Saturday, October 25, 2014

Defeating Mahinda & Controlling Ranil

මහින්ද පරාජය කිරීම හා රනිල් පාලනය කිරීම


http://ravaya.lk/








ජනාධිපතිවරයා උතුරට ගොස් ස්වකීය අනාගතය සඳහා වන ප‍්‍රකාශ දෙකක් කළේය. එකක් නම් ජනතාව මගේයනුවෙන් කළ ප‍්‍රකාශයයි. බුදු මුවින් ප‍්‍රකාශ වූ පරිදි නම් මගේය අපේය කියා දෙයක් නැත. මගේය අපේය යනුවෙන් සිතීමම තදබල ලෞකිකත්වයකට ඇලීමකි. ජනාධිපතිවරයාට අවශ්‍ය ඇලීමටය. ඒ විධායක ජනාධිපති ධුරයටය. දෙවනුව ඔහු කීවේ බෙදුම්වාදය ත‍්‍රස්තවාදය හා ඩයස්පෝරාවේ කුමන්ත‍්‍රණ මුළුමනින් අහෝසි වනතුරු විධායකය අහෝසි කරන්නට තමන් සූදානම් නැති බවය. බෙදුම්වාදය ත‍්‍රස්තවාදය හා ඩයස්පෝරාව යන තුනම කිසිදාක මුළුමනින් වියැකී යන දේවල් නොවේ. ලොව පුරා විටින් විට යටයමින් මතුවෙමින් බහුවිධ සමාජ දේශපාලන තත්ත්වයන් යටතේ විවිධ ස්වරූපවලින් පවතින දේවල්ය. ලංකාවට අදාළව එම කාරණා තුනම තවදුරටත් පවතින නිසා විධායකය අහෝසි කළ නොහැකිය. එනම් විධායකය සදාකාලිකය. යම් හෙයකින් ජනාධිපතිවරයාට තෙවැනි වරටත් තරග කළ නොහැකිය යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් ලබාදුනහොත් බෙදුම්වාදය ත‍්‍රස්තවාදය ඩයස්පෝරාව නිසා එම තීන්දුව හිතේ ආවේගයට වගේ පිළිනොගෙන සිටීමට වුව ජනාධිපතිවරයාට පුළුවන. එය භයානක ඒකාධිපති ගමනක ආරම්භයක් විය හැකිය. මෙවැනි විවාදයක් පවතින අවස්ථාවක ජනාධිපතිවරයා ජනතාව මගේ කී අයුරින්ම ශ්‍රේෂ්ඨාධිකරණයත් මගේයැයි කිවහොත් එහිත් පුදුම වන්නට දෙයක් නැත.

විපක්ෂයට ඉලක්කයක්

විපක්ෂයට මේ සම්බන්ධයෙන් බලවත් වගකීමක් පැවරෙන්නේ මෙතැන් සිටය. ජවිපෙ සහ සරත් ෆොන්සේකා එහිදී හොඳ පියවරක් තැබූහ. එය නම් තමන් ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකර වර්තමාන ජනාධිපතිවරයාට ඊට ඉදිරිපත්වීමට ඇති නුසුදුසුකම ගැන ප‍්‍රබල ජනමතයක් ගොඩනංවන බව කීමය. එය අත්‍යවශ්‍යම කටයුත්තකි. එසේවන්නේ ප‍්‍රධාන විපක්ෂය වන එජාපය හා එහි නායකයා තුන්වරක් බෑයන ප‍්‍රශ්නය තම දේශපාලන ව්‍යාපෘතියේ මූලික සංරචකයක් බවට පත් නොකර ජනාධිපතිවරණයේදී හොඳ තරගයක් දෙන්නට සූදානම් වන තත්ත්වය තුළය. හැමෝටම හැම එකම කළ නොහැකිය. තීරණාත්මක කාලවකවානුවලදී වැඩ බෙදාගැනීම ඉතා වැදගත් කාරණයකි. මේ අනුව බාහුට, සිරිතුංගට, මනෝ ගනේෂන්ට, දෙමළ සන්ධානයට තම තමන්ගේ භූමිකා තෝරාගත හැකිය.

අනෙක් තට ජවිපෙ සහ ෆොන්සේකා සිය ස්ථාවර තුළින් දෙවැනි අදහසක්ද පළ කළේය. එනම් රනිල්ට ඡුන්දය දෙන්න යනුවෙන් තම ව්‍යායාමයේ යටිපෙළ මගින් ප‍්‍රකාශමාන කිරීමය. මේ ස්ථාවරය මගින් ජවිපෙට යළි සන්ධානගත දේශපාලනයෙන් ඇතිවිය හැකි අනාගත ප‍්‍රශ්න න්‍යායික තලයේදී විසඳෙයි. අනෙක් අතට ඔවුහු රාජපක්ෂ මහතා පරාජය කිරීම වෙනුවෙන් යම් කාර්යභාරයක් කළ අය බවටද පත්වෙති. ෆොන්සේකාටත් ජවිපෙ මාවතේම යා හැකිය.

ගමේ වීරයා

ආණ්ඩුවේ අප හිතමිත‍්‍ර අමාත්‍යවරයකු පසුගියදාක කීවේ රනිල්ට මහින්ද පරාජය කළ හැකිය යන තක්සේරුව මුළුමනින් නිවැරදි නොවන බවය. ඔහු කියන පරිදි කොළඹ ඇතුළු තදාසන්න නගරවාසී ජනයා රනිල්ට ඡන්ද දෙනු ඇත. එහෙත් තවදුරටත් ගමේ වීරයා මහින්ද රාජපක්ෂ බවය. එහි ඇත්තක් තිබේ. ගමේ ජනතාවට ජනාධිපතිවරයාට විටින් විට දක්වන අතිසුහදශීලී ප‍්‍රතිචාරවලින් එය තහවුරු වෙයි. රනිල් වික‍්‍රමසිංහට ගමේ ජනතාවට ආමන්ත‍්‍රණය කළහැකි කටහඬක් නැත. ඔහුගේ මන්ත‍්‍රීවරුන්ගේ ක‍්‍රියාකලාපය ගත්තත් එබඳුය. හර්ෂ ද සිල්වා අජිත් මාන්නප්පෙරුම ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් දවසක් දුම්රියේ ගමන් ගත්හ. ඒ දුම්රිය මගී ප‍්‍රවාහනයේ අඩුපාඩු සොයා බැලීමටය. හර්ෂලා දුම්රිය පාපුවරුවේ එල්ලී සිටි ආකාරයෙන් කවදාවත් දුම්රිය පාපුවරුවක නොගිය බව සනාථ විය. ඒ ගමන මහින්ද හෝ ඩලස් වැන්නකු ගියා නම් එම රංගනය ස්ටැනිස්ලවුස්කිගේ මෙතර්ඞ් ඇක්ටිං අනුවම සිදුකරනු ඇත. එහෙත් හර්ෂලා ඒ වැඬේ නොදනිති. ගමේ ජනයා නායකයකුට ආකර්ෂණය වනුයේ තමන් අනුයනවානම්ය. රනිල් දියුණු නායකයකු බවට පත්ව ඔහු අනුයන්නට ගැමියාටත් සිදුවනවා නම් එය නරක නැත. එහෙත් ඊට තව කල්පයක්වත් ගතවනු ඇත. කෙසේ වෙතත් රනිල් සමග සිටින හර්ෂ වැනි මන්ත‍්‍රීවරු තම තමන්ගේ විෂය පිළිබඳ ප‍්‍රාමාණිකයෝය. ඔවුහු මහින්දගේ ගෝලයෝ මෙන් විෂයට අනුචිතයෝ නොවෙති. අනුචිතයන් රනිල් ළඟ නොසිටිනවා යන්න ඉන් අදහස් නොකෙරෙන අතර මහින්ද ළඟ සිටින ජාතියේම අංග පුලාවකට නැති හුළං රාළලා රනිල් ළඟද රොඳ බැඳ සිටිති. අපිට අද මහින්දගේ මජර දේශපාලන හමුදාවෙන් බේරෙන්නට බැරිව සිටිනවා වැනිම තත්ත්වයක් රනිල්ගේ මජර දේශපාලන හමුදාවෙන්ද උද්ගත විය හැකිය.

ගමේ වීරයා වැඩ

ඔක්. 15 වැනිදා පවත්වන්නට යෙදුණු ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සංවිධානය කළ ජනමාධ්‍ය වැඩමුළුවකට සහභාගිවන්නට නියමිතව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හා සමාජ ක‍්‍රියාධරයන් පිරිසකට රට බේරාගත් දේශපේ‍්‍රමී බලකාය නමැති සංවිධානයකින් මරණීය තර්ජන එල්ල විය. ඔවුන්ට ලැබුණු එස්එම්එස් පණිවුඩවලින් කියැවුණේ වැඩමුළුවට සහභාගි වුවහොත් මරණවා යන්නය. මෙය ඉතා අවරගණයේ තර්ජනයකි. රට බේරාගැනීම යනුවෙන් මෙතෙක් සමාජය තුළ අර්ථ දැක්වුණේ ආණ්ඩුව ඇතුළු ආණ්ඩුවට සහාය පළ කළ බලවේගවල ක‍්‍රියාකාරීත්වයයි. එසේ නම් තර්ජනය ආවේද ඔවුන්ගෙන් මිස වෙනකකුගෙන් නොවේ. මෙවැනි බාල වැඩ කර මතුවන ආණ්ඩු විරෝධය පාලනය කරගැනීමට සිතනවා නම් එය මහත් හාස්‍යයට කරුණකි. මීට පෙරද ගිරිතලේ හා මීගමුවේ පවත්වන්නට යෙදුණු ජනමාධ්‍ය වැඩමුළු දෙකකට දේශපේ‍්‍රමියෝ තර්ජනාංගුලිය එල්ල කළහ. ඒ ගැන පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇතත් සිදුවූ පරීක්ෂණයක් නැත. මරණවා යනුවෙන් එස්එම්එස් නොගසා හැකි නම් කෙළින් ඇවිත් අභිමුඛව කතා කරන ලෙස දේශපේ‍්‍රමී හංවඩුව ගසාගත්තවුන්ට කියමි.

විපක්ෂයට උත්තර තිබේද?

විපක්ෂය දේශපාලන බලය ලබාගැනීමට යන අතරම මෙවැනි තර්ජනවලට සාමූහිකව මුහුණ දිය යුතුය. නැතහොත් ආණ්ඩුව බහුතරයක් ජනමාධ්‍ය, බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන් යටත් කරගත්තා සේ කිසියම් හෝ හඬක් නගනා පිරිසට සහයෝගයක් නැතිවනු ඇත. තවදුරටත් දේශපාලනය යනු තම තමන්ගේ දේශපාලන පක්ෂ නමැති ඉඩකඩම් හෝ නින්දගම් ඇතුළේ කරන වැඩක් නොවේ. මහජනයාගේ අරගලය පවතින්නේ සමස්ත භූමිය තුළය. සියලූ මනස් තුළය.

රතුපස්වල සිද්ධිය, හලාවත ධීවරයන්ට වෙඩි තැබීම, වෙළෙඳ කලාපයේ රොෂේන් ඝාතනය ඇතුළු ආණ්ඩුව වගකිවයුතු තවත් බොහෝ ඝාතන විපක්ෂය හා සිවිල් සමාජ ක‍්‍රියාධරයන් අනවරතව අතපෙවිය යුතු ප‍්‍රශ්න වේ. එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ විරෝධය සාධාරණත්වය අගයන හැම මිනිසකුගේම කටහඬෙහි ගැබ් විය යුතුය. රනිල් ප‍්‍රමුඛ විපක්ෂයට මේවා පිම්ම පැනගැනීම සඳහා පමණක් ආධාරක වන්නට ඉඩ නොදීමද වැදගත්ය. ජනාධිපතිවරණයක් මුවවිටේ මෙරට වෘත්තීය සමිති ආණ්ඩුව සමග කේවල් කරන්නට පටන් ගෙන ඇති ආකාරයටම ජනතාව මේ කාලයේ විපක්ෂය සමගද කේවල් කිරීමකට යායුතුය. ඒ තුට්ටු දෙකේ වාසියක් ලබාගෙන නිහඬවීම සඳහා නොව අනාගත ජන ජීවිතයට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කරගැනීම සඳහාය.


 Extracted from Ravaya.lk

No comments:

Post a Comment