Wednesday, April 15, 2015

මව්බිම සහ මහින්ද හෙවත් ජාතිවාදයේ හා අශිෂ්ටත්වයේ නැගීම

අජිත් පැරකුම් ජයසිංහ
ආණ්ඩුව දින සීය සම්පූර්ණ කි රී ම ට ආසන්න වෙමින් තිබේ. එහෙත්, ජනවාරි 8දා සිදු වූ ප‍්‍රජාතාන්ත‍්‍රික විප්ලවය සම්පූර්ණ කිරීමෙහිලා අසමත් වී තිබේ. එසේ කියන්නට සිදු වී තිබෙන්නේ මේ වන විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට යා නො හැකි ගිරිදුර්ගයක සිර වී ඇති හෙයිනි. ජනතාව ආණ්ඩුවෙන් බලා පොරොත්තු වූ මූලික වෙනස එයයි.
මේ වන විට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගත හැකි බවක් නො පෙනේ. ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයකු වන චම්පික රණවක මෙන් ම ප‍්‍රබල ම හවුල්කාර පාර්ශ්වය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය දක්වන බවක් දක්නට නැත. එසේ සිදු වූයේ ඇයි?
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමේදී ආණ්ඩුව දේශපාලන යථාර්ථයන් කෙතරම් සැලකිල්ලට ගත්තා ද යන්න සැක සහිත ය. බහුතර බලයක් නැති එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයාගේ නායකත්වයෙන් ආණ්ඩුව විසින් කළ යුතුව තිබුණේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පොදු අවම වැඩපිළිවෙලක් නිර්මාණය කර ගැනීමයි. එහෙත්, ඒ වෙනුවට කර තිබෙන්නේ ජනවාරි 8දා ජනාධිපතිවරණයේදී සිදු වූ වෙනස උපයෝගී කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයට බලය තහවුරු කර ගැනීම ඉලක්ක කර ගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා කිරීමයි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික ගැටලූව නිර්මාණය වී තිබෙන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර බල තුලනය සිදු වන ආකාරය පිළිබඳවයි. මෙහිදී කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ජනවාරි 8 ජනාධිපතිවරණය විශිෂ්ට අන්දමින් ජය ගත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය බලතල අහෝසි කර ගැනීම සඳහා පැහැදිලි ජනවරමක් නොමැති ආණ්ඩුවක් සමග එක්ව කටයුතු කිරීමයි. එම සහජීවනය විසින් පෙන්නුම් කරනු ලබන කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ අශිෂ්ට මිනිසකු අත ආඥාදායකත්වයක් නිර්මාණය කිරීම සඳහා භාවිත වූ බලතල ම ශිෂ්ට මිනිසකු විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා භාවිත කරමින් ඇති අන්දමයි.
මේ මොහොතේ සලකා බැලිය යුතු අනෙක් වැදගත් කාරණය වන්නේ ද ජනවාරි 8දා පසුබස්වන ලද අශිෂ්ටත්වය යළි හිස ඔසවමින් ඇති අන්දමයි. මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත හිස ඔසවා තිබේ. ඔහු මෙහෙයවනු ලබන්නේ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල වැනි ඔහු කිහිලිකරුවක් කර ගනිමින් නැගී සිටින්නට උත්සාහ කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපාලනයක් තුළ අවස්ථාවක් ලබා ගත නො හැකි ප‍්‍රතිගාමීන් විසින් පමණක් නො වේ. ඔහුගේ දේශපාලන මෙහෙයුම් මධ්‍යස්ථානය වීමට නියමිත ඒ.එස්.පී. ලියනගේගේ නිවසේ පිහිනුම් තටාකය මුහුදු වැලිවලින් පුරවමින්, දොරවල් කඩා වෙනස් කරමින්, ඒවාට පුළුල් ප‍්‍රචාරයක් ද දෙමින්, ඔහු මේ වන විට ප‍්‍රවර්ධනය කරන්නට උත්සාහ කරමින් සිටින්නේ ඔහු කිසියම් අද්භූත බලයක් ඇති අයකු බවයි. ඔහුගේ සයිබර් මෙහෙයුම අධ්‍යයනය කරන විට ද දැකිය හැක්කේ එහි ප‍්‍රධාන කොටසක් වන්නේ ජ්‍යොතිෂ්‍යය බවයි.
මහින්ද බලයට ගෙන ඒමේ ව්‍යාපාරය පසුපස රැුස් වී සිටින බලවේගය අධ්‍යයනය කිරීමෙන් එහි ඇති අශිෂ්ටත්වයේ තරම තේරුම් ගත හැකි ය. පසුගිය පාලන සමයේ දුණ, වංචා, අක‍්‍රමිකතා, බලය අයථා ලෙස භාවිතා කිරීම්, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා, ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, පුද්ගලයන් පැහැරගැනීම්, ඝාතන, අතුරුදහන් කිරීම්, කුඩු හා මත්පැන් ජාවාරම් ආදිය පසුපස සිටි පුද්ගලයන්ට මේ වන විට රැුකවරණය හා ඉදිරි ගමන ඇත්තේ මහින්දගේ ව්‍යාපාරය හරහා ය. මහින්ද ව්‍යාපාරය මේ වන විටත් පෝෂණය වෙමින් තිබෙන්නේ ඔවුන්ගේ ලේ තැවරුණු සල්ලිවලිනි. මහින්ද ව්‍යාපාරය විසින් ආමන්ත‍්‍රණය කරනු ලබන ජාතිවාදය හා අශිෂ්ටත්වය පසුගිය දිනෙක එම ව්‍යාපාරයේ න්‍යායාචාර්ය භූමිකාව රඟන දයාන් ජයතිලක විසින් වචන දෙකක් තුළට කැටි කර දක්වන ලදි. එනම් ‘මව්බිම සහ මහින්ද‘ යන්නයි.
මහින්ද ව්‍යාපාරය මෙතරම් ඉදිරියට ඒම සඳහා හේතු වූයේ ශ‍්‍රීලනිපය බිඳ දැමීම සඳහා වූ එක්සත් ජාතික පක්ෂයේ උපාය මාර්ගය බව පෙනේ. ශ‍්‍රීලනිපයේ නායකත්වය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මත කඩා වැටීමත් සමග ජනාධිපතිවරණය වෙනු වෙන් ගොඩනැගුණු ලිහිල් සන්ධානය අර්බුදයට ගියේ ය. ශ‍්‍රීලනිපය තුළ සිදු වෙමින් තිබුණු වඩා නිරවුල් ඛණ්ඩනය වෙනුවට පූර්ණ අවුල්සහගත තත්ත්වයක් ඒ සමගම නිර්මාණය විය. ශ‍්‍රීලනිපයේ විශ්වාසය තැබිය නො හැකි බලවේගයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පසුපස පෙළගැසුණු අතර මේ වන විට ඔවුන් කරමින් සිටින්නේ ආණ්ඩුවට ඉදිරියට යා නො හැකි අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය කිරීමයි.
තත්ත්වය කළමනා කරණය කර ගන්නට හැකියාව ඇති එක ම පුද්ගලයා වන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනයි. එහෙත්, මේ වන විට ඔහු වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ ජාත්‍යන්තර වශයෙන් සිය බලය තහවුරු කර ගැනීමට බව පෙනේ.
මේ අතර එජාපය විසින් නැගී එන ශ‍්‍රීලනිප බලය පසුබැස්වීම සඳහා තෝරාගන්නා ලද උපාය මාර්ගය මහින්ද බලවේගයේ නැගී සිටීමට මහෝපකාරී වූ බව පෙනේ. ආණ්ඩුව පසුගිය රජයේ දූෂණවලට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි මහින්ද බලාපොරොත්තු වූ මුත් එය සිදු නො වීම ඔහුගේ ම විමතියට හේතු වී ඇති බව පෙනේ. තවමත් ඔහු විවෘතව දේශපාලන පොරපිටියට පිවිසෙන්නට බියක් දක්වන්නේ දූෂණ චෝදනා එල්ල වනු ඇතැයි තිබෙන බිය නිසා විය හැකි ය. එජාපය දූෂණ විමර්ශනය දුර්වල කළේ මහින්ද ඉදිරියට ගෙන ශ‍්‍රීලනිපය කඩා බිඳ දමන්නට බවට තර්ක කරන්නට සාධක තිබේ.
එහෙත්, එජාපය ක‍්‍රීඩා කරන්නට උත්සාහ කරන පොළව මහින්දගේ අවකාශයයි. දේශපාලන ගේම් ගැසීම් සම්බන්ධයෙන් මහින්ද කප් ගසා ඇත. එසේම, ජනප‍්‍රියවාදී උපායමාර්ග පැත්තෙන් ගත් කල ද මහින්ද එජාපයට වඩා ඉදිරියෙන් සිටියි. සියල්ලට ම වඩා භයානක කාරණය වන්නේ එජාපය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ උත්සාහ කරන විධායක අගමැති ධුරයක් ඇති කිරීම මහින්දගේ යළි බලය ඩැහැගැනීමේ මූලෝපාය සමග ටක්කෙටම පෑහීමයි. එජාපයත්, මහින්ද ව්‍යාපාරයත් විසින් වර්තමානයේ කරමින් තිබෙන මෙම භයානක ක‍්‍රීඩාව තුළ විධායක ජනාධිපති ධුරය තවදුරටත් ශක්තිමත් වීමේ අනතුරක් ද තිබේ.
මේ වන විට මේ රටේ පැහැදිලි ජනවරමක් තිබෙන එකම පාලන ආයතනය ජනාධිපති ධුරයයි. එහෙයින් ගොඩනැගෙමින් තිබෙන දේශපාලන අර්බුදය විසඳීමේ හැකියාව තිබෙන්නේ ද අන් කිසිවකුට නොව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනටයි. කයිවාරු ගසන ආණ්ඩුවේ හා විපක්ෂයේ සෙසු සියලූ ම දේශපාලකයන්ට ජනවරමක් නැත.
මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරයා මැදිහත් වී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පොදු අවම වැඩපිළිවෙලක් ගොඩනගා ගත යුතුව තිබේ. එම වැඩපිළිවෙල තුළ පාර්ලිමේන්තුව හා අධිකරණය ශක්තිමත් කිරීම සඳහා ක‍්‍රියාමාර්ග තිබිය යුතු මුත්, විධායක ජනාධිපති වෙනුවට විධායක අගමැතිවරයකු නිර්මාණය කිරීමේ ප‍්‍රවණතාවක් අවශ්‍ය නැත.
ධනේශ්වර පාලනයන් තිබෙන ලෝකයේ රටවල් රැසක විධායක ජනාධිපති ක‍්‍රමය යම් යම් වෙනස්කම් සහිතව ක‍්‍රියාත්මක වේ. එහෙත්, ඒ රටවල් හැම එකක ම විධායක ජනාධිපති ක‍්‍රමය නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය හීන වී ගොස් නැත. නිදසුනක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය ගන්න. විධායක ජනාධිපති ක‍්‍රමය නිසා එරට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතාවන් දුර්වල වෙමින් තිබෙන්නේ නැත.
ජනාධිපතිට හිමි නීතිමය මුක්තිය ඉවත් කිරීම, ජනාධිපති බලතල යම් දුරකට සීමා කරමින් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම, දෙවරකට වඩා පත් විය නො හැකි බවට වූ නීතිය නැවත ගෙන ඒම, නැවත තේරී පත්වීම පිළිබඳ නීති සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සඳහා වූ 17වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම වැනි ක‍්‍රියාමාර්ග ඔස්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන්නට පුළුවන.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම සංශෝධනය කළ යුතු යයි කියන අය බලය බෙදීම ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන්නේ නැත. 13වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ යෙන් ක‍්‍රියාත්මක කළ හැකි වටපිටාවක් නිර්මාණය කිරීම ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට හේතු වෙයි. ඒ සඳහා ජාතීන් අතර සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කළ යුතු ය.
සමානුපාතික නියෝ ජනය හා මන්ත‍්‍රී ආසන ක‍්‍රමයේ සම්මිශ‍්‍රණයකින් යුත් මැතිවරණ ක‍්‍රමයක් සම්බන්ධයෙන් ඉතා හොඳ යෝජනා සාකච්ඡා වී තිබේ. එම කතිකාව හා සම්බන්ධ නො වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යනු අසම්පූර්ණ එකකි. පවත්නා මනාප ක‍්‍රමය යටතේ මේ රටේ තවත් මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ නො දිය යුතු ය. දූෂිතයන් යළි තේරී පත්වීම වැළැක්වීම ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍ය ය.

No comments:

Post a Comment