ඔසිත අත්තනායක
අගය මෙන්ම අවංකභාවය කියාපෑම සඳහාද සාමාන්‍ය ව්‍යවහාරයේදී රත්තරන් යන්න භාවිතවේ.'මගේ රත්තරන් 'යෑයි දෙමවුපියන් දරුවන්ටත්, පෙම්වතුන් එකිනෙකාටත් කියාගන්නේ මේ නිසා විය හැකිය. උපමාවක් ලෙස රත්තරන් එසේ වුවද හොර පාරෙන් රත්තරන් ගෙන්වීමේ සහ පැටවීමේ යාන්ත්‍රණයක් කාලයක පටන් ක්‍රියාත්මක වෙමින් තිබේ. නව වසර ලබනවාත් සමඟ ඉන්දියාවට හොර පාරෙන් රත්තරන් කිලෝ ග්‍රෑම් 4.2 ක් ගෙනයැමට උත්සාහ දැරූ ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකු රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. රුපියල් දෙකෝටියකට අධික වටිනාකමකින් යුත් මෙම රත්තරන් තොගය, ආභරණ ලෙස බැනියම අස්සේ සඟවාගෙන යැමට තැත් කිරීමේදී මෙසේ අල්ලා ගැනීමට රේගුව සමත් වී තිබුණි.
විටින් විටෙ එවැනි කතාන්දර රේගුවෙන් ඇසුණත් පසුගිය කාලය පුරාවට රත්තරන් ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වූයේද රේගුවේ අනුග්‍රහය ඇතිව බවට ආරංචි මාර්ග සඳහන් කරයි. හොර පාරෙන් ඉන්දියාවට රත්තරන් පැටවීමේදී ලැබෙන විශාල ආදායම හේතුවෙන් 'සියලු දෙනාම' එකතුවී කරගෙන යන ජාවාරමක් බවට දිගින් දිගටම මෙය පත් වී තිබේ. ඩුබායි සහ සිංගප්පූරුවේ, රත්තරන් සඳහා තීරුබදු නොමැති වීම හේතුවෙන් ඒවා ශ්‍රී ලංකාවට හොරපාරෙන් ගෙනැවිත් හොරපාරෙන්ම ඉන්දියාවට යෑවීම, මේ ජාවාරම වී තිබේ. බිස්කට් හෝ ආභරණ ලෙස මෙසේ හොර පාරෙන් රත්තරන් ගෙනයැම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ කටුනායක ගුවන් තොටුපල මූලික වීමෙනි.
කටුනායක ගුවන් තොටුපලේ රේගු කාර්ය මණ්ඩලය, ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන්, ගුවන් සේවා කාර්ය මණ්ඩල, තීරු බදු රහිත සාප්පු සංකීර්ණයන්හි සේවකයන් ආදියේ සිට පවිත්‍රකරණයේ යෙදෙන සේවකයන් දක්වා, පිරමිඩයේ සෑම අයෙකුම මේ ක්‍රියාන්විතයේ කොටස්කරුවෝ වී සිටිති. මෙය ගුවන් තොටුපලේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් වන තරමට ම 'වැඩේ එළිපිට' සිදු වෙමින් පවතී. මේ ජාවාරම නතර කිරීම සඳහා රේගුව විසින් ගනු ලබන්නේ එකම ක්‍රියාමාර්ගයක් පමණය. ඉඳහිට රත්තරන් ස්වල්පයක් අල්ලාගෙන, එයට විශාල ප්‍රචාරයක් ලබා දී 'රට රැවටීමේ' එම කලාව හැරෙන්නට රේගුව පැත්තෙන් අන් යමක් සිදුවන්නේම නැති තරම්ය. දෛනිකව රත්තරන් කිලෝ ග්‍රෑම් 5-10 ත් අතර ප්‍රමාණයක් ඩුබායි සහ සිංගප්පූරුවේ සිට කටුනායකට රැගෙන එන අතර සූක්ෂ්මාකාරයෙන් ඒවා ඉන්දියාවට ප්රතිගුවන්ගත කිරීමද කටුනායක ගුවන් තොටුපලෙන්ම සිදු වේ. මේ සියල්ල සිදු වන්නේ ගුවන් තොටුපල පර්යන්තයේදීමය. ජාවාරම සිය ජීවිතය කරගත් රේගු නිලධාරීන් සිය අතැති කුඩා කිරුම් උපකරණයක් මගින්, අදාළ රත්තරන් තොගය කිරා බලා, එතැනදීම අල්ලස් මුදල ලබාගෙන අදාළ ගනුදෙනුව නිම කරන බැවින්, ජාවාරම්කරුවාටද එතරම් මහන්සි විය යුතු තත්ත්වයක් මෙහි නැත. රේගුවේ මේ සඳහා ප්‍රචලිත වී සිටින්නේ 'කල්මුණේ කල්ලිය' නම් රේගු නිලධාරී කණ්ඩායමය.
පසුගිය මාර්තු විසිහත්වැනිදා පාන්දර යූ.එල්. 226 ගුවන් යානය, කටුනායකට පැමිණියේ ඩුබායි සිටය. රත්තරන් තොගයක් එම ගුවන් යානයෙන් පැමිණෙන විටම, එය 'පිළිගැනීම' සඳහා කලින් දැනුවත් කරන ලද රේගු නිලධාරීන් පිරිසක් සූදානම් වී සිටියෝය. අදාළ එක නිලධාරියෙක් විසින් රත්තරන් තොගය 'පිළිගනු ලැබුවේ' මගීන් පැමිණෙන පර්යන්තයේදීමය. කලින් කතිකා කරගත් පරිදි වැසිකිණළියට, රැගෙන එන්නා සහ රේගු නිලධාරියා පිවිසි අතර රැගෙන එනු ලැබූ රත්තරන් පාර්සල් තුන නිලධාරියා විසින් තමන්ගේ මේස් තුළ තැන්පත් කර ගත්තේය. ජාවාරම ගොස් ඇති දුර මෙයින්ම තේරුම් ගත හැකිය. වෙනදාට කීයක් හෝ ගෙන ජාවාරම්කරු පිටත් කරන යාන්ත්‍රණය වෙනුවට, තමන්ම 'බඩු' එළියට හෝ අදාළ තැනට භාරදීම දක්වා සමහර රේගු නිලධාරීහු දියුණු වී' සිටිති.
සඟවා ගත් රත්තරන් තොගය සමඟ රේගු කාර්යාලයට නිලධාරියා පැමිණෙනවාත් සමඟ මේස් අස්සෙන් රත්තරන් බිස්කට් කැබලි දෙකක් බිමට වැටිණි.මෙය අසල සිටි රේගු පරීක්ෂකවරයකු දැක. රේගු අධිකාරිවරයෙකුට සිද්ධිය පැවසීමත් සමඟ පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේය. අතරතුරදී, රත්තරන් මේස් තුළ සඟවාගෙන පැමිණි රේගු නිලධාරියා, එම තොගය රේගු කාර්යාලය තුළ සඟවන ලද්දේය. තමන්ගේ ලැප්ටොප් පරිගණකය, රේගු නිලධාරී විවේකාගාරයෙන් රැගෙන එන ලෙස, ගුවන් තොටුපල රේගුවේ රියෑදුරාට 'මේස් රන්' නිලධාරියා විසින් දන්වන ලදී. රියෑදුරා බැගය රැගෙන එන අතරතුර, රේගු පරීක්ෂකවරයාගේ පැමිණිල්ල මත රත්තරන් තොගය සොයන්නට රේගු අධිකාරිවරයා කටයුතු කළේය. එදින සේවයේ යෙදී සිටි සහකාර රේගු අධිකාරිවරු, පැමිණිල්ල කළ රේගු නිලධාරියාට දොස් නඟන්නට පටන් ගත්තේ මේ සමඟය. දුටු දේ පැවසීම සහ යළිත් එය නොපවසන ලෙසත් පරීක්ෂකවරයාට තර්ජන එල්ල කරන්නටද විය. තර්ජිත තත්ත්වයකට සිද්ධිය පැමිණීමත් සමඟ, තමන් ලක්වී සිටින අවදානම් තත්ත්වය පිළිබඳව රේගු පරීක්ෂකවරයා සිය වෘත්තීය සමිතිය දැනුවත් කරන්නට පියවර ගත්තේය. ඒ සමඟම වෘත්තීය සමිති මාර්ගයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාද මේ පිළිබඳව දැනුවත් වීම සිදු විය.
අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් අදාළ සිද්ධිය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් කිරීමට උපදෙස් ලැබුණු අතර එම පරීක්ෂණ කටයුතු රේගු මධ්‍යම විමර්ශන ඒකකයට භාර දෙන ලදී. එම පරීක්ෂණය භාර දෙන ලද්දේ රේගු මධ්‍යම විමර්ශන ඒකකය වෙතය. නමුත් දාමගත ජාවාරමක් නිසාදෝ පරීක්ෂණයෙන් සිදු වූයේ අදාළ නිලධාරියා නිදහස් වීමය. දුර්වල ආකාරයෙන් සාක්ෂි රැස් කිරීම සහ බොළඳ ආකාරයට පරීක්ෂණ සිදු කිරීම හේතුවෙන් අත උඩ හසු වූ ජාවාරමෙන් සැකකරු නිදහස් වීම ඉබේ සිදු වූවක්ම නොවේ. රේගුවේ ඉහළ පුටුවල වුවමනාවද ඒ සමඟ බැඳී තිබූ බව ආරංචි මාර්ග පවසයි. සියල්ල ජාවාරම්කාර නිලධාරියා ආරක්ෂා කිරීම සඳහා සකස් වී තිබුණු බව පෙනෙන්නේ කටුනායක ආරක්ෂක කැමරා පද්ධතියේ පටිගත වී තිබුණු තොරතුරුද මකා දමා තිබීමෙනි. දර්ශන මකා දැමීම පරීක්ෂණයෙන් චූදිත නිලධාරියාට නිදහස් වීම සඳහා අනගි අවස්ථාවක් උදා කළ අතර, දර්ශන මකා දැමීම, 'සොරා කර පිසදා' ගැනීමක් වී තිබුණි.ඇත්ත වශයෙන්ම මේ 'මැකීම' සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පැවැත්විය යුතු වුවත් 'රත්තරන් පරීක්ෂණයට එහෙම වුණා නම් දර්ශන ගැන කවර කතාද...' යෑයි සිතේ.
වැඩේ පත්තුවූ පසුව, රත්තරන් තොගය රැගෙන ආ කල්මුණේ ප්‍රදේශයේ තරුණයා, බිස්කට් තොගය රේගු නිලධාරියාට භාරදීමෙන් පසුව, 'බඩු ලැබෙන තෙක්' රේගු නිලධාරීන්ගේ විවේකාගාරය අසල ගැවසී තිබේ. බිස්කට් බිමට වැටී 'බඩු මාට්ටු' වනවාත් සමඟම, ඔහු නැවත ගුවන්තොටුපලට කැඳවාගෙන කට උත්තර ලබාගෙන 'සියල්ල ඔහුගේ පිටින් පමණක්' යෑවීමට පිරිස කටයුතු යොදා තිබුණි. මේ තරුණයා දැනට බන්ධනාගාරගත කර ඇති අතර, එයට සම්බන්ධ වූ රේගු නිලධාරියාට තාවකාලික වැඩ තහනමක් පමණක් ක්‍රියාත්මක කර සිද්ධියෙන් පැත්තකට කරදමා තිබේ. වරද සම්බන්ධ නඩු භාණ්ඩ ලෙස රත්තරන් බිස්කට් පමණක් තිබෙන අතර අවම වශයෙන් එය දමාගෙන පැමිණි බෑගයක්වත් ඉදිරිපත් වී නැති තත්ත්වයක් තුළදී 'රත්තරන් අරන් ආවේ අතේදැයි...' අධිකරණය ඇසුවහොත් කල්මුණේ තරුණයාටද පහසුවෙන් රත්තරන් තොගයද සමඟ නිදහස් වන්නට පොටක් පෑදී තිබේ. ලැප්ටොප් බෑගය ගෙන ආ රියෑදුරාගෙන්වත් අවම වශයෙන් ප්‍රශ්න කර නොමැති තත්ත්වයක් තුළදී, මේ පරීක්ෂණයද මේස් ඇතුළේ දමාගෙන රත්තරන් රැගෙන ඒමේ ඊළඟ කතාව බව පැහැදිලිය.
තම ලැප්ටොප් බෑගයේ දමාගෙන රත්තරන් තොගය පිටමං කරන්නට චූදිත නිලධාරියා උත්සාහ කරන ලද බව මේ කතාව අසන නොදරුවෙකුට පවා තේරුම් ගියද ඊටත් වඩා නොමේරූ, රේගු මධ්‍යම විමර්ශන ඒකකයේ නිලධාරීන්ට මෙය තේරුම් ගොස් නැත. කොහොමටත් පසුගිය කාලය පුරාවටම අත්අඩංගුවට ගත් රත්තරන් සුළු දඩවලට යටත්කර නිදහස් කිරීම රේගුවේ සාමාන්‍ය ලක්ෂණයක් බවට පත් වී තිබුණි.
ජාවාරමට මෙලෙස ඉඩදුන්නද සාමාන්‍ය මගීන් රේගුවේ දොර පසු කරන්නේ අමුතු චකිතයකිනි. එතැනදී ඇඳුම්, සුවඳ විලවුන් ආදී එදිනෙදා පාවිච්චියට හෝ තෑගි දීමට ගෙන එනවිට ඒවා ගැන විමසිලිමත් වන රේගු නිලධාරීන් ඉන්දියාවෙන් ගෙන එන රෙදි තොග පිටින් නිදහස් කරන්නේ අතයටින් සංග්‍රහය ලබාගෙන බව එළිපිටම පෙනේ. මකා දමා නැත්නම් මෙම දර්ශනද සීසීටීවී කැමරාහිදී බලාගත හැකිය.
මේ දක්වන ලද්දේ රේගුවේ සිදු වන වංචාවලියෙන් අංශුමාත්රයක් පමණය. සමහර රේගු නිලධාරීන්ගේ පුද්ගලික විදේශ ගමන් බිමන් බලන විට හම්බු කිරීමේ තරම එයින්ම මැනගත හැකිය. පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා රේගු නිලධාරීන් හැට දෙදෙනෙකු සිය පවුල් සමඟ ඔස්ටේ්රලියාවට සහ නවසීලන්තයට ගියේ 'සාධරණ මුදලින්මදැයි ප්රශ්නයකි. රේගු ක්‍රීඩා සමාජයේ ශීර්ෂය යටතේ ඕස්ටේ්රලියානු මහ කොමසාරිස් කාර්යාලයට වීසා ඉල්ලා යවන ලද ලිපියක් තුළ මේ කරුණු අන්තර්ගත වේ. රටේ ඇමැතිවරුන්ටවත් මෙවැනි ධනස්කන්ධයක් වියදම් කිරීමට හැකිද...? මෑතකදී රේගුවට බැඳුණු සමහර නිලධාරීන් සිය රැකියාව කරන්නේ 'විස්සයි-විස්ස්' තරගයක් සේය. 'ලැබෙන හැම පන්දුවකටම හයේ පහරවල් ගැසීම 'ඔවුන්ගේ අරමුණය. ඇස් පනාපිටම මේ කොල්ල කන්නේ රටේ භාණ්ඩාගාරයට යායුතු ජාතික ධනයය. ප්‍රේත වස්තු, විමාන වස්තු අනුව නම් මේ ලෙස ජනතා මුදල් කොල්ල කන පිරිස් යළි ඉපදෙන්නේ අක්කර ගණනක් විශාල උදර සහිත ප්‍රේතයන් ලෙසය. කොතරම් කෑම ලැබුණත් ඔවුන්ගේ කුසට දැනෙන්නෙවත් නැති බව සඳහන් වේ. මේ අතරට එක්වීම සඳහා රේගුවෙන් විශාල පිරිසක් දැනටමත් සුදුසුකම් ලබා තිබේ. ඒ ගැන සැකයක් ඇත්තේම නැත. සැකයක් ඇත්තේ මොන ආණ්ඩු මාරු වුණත් එන පැත්තට හුරේ දමාගෙන මේ පිරිස ඊළඟ භවය සඳහා අක්කර ගණනක ප්‍රේතයන් වීමට ජාතික ධනය කොල්ලකන ආකාරය නතර නොවීම ගැනය.
No comments:
Post a Comment