Tuesday, April 21, 2015

‘හොරු වෙනුවෙන් හොරුන්ගේ‘ නන්දන වින්දනය අවසන් කිරීමට හංසයා දිනවීමට එක්වූ ජනතා බලවේග 49 ක් යලි එක්වෙති: 27 දා කොළඹදී දැවැන්ත උද්ඝෝෂනයක්

(ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.21, ප.ව.10.35) 
ජනවාරි 8 වෙනිදා කුජීතයට පැරදී, සමහරුන් රටේත් නොසිට පලා ගිය, මැදමූලන හොරු වෙනුවෙන් ශ්‍රීලනිපයේ හොරු නැගී සිටිද්දී සහ ජනාධිපති මෛත්‍රී ඒ හොරුන්ගේ නිල සභාපතිවරයාද වී හොරුන් පාලනය කර ගැනීමට නොහැකිව සිටිද්දී මෘග චෞර රාජපක්ෂලාට එරෙහිව යහපාලනයක් සහ සැබෑ වෙනසක් වෙනුවෙන් පෙනී සිට දිවි පරදුවට තබා ජය ගත්තද අද දක්වා නිහඬව සිටි සැබෑ ජනතා බලවේග සිදුවන විකෘතියට එරෙහිව තම බලය පෙන්වීමට අද සවස තීන්දු කරන ලදී.
තමන් පසුගිය රජය කාලයේ දූෂනයේ යෙදුනු තෝරුන් මෝරුන් අල්ලන්නේ යයි වහසි බස් දෙඩූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අල්ලස් කොමිසම විසින් මැදමූලන චෞර රාජයා වූ මහින්ද රාජපක්ෂට කොමිසම ඉදිරියේ පෙනී සිටින්නැයි කියා යවන ලද නොතීසියට එරෙහිවූ තම පාක්ෂිකයන් පාලනය කර ගැනීමට පවා නොහැකි විය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම ඇමැති ධූර දුන් ශ්‍රීලනිපයේ ඇමැතිවරු පවා මහින්ද රාජපක්ෂට පක්ෂව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ධූරයෙන් ඉවත් කරන ලෙසට සකස් කරන ලද පෙත්සමට අත්සන් කර තිබිණ. ගණනින් 116 කි.  ජනාධිපතිවරයා දූෂිත තෝරු මෝරු අල්ලන්නේ අල්ලස් කොමිසමට යහපාලන ආණ්ඩුව විසින් පත්කරන ලද එකම නිලධාරිනිය ඉවත් කිරීමෙන් දැයි දන්නේ උඩ සිටිනා දෙවියන් පමණි. අධ්‍යක්ෂ ජෙනරාල් වරිය හැර සභාපතිවරයාගේ සිට අල්ලස් කොමිසමේ සිටින අනෙක් සියළුම නිලධාරීන් රාජපක්ෂ රෙජීමය විසින් පත් කරන ලද අය වේ.
මේ තත්ත්වය තුල රාජපක්ෂ රෙජීමය පෙරළා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් වෙනසක් සඳහා මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ගෙන ඒමේදී ඔහු සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරමින් හංසයා ජයග්‍රහණය කරවීමට එක්වූ 49 ක් වූ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන වල නියෝජිතයන් 60 කට පමණ ආසන්න සංඛ්‍යාවක් අද සවස මරදානේ සීඑස්ආර් ශාලාවේදී රැස්වූහ. 
ඔවුන් සියළු දෙනා ඒකමතිකව සම්මත කර ගත් කාරණා කිහිපයකි. අද සිදුවීම් සියල්ල ජනවාරි 8 වෙනිදා වෙනසක් සඳහා ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු කඩ කරවන්නක් වන අතර මෙය පරාජය කරන ලද හොරුන්ගේ නීති විරෝධී චන්ඩි කමක් වන අතර එය වහාම පරාජය කළ යුතු බවත් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය කඩා කප්පල් කිරීම සඳහා සිදුකරන ලද කුමන්ත්‍රණයක්ද බවයි. 
ලබන 27 වෙනිදාට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කර ගත නොහැකි නම් වහාම පාර්ලිමේන්තුව විසිරුවා හැර පාර්ලිමේන්තු ඡන්දයකට යන්නැයි ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් බල කරමින් කියා සිටිය යුතු යැයිද එහිදී තීන්දු කරන ලදී. 
හොරු වෙනුවෙන් හොරුන්ට වඩා රට වෙනුවෙන් ජනතාව සිටින බව පෙන්වීමට පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම සඳහා එක් වූ සියළු දේශපාලන පක්ෂ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්වී ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කරවීම සඳහා 27 වෙනිදා කොළඹදී දැවැන්ත උද්ඝෝෂනයක් පැවැත්වීමටද නියෝජිතයන් සියළු දෙනා තීන්දු කරන ලදී.

No comments:

Post a Comment