Saturday, October 25, 2014

Horoscope undermines the Country

කේන්දරයකට යට කරන රට
http://ravaya.lk/

ලංකාව දුවන්නේ නක්‍ෂත‍්‍ර පාඨකයන්ට වුවමනා විදියට ද?
ඉදිරි ජනාධිපතිවරණය ගැන දැන් තිබෙන අවුල සම්පූර්ණයෙන් ම බලය සඳහා ඇති ජනාධිපතිවරයාගේ වුවමනාවත්, ඒ පදනම් කොටගෙන වන ඔහුගේ නැකැත්කරුවන්ගේ ක‍්‍රියාකලාපයත් නිසා හටගත්තකි. 
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බරපතළ ලෙස ජ්‍යොතිෂ්‍යයට හා මිථ්‍යා විශ්වාසයන්ට යටවූවකු බව ඔහු නිතර කරන කියන දැයින් පැහැදිලි වෙයි. ඔහු මෙන් ම ලංකාවේ සිටි අනෙක් රාජ්‍ය නායකයෝ බහුතරයක් ද අඩු වැඩි වශයෙන් මිථ්‍යා විශ්වාස හිස උඩින් තියාගෙන සිටිය හ. පුද්ගලයකු සිය පෞද්ගලික වපසරිය තුළ මිථ්‍යා විශ්වාසයන්ට යටත් වීම රටකට වැදගත් නැත. එහෙත්, ඒ පුද්ගලයාගේ විශ්වාස විසින් මුළු රටක් අත්අඩංගුවට ගනු ලැබ රාජ්‍ය පාලනය මහා අවුලකට ගෙන යන්නේ නම් එය රටේ මිනිසුන් බැරෑරුම් ව අවධානයට ගත යුතු කාරණයකි.
ඉදිරි ජනාධිපතිවරණය මේ සා ලහි ලහියේ පවත්වන්නට ජනාධිපතිවරයා තිරණය කර ඇත්තේ, විපක්‍ෂයට දිගු කාලයක් ලබා නො දීමට අමතර ව සුබ නැකැත් පිළිබඳ ප‍්‍රශ්නයක් ද නිසා බව කවුරුත් දනිති. විධායක ජනාධිපති ධුරය තිබුණ ද නොතිබුණ ද, මේ ජනාධිපතිවරණය කොහෙත් ම රටට අවශ්‍ය එකක් නො වේ. ජනාධිපතිවරයාත්, ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකුත් හැරෙන්නට ආණ්ඩු පක්‍ෂයේ වුව ද කිසිවකු මේ ජනාධිපතිවරණය ඉල්ලා නො සිටි බව පැහැදිලි ය. අනෙක් අතට රාජපක්‍ෂ මහතාට රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව අවුලක් නැති ව තවත් අවුරුදු දෙකක් ම රට පාලනය කළ හැකි ය. කිසියම් පසුබෑමක් තිබේ නම්, එය මඟ හරවා ගෙන මහජන හිතකාමී ස්ථාවර පියවර තබා ජනපතිවරණයක් ජයගන්නට ඒ අවුරුදු දෙකක කාලය ද ප‍්‍රමාණවත් ය. එසේ තිබියදී රටේ නීතිය, රාජ්‍ය යාන්ත‍්‍රණය බලවත් අවුලකට යවමින් ජනාධිපතිවරණයක් කැඳවන්නට යන්නේ කිසිසේත් රට ගැන ඇති කැක්කුමකින් නො වේ. තමන්ගේ අසීමිත බල ලෝභය නිසා ය. ආණ්ඩුව තුළිනුත්, ඉන් පිටතිනුත් ජනාධිපතිවරණයක අවශ්‍යතාව ගැන කෙරෙන ප‍්‍රශ්න කිරීම් ඒ නිසා ජනාධිපතිවරයාට වැදගත් නැත.

මේ හිතුවක්කාරී පිළිවෙත නිසා ලංකාවේ කතෝලිකයන්ට කලාතුරකින් ලැබෙන ඉතා වැදගත් අවස්ථාවක් මඟ හැරී යන්නට ද හොඳටම ඉඩ තිබේ. නොවැම්බර් මාසය මැද දී ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක් සඳහා ඇති කැමැත්ත ප‍්‍රකාශ කළ හොත්, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ විධිවිධාන අනුව අනිවාර්යයෙන් ම ජනාධිපතිවරණයක් පවත්වන්නට සිදුවන්නේ පාප් වහන්සේ ලංකාවට පැමිණීමට නියමිත දිනවලට ඉතා කිට්ටු ව ය. එවැනි සමීප මැතිවරණ කාලයක දී පාප් වහන්සේ රටක සංචාරය කරන්නේ නැත. එහෙත් දැනට ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත්කර නැති නිසා, කතෝලික පල්ලියට පාප් වහන්සේ නිශ්චිත වශයෙන් ම ලංකාවට එන්නේ ද යන්න ගැන වත් කියන්නට හැකියාවක් නැත. මේ අවිනිශ්චිතභාවය විශාල අවුලක් ඇති කරනු නොවැළැක්විය හැකි ය.

රාජ්‍ය නායකයකු ලෙස ද සැලකෙන පාප් වහන්සේගේ සංචාරය අතරතුර ආරක්‍ෂාව සැපයීම ද බැරෑරුම් කර්තව්‍යයකි. ඒ සඳහා පනස් දහසක පමණ පොලිස් බල ඇණියක් යෙදවීමට අවශ්‍ය වනු ඇතැයි වාර්තා වෙයි. ජනාධිපතිවරණයක දී රට පුරාම පොලිස් නිලධාරීන් විසුරුවා ආරක්‍ෂාව සැපයීමට සිදුවන අතර, ජනාධිපතිවරණයෙන් පසුව ද දින ගණනක් ඒ ආරක්‍ෂාව එලෙස ම තැබිය යුතු ය. කිසියම් ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වුවහොත් ඒ ආරක්‍ෂාව තවත් දිගු කළ යුතු ය. එවැනි තත්ත්වයක් මත, ජනාධිපතිවරණය අවසන් කොට දින දෙක තුනකින් කොළඹට හා මඩු ආශ‍්‍රිත ප‍්‍රදේශයට පනස් දහසක පොලිස් බල ඇණියක් ආරක්‍ෂාව සඳහා යෙදවීම අතිවිශාල වියදමක් වන, බැ?රුම් කටයුත්තකි. ජනාධිපතිවරණයේ නාම යෝජනාවලට එරෙහිව අධිකරණ ක‍්‍රියා මාර්ගයකට යන්නට සිදුවුණොත් හෝ ජනාධිපතිවරණයේදී බල වෙනසක් සිදුවුවහොත් ඇතිවන තත්ත්වයන් විසින් මේ අරාජක තත්ත්වය තවත් දිගු කරන බව ද රහසක් නො වේ. ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ ජනජීවිතය මුළුමනින් ම දේශපාලනිකකරණය වීමෙන් ඇතිවන නොසන්සුන් හා ව්‍යාකූලභාවය මේ සියල්ලට අමතර ව ය.

මේ සරල කරුණු අනුව වුවද පෙනෙන්නේ හදිසි ජනාධිපතිවරණයක් විසින් රටේ ඇතිකරන්නට නියමිත අවුලේ තරම ය. ලබන අවුරුද්දේ මුල රට තුළ මේ තරම් අවුලක් හදාගන්නට අප යන්නේ කුමක් සඳහා ද? රටට එරෙහිව විදේශයකින් එල්ල වන ආක‍්‍රමණයක් මැඬ පැවැත්වීම සඳහා ද? රටේ සිදුවිය හැකි අවාසනාවන්ත ස්වාභාවික ආපදාවකින් බේරීම සඳහා ද? රටේ ඇතිවිය හැකි මහා සිවිල් කෝලාහලයකින් ගැලවෙනු සඳහා ද?
නැත. එක් පුද්ගලයකුගේ බල ලෝභය සංසිඳුවනු සඳහා ය. එවැනි රටක්?

Extracted from Ravaya.lk



No comments:

Post a Comment