධානය කුරගල වැඩියහ. එකකු බුදු පිළිමයක් හිස දරාගෙන පෙරටුවේ ගමන් කළ අතර ඒ ගමනට එකතු වූ බොහෝ දෙදෙනකුගේ අදහස වූයේ කූරගල කන්ද මත පිහිටි මුස්ලිම් පල්ලිය කඩා බිඳ දැමීමය. ඒ කූරගල බෞද්ධ පුදබිම මරක්කලයන්ගෙන් ආරක්ෂා කර ගැනීමටය. ඔවුන්ගේ අදහස එය ලෙස ඔවුන් ප‍්‍රකාශ කළත් ඇති වී තිබෙන තත්ත්වය විග‍්‍රහ කිරීමේදී පෙනී යන්නේ මෙහි අරමුණ ජාතිවාදී ආගම්වාදී අලූත්ගම පන්නයේ ආරවුලක් බලංගොඩ ඇති කිරීම බවය. ඒ සඳහා මේ ජාතිවාදී මූලධර්මවාදී සිංහල බෞද්ධ සංවිධාන කැපවෙන්නේ දැනට පස් හය අවුරුද්දකට කලින් සිටය. මෙවැනි ආකාරයෙන්ම ඔවුන් විටින් විට කූරගල වැඩියහ. දාන ව්‍යාපාර, ශීල ව්‍යාපාර, දහම් දෙසුම් සංවිධානය කළෝය. විජේරත්න බණ්ඩාර මහතාගේ හඬ මෙලෙස කීවේය. 
‘මහත්තයෝ ඔය කුරගල පල්ලිය අද ඊයෙක හැදිච්ච පල්ලියක් නෙවෙයි. ඔතන අපේ පැරණි පන්සලක් තියෙනවා, ඇත්ත. ඒත් මේ ප‍්‍රශ්න මෙහෙම විසඳගන්න බැහැ. බලංගොඩ සිංහල මුස්ලිම් මිනිස්සු අපි දැන් අතීතයේ ඉඳලා සමඟියෙන් ඉන්නවා. මේ ප‍්‍රශ්න සේරම හදන්නේ බලංගොඩට පිටින් එන මේ සුළු පිරිස. තත්ත්වය තවත් ගැඹුරට සොයා බැලීමේදී විජේරත්නගේ අදහස සත්‍යයක්ය. කාලයක් තිස්සේ මාවනැල්ල දෙවනගල පුදබිම ආශ‍්‍රිතව ද ඇති කර තිබෙන තත්ත්වය මෙපරිදිමය. මෙම මූලධර්මවාදී කණ්ඩායම් මෙවැනි ප‍්‍රදේශවලට ගොස් එහි ජනයා ඒකරාශී කරමින් ජාතිවාදී ගිනිදැල් ඇවිලීමට කැපවන ස්වරූපයක් දක්නට ඇත. මෙම ගැටලූ දෙකෙහිම ඒ වටා රොක්වී සිටින මිනිසුන්ගෙන් ඉතාමත් සුළුතරයක් අදාළ ප‍්‍රදේශයේ ජනතාව වන අතර සාතිශ්‍ය බහුතරය පිටතින් එන මිනිසුන්ය. ඔවුන්ට මෙහි වෙසෙන වුන්ගේ සමාජ තත්ත්වය සහ සමාජ වටපිටාව පිළිබඳ හැඟීමක් නැත. ඔවුන්ට ඇත්තේ එක අරමුණකි. ඒ ගිනි තැබීමය. විනාශ කිරීමය.
කූරගල
කූරගල යනු කුහරගල යන වදනින් බිඳී ආ වදනකි. මෙය සුවිශාල ගල් පර්වතයකි. කන්දකි. පිහිටි බිම වනුයේ බලංගොඩ ය. තන්ජතැන්න ග‍්‍රාමසේවා වසමට අයත් මේ භූමිය ඓතිහාසික බෙල්ලන් බැඳි පැලැස්සට ළඟය. මෙම සුවිශාල ගල් පර්වතයේ නැගෙනහිර බෑවුමේ පිහිටා තිබෙන සුවිශාල කුහරය ලෙන් විශාල සංඛ්‍යාවක් බිහිකර ඇත. එම ලෙන් තුළ අතීතයේ භික්ෂූන් වහන්සේලා භාවනානු යෝගීව වැඩ සිටි බව කියති. ක‍්‍රි. පූර්ව දෙවන සියවසට අයත් සෙල්ලිපි මෙම ස්ථානයෙන් හමුවී ඇත. ඓතිහාසික නටබුන් ඇත. මෙම ස්ථානය සංරක්ෂණය කළ යුතු පුරාවිද්‍යා භූමියක් බව මෙහි යන ඕනෑම අයෙකුට පැහැදිලි වනු නියතය. ඒ නිසාම මෙම ස්ථානය පුරා විද්‍යා රක්ෂිතයක් බවට පත් වන්නේ 1971 තරම් ඈතකදීය. දැනට ද මෙහි පුරාවිද්‍යා කැනීම් සිදුවෙමින් තිබේ. මෙවැනි පසුබිමක සිංහල බෞද්ධ සංවිධාන මෙම ස්ථානය ආශ‍්‍රිතව ගැටුමක් නිර්මාණය කර තිබෙනුයේ මන්ද? ඒ මෙම බෞද්ධ පූජනීය ස්ථානයට යාබදව පිහිටා තිබෙන ඉස්ලාම් ආගමික පල්ලිය නිසාය. බෞද්ධ සිද්ධස්ථානයට තරම් දිගු ඉතිහාසයක් මෙම පල්ලියට නැති මුත් එයට ද පවතින්නේ නොසලකා හැරිය නොහැකි ඉතිහාසයකි.
මුස්ලිම් ඉතිහාසය
වර්ෂ 1700 ඉදලා විතර මෙතන මේ පල්ලිය තියෙනවා මහත්තයෝ. මෙතන ඉන්නේ මුස්ලිම් ආගමේ සුපී කියන නිකායට අයත් කට්ටිය. එයාලත් බෞද්ධ භික්ෂූන් වගේ භාවනා කරන නිදහස ගරුකරන සාමාන්‍ය මුස්ලිම්ස්ලට වඩා ටිකක් වෙනස්. මේ තැන අපිට ස්ථීරව ගොඩනගලා දුන්නේ බලංගොඩ මන්ත‍්‍රී වෙලා හිටිය අබුසාලි මහත්තයා. මේ පල්ලියට එන කවුරුවත් පන්සලට හානි කරලා නැහැ. මේ හඬ බලංගොඩ අබ්දුල් මජීඞ්ගේය. ආචාර්ය ලෝනා දේවරාජා මහත්මියගේ ‘‘ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරු’’ යන කෘතියේ සඳහන් පරිදි ලාංකේය මුස්ලිම්වරුන්ගේ ඉතිහාස කතාව අවුරුදු දහස් ගණනක් පැරණිය. ලංකාවේ සිටින සුළුතරයක් වූ සුපී භක්තිකයන්ගේ පුරාණය ද එතරම්ම පැරණි බව කිව හැකිය. අතීතයේදී මැණික් ගැරීම සඳහා අරාබියෙන් ආ මුස්ලිම්වරුන්ගෙන් යම් ප‍්‍රමාණයක් බලංගොඩ වැනි කඳුකර ප‍්‍රදේශවලට සංක‍්‍රමණය වී භාවනා කරමින් ගල්ලෙන් තුළ විසූ බවට සඳහන්ය. කූරගල ඉතිහාසය තුළද මුස්ලිම් ජනයා ලන්දේසි අවදියේදී ගල්ලෙන් තුළ විසූ බවට සාක්ෂි ඇත. එලෙස මුස්ලිම් ජනයා ජීවත් වූ ගල්ලෙන් ස්ථාන අතරින් කූරගලත් ප‍්‍රධානය. මුස්ලිම් ආගමේ අනෙකුත් කණ්ඩායම් හා සැසඳීමේදී සුපී නිකායික මේ පිරිස ප‍්‍රගතිශීලී මත පුරන්නන් බවට ප‍්‍රකටය. මෙනිසාම ඔවුන්ට අද තලෙයිබාන් පන්නයේ මුස්ලිම්වරුන්ගෙන් බෙහෙවින් කරදර හිරිහැරවලට ලක්වන්නට සිදුවී තිබේ. ඒ ඔවුන් ඉස්ලාම් මූලධර්මවාදය ප‍්‍රතික්ෂේප කරන නිසාය. අලි මදිවට හරක් කියන්නා වාගේ අද ඔවුන්ට විරුද්ධව බෞද්ධ මූලධර්මවාදය ද ආයුධ අතට ගෙන ඇත.
ගැටුමට විසඳුම් තිබේද?
බැලූ බැල්මට කූරගල සිංහල මුස්ලිම් ගැටුමක් ගැටලූවක් නැත. එගම සිංහල-මුස්ලිම් ජනයා සමගියෙන් එකට සිටින්නේ කාලයක සිටය. ගැටුම ගැටලූව තිබෙන්නේ මේ ප‍්‍රදේශයට පිටතින් සංක‍්‍රමණය වී ගැටුම් තනන්නට මාන බලන අඩබ්බර චීවරධාරීන්ටය. ඔවුන්ගේ අතවැසියන්ටය. චන්ඞීන්ටය.

අද බෞද්ධ ශාසනය තුළ මෙවැනි අවරගනයේ ක‍්‍රියාවල නිරතවන්නේ භික්ෂු වෙස් පැළඳි චණ්ඞීන්ය. මෙම චණ්්ඞීන් මහනායක හිමිවරුන්ට ද අවනත නැත. මේ ඒකාධිපති මහින්ද ප‍්‍රතිසංස්කරණය කළ නව බුදු දහමේ කසකරුවන්ය. ඔවුන් ද තම ආගම ආරක්ෂා කරගන්න යැයි කියමින් ඉස්ලාම් ආදර්ශයන් භාවිතයට ගනිමින් ජිහාඞ්වාදී මරාගෙන මැරෙන උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කරති. උපවාසවලට හිඳ ගති. ජාතිවාදී වියරුවෙන් තප්පුලන රැුස්වීම් සංවිධානය කරති. මේ කසකරුවන් අලූත්ගම-දර්ගා නගරයට ගිනි තැබුවෝය. මාවනැල්ල දෙවනගල ආදී ප‍්‍රදේශවලටද ගිනි තබන්නට ඔවුහු පිඹුරුපත් සකසති. අද ඔවුන්ගේ අලූත්ම භූමිකාව බලංගොඩ කූරගලය. මෙම ව්‍යාපාරයට රත්නපුර ප‍්‍රදේශයේ සිංහල-බෞද්ධ මැණික් ව්‍යාපාරිකයන් ද යහමින් මුදල් විසිකරන බව දැන ගන්නට ඇත. ඒ මුස්ලිම්වරුන් සතු බලංගොඩ මැණික් ව්‍යාපාර ඒකාධිකාරය තමන් සතු කර ගන්නටය.
මෙවැනි පසුබිමක කූරගල පසුබිම්කර මේ නිර්මාණය කළ ගැටුම අභ්‍යන්තරයේ සත්‍ය වශයෙන්ම ගැටලූවක් නොතිබූ බව පෙනෙන්නේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන ප‍්‍රකාශයෙන්ය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක කියනුයේ මෙම ස්ථානයේ පුරා විද්‍යා කැනීම් නිසි පරිදි සිදුවන බවය. තම දෙපාර්තමේන්තුව පල්ලිය ඇති ස්ථානයේ කැණීම් කටයුතු සිද්ධ කළ යුතු යැයි තීරණය කළ හොත් ඒ සම්බන්ධව පසුබට නොවන බවය. අනෙක ඔහු පවසන වැදගත්ම කාරණය වන්නේ අදාළ මුස්ලිම් පල්ලිය වෙනත් භූමියකට ගෙන යන්නට අදාළ පල්ලියේ මුස්ලිම් ප‍්‍රධානීන් එකග බවය. මෙවැනි තත්ත්වයක් තිබෙන කූරගල සම්බන්ධයෙන් මේ භික්ෂූන් යටිගිරියෙන් කෑ ගසමින් සමාජය මත පතුරුවමින් තිබෙන බොරුව කොතරම් දැයි යමෙකුට නොපෙ නෙන්නේ නම් ඔහුගේ දෑස් ජාතිවාදය නිසා හොඳටම අඳුරු වී තිබිය යුතුය.

අනෙක් පසෙකින් මේ භික්ෂූන් ඩෙඟා නටමින් මේ දක්වන රැුඟුම්වලින් නීතිය අවතක්සේරුවට ලක්වෙමින් තිබේ. පසුගිය 4වැනි දින සිංහල රාවය කූරගලට ගිය ගමන අධිකරණය වාරණය කර තිබූ අතර එය ඔවුන් තඹයකට මායිම් නොකළ සෙයක් දක්නට තිබුණි. වර්තමාන ආණ්ඩුව ජල ප‍්‍රහාරයක් දී හෝ මේ උමතු පිරිස එළවා දමන්නට කටයුතු කළ අයුරු ප‍්‍රසංසනීයයි. නැත්නම් තවත් අලූත්ගමක් බලංගොඩ ඇතිවන්නට තිබුණි.තමන්ගේ අරමුණ ඉටු නොවුණ තැන මේ භික්ෂූන් මාධ්‍යයට කීවේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිසි නිලධාරීන් තමන්ට ප‍්‍රහාරයක් එල්ල කළ බවය. ජාතිවාදය ගැන මාධ්‍යවේදීන්ට පාඩම් උගන්වන අග‍්‍රාමාත්‍යවරයා මෙවැනි මූලධර්මවාදී සංවිධාන පාලනය කිරීමට නව නීති අණ පනත් සම්මත කළ යුතුය. අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ කුමන ආගමක පූජකවරයෙක් භික්ෂුවක් වූවත් රාජ්‍ය පාලනයෙන් ඉවත්කර තැබීම සඳහා නව නීති සම්පාදය කළ යුතු බවය. ඒ සඳහා හාමුදුරුවෝ පන්සල් බලාගන්න, අපි රට බලාගන්නම් යැයි කියන්නට දේශපාලනඥයන්ට කොන්දක් තිබිය යුතුය.

No comments:

Post a Comment