Saturday, January 3, 2015

රාජපක්ෂවරුන්ගේ අවනීතිය - ලසන්ත රුහුණගේ

ලසන්ත රුහුණගේ
මේ නිදහස මේ සාමය සහ මේ සංවර්ධනය ඉදිරියටත් තමුන්නාන්සේලාට ගෙනියන්නට ගරු ජනාධිපතිතුමාට තමුන්නාන්සේලාගේ ශක්තිය ලබාදෙන්න ඕන.
මේ ලබාගත්ත නිදහස හා සංවර්ධනය ඉදිරියටත් ගෙනියන්න අතිගරු ජනාධිපතිතුමාට ශක්තිය ලබාදෙන්න මම ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ඉහත අදහස් පළකර තිබුණේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂය. ඒ දෙසැම්බර් 30 දින කොළඹ අලූත්කඬේ පේ‍්‍රමදාස පිළිරුව අසලදී පැවති අජන්ත ලියනගේ මිත‍්‍රත්ව පදනම විසින් සංවිධානය කරන ලද පාසල් පොත් හා උපකරණ බෙදාදීමේ උත්සවයකදීය. ඊට අමාත්‍ය ජීවන් කුමාරණතුංග මෙන්ම ඉසිපතන විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු වන ගාමිණී රත්නකුමාර යන අයද සහභාගි වී ඇත.
එම උත්සවය වූ කලී පැහැදිලිවම ජනාධිපතිවරණ ප‍්‍රචාරක උත්සවයකි. යම් උපකරණ හෝ වෙනත් දෑ බෙදාහැරීම් ආදී උත්සවවලදී මහින්ද රාජපක්ෂ පාලන යුගයට පෙර අප දැක්කේ ඒවාහී ප‍්‍රධාන ආරාධිතයන් වශයෙන් දේශපාලනඥයන් සහභාගි වන බව පමණය. අමාත්‍යාංශ ලේකම්වරුන් ප‍්‍රධාන අමුත්තන් වන බවක් අප දැක තිබුණේ නැත. එහෙත් දැන් සිදුවී ඇත්තේ අමාත්‍යවරුන් දෙපස තබාගෙන මුලසුනේ හිඳිමින් අමාත්‍යාංශ ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ උත්සවවල ප‍්‍රධානියා වශයෙන් කටයුතු කරන ආකාරයයි. උදාහරණයකට ඉහතින් සඳහන් කරන ලද පාසල් පොත් හා උපකරණ බෙදාදීමේ උත්සවය ගත්තත් ඊට අමාත්‍යාංශ ලේකම්වරයකු අවශ්‍ය නම් ආරාධනා කළයුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාටය. සැබෑ රාජ්‍ය නිලධාරියකු නම් තමන්ට නොගැළපෙන උත්සවයක් සඳහා ආරාධනා කළ විට එය ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රතික්ෂේප කළ යුතුය.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් එය එසේවන්නේ නැත. ඔහු ඔහුගේ සොයුරු මහින්ද රාජපක්ෂ විසින් පරිපාලන සේවයෙන් බැහැරව පත්කරන ලද ලේකම්වරයෙක්ය. අමාත්‍යාංශයේ පරිපාලන කටයුතුවලට අමතරව ඔහු කරන්නේම සිය පවුලේ අවශ්‍යතාව වෙනුවෙන් දේශපාලන කටයුතුවල යෙදීමය. මේ ආකාරයට ඔහු දේශපාලන කටයුතුවල යෙදෙන පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර පසුගිය පළාත් සභා මැතිවරණයේදීද, කොළඹ මහ නගර සභා මැතිවරණයේදීද, පාර්ලිමේන්තු මැතිවරණයේදීද ඔහු දේශපාලන වේදිකාවට ගොඩවූවේය.
රටේ රාජ්‍ය නිලධාරීන්ගේ විනය පාලනය සඳහා ඇති ආයතන සංග‍්‍රහය අනුව මාණ්ඩලික මට්ටමේ රජයේ නිලධාරීන්ට ප‍්‍රසිද්ධ දේශපාලන අයිතිවාසිකම් නැත. ඔවුන්ට ඇත්තේ යම් ඡුන්ද අවස්ථාවකදී ඔවුන්ගේ රහසිගත ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අවකාශය පමණය. එසේ කර ඇත්තේ රාජ්‍යයත්, රාජ්‍යයේ සම්පතුත් මැතිවරණයකදී අවභාවිතවීම වැළැක්වීම සඳහා හා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහාය. එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයා යනු ඉහත කී මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් ආයතන සංග‍්‍රහය කඩ කළ අවස්ථාවලදී ඔවුන්ගේ විනය බලධාරියා වන්නේය. ඒ අනුව මේ උදාවී ඇත්තේ විනය බලධාරියාම විනය කඩන සමයකි. මැතිවරණ අවස්ථාවක ඔහු විනය කඩන විට මැතිවරණ කොමසාරිස්වරයාටද ඔහු සම්බන්ධයෙන් ගතහැකි පියවරක් නැත. ඔහුට හැක්කේ ලද පැමිණිල්ලක් ලේකම්වරුන් පත්කරන ජනාධිපතිවරයාට යැවීම පමණය. එය සලකා විනය පියවර ගතයුත්තේ ජනාධිපතිවරයාය. එහෙත් ජනාධිපතිවරයාට එය අදාළ නොවන්නේ, ඒ ඔහුගේ සහෝදරයා නිසාය. සහෝදරයා ඔහු වෙනුවෙනුත් ඔහු නායකත්වය දරන පක්ෂය වෙනුවෙනුත් දේශපාලනය කරන බැවින්ය. රටක සැමට සමාන නීතියක් ක‍්‍රියාත්මකවන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ අද සිටිය යුත්තේ අමාත්‍යාංශ ලේකම් ධුරයේ නොව ගෙදරය. උදාහරණයකට මේ ජනාධිපතිවරණයම ගතහොත් දැනටමත් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග අනුව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ප‍්‍රධානියාගේ වැඩ අත්හිටුවා ඇත්තේ ඔහු යම් අපේක්ෂකයකුට පක්ෂග‍්‍රාහීව කටයුතුකළේ යන චෝදනාව යටතේය. තවද කොළඹ මහ නගර සභාවේ ක‍්‍රීඩා හා විනෝදාංශ භූමි දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියාගේ සේවය අත්හිටුවා ඇත්තේද යම් අපේක්ෂකයකුට වාසිවන ආකාරයට කටයුතු කළා යන චෝදනාව යටතේය.
ඒ සියල්ලෙන් පෙනෙන්නේ මැතිවරණ නීතිය රාජපක්ෂවරුන්ට හැර අනෙකුත් අය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන බවය. එහි සැබෑ අනෙක් තේරුමවන්නේ රටේ ඇත්තේ නීතිය නොව අවනීතිය බවය.
මේ අවනීතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කරනු ලැබූයේ රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය සඳහා පැවති ඡුන්දයෙන් අනතුරුවය. එහිදී එම ධුරයට පත්වූයේ ජනපති වැඩිමහල් සොයුරු කතානායක චමල් රාජපක්ෂගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂය. ඉන් ටික කලකට පසු එළැඹි ඌව පළාත් සභා මැතිවරණයට ශෂීන්ද්‍ර රාජපක්ෂද තරග කර ප‍්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත්විය. විහාර දේවාලගම් ආඥා පනත යටතට වැටෙන දේවාලවල ප‍්‍රධානීන් සම්බන්ධයෙන් වූ කොන්දේසි ශෂීන්ද්‍ර රාජපක්ෂ සම්බන්ධයෙන් නොගැළපිණ. විහාර දේවාවලගම් ආඥා පනත අනුව රජයෙන් යම්කිසි වැටුපක් හෝ දීමනාවක් ලබන පුද්ගලයකුට එම ආඥා පනත යටතට ගැනෙන දේවාලයක ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ නොහැකිය. ඒ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂට තෝරා ගැනීමට තිබුණේ එක්කෝ ඌව ප‍්‍රධාන ඇමති ධුරයය. නැත්නම් රුහුණ මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරයය. එහෙත් ඒ අවස්ථාවේ එය එසේ නොවී ඔහුගේ පිහිටට ආවේ ඔහුගේ බාප්පා වන ජනාධිපති මහින්ද රාජපක්ෂය. මේ ජනාධිපති බාප්පා ඔහුගේ විධායක ජනාධිපති බලතල පාවිච්චි කරමින් ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇති නුසුදුසුකම රුහුණු මහා කතරගම දේවාලයට පමණක් සීමාවන පරිදි ඉවත් කළේය. එම පනත යටතට වැටෙන අනෙකුත් දේවාලවලට එම නුසුදුසුකම ඉතිරි කළේය. මේ ජනාධිපති බාප්පා ඉන්ද නැවතුණේ නැත. බස්නායක නිලමේ තනතුරේ ධුර කාලය අවසන්වීමෙන් පසු තැබිය යුතු නිලවරණය නොපවත්වන්නට ඔහුගේ බලතල යටතේ අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් පළකරමින් ශෂීන්ද්‍ර රාජපක්ෂගේ බස්නායක නිලමේ ධුර කාලය නිලවරණයකින් තොරව දික් කළේය. වසරින් වසර අතිවිශේෂ ගැසට් මගින් දික් කරනු ලැබූ මේ කාලය දැන් බස්නායක නිලමේ තනතුරේ ධුර කාල දෙකක් සම්පූර්ණ කර තිබේ. ඒ එක් ධුර කාලයක් සඳහා පත්වී බාප්පාගේ පිිහිටෙන් ධුර කාල දෙකක් හිඳීම දක්වා කාලය දික්කර ගැනීමකි. ජේ.ආර්.ගේ ලාම්පු කළගෙඩි සෙල්ලමටත් වඩා මෙය භයානකය. මන්ද එම ධුරය පත්කිරීමට ඡුන්දය භාවිත කරන කිසිවකුගෙන් විමසීමක් මේ යටතේ කර නැති බැවිනි.
ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් වූ කෙරුවාවේද වෙනසක් නැත. රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිසියාකාරව ක‍්‍රියාත්මකවන්නේ නම් ඔහුටද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය මේ වනවිට දැරිය නොහැකිය. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය දැරීම සඳහා නුසුදුසුකමක් ඔහු සපුරා තිබූ බැවින්ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව රජය හෝ රජයේ ආයතනයක් සමග යම් ගිවිසුමකට එළැඹීම යම් තැනැත්තකුට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට නුසුදුසුකමක් වන්නේය. නාමල් රාජපක්ෂ එම නුසුදුසුකම සපුරා ගනු ලැබූයේ ශ‍්‍රී ලංකා නාවික හමුදා රගර් කණ්ඩායම නියෝජනය කිරීම තුළින්ය. ඔහු ශ‍්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයකු නොවන අතර නාවික හමුදා සාමාජිකයන් නොව අනෙකුත් ක‍්‍රීඩකන් නාවික හමුදා රගර් කණ්ඩායම නියෝජනය කරන ආකාරයටම ඔහුද රගර් කණ්ඩායමට ක‍්‍රීඩා කිරීම සඳහා නාවික හමුදාව සමග ගිවිසුමකට යායුතුව ඇත. එය එසේ නොවන්නේ නම් නාවික හමුදාව සම්බන්ධයෙන් තත්ත්වය ඊටත් වඩා බරපතළය. ඕනෑම රස්තියාදුකාරයකුට තමන් කැමති විට පැමිණ නවාතැන් ගන්නත්, කැමති විට යළි යෑමටත් හැකි අම්බලමක තත්ත්වයට නාවික හමුදාව ඒ නිසා පත්වන්නේය. මීට පෙර රාජිත සේනාරත්නගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය අහිමිවීමට බලපෑවේද මේ ආකාරයේ ගිවිසුම් සිදුවීමක්ය. අද ජනාධිපතිවරණ ප‍්‍රචාරය සඳහා ආණ්ඩුව විසින් නිෂ්පාදනය කර බෙදාහරින මඩෙන් කියන ආකාරයට ටෙන්ඩර් මගඩියක් නිසා ඔහුගේ මන්ත‍්‍රීධුරය අහිමි වූයේ නැත. ඔහුට මන්ත‍්‍රී ධුරය අහිමි වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සැපයුම්කාර සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් ඔහු කටයුතු කිරීම නිසාය. පසුව එම අධ්‍යක්ෂ ධුරයෙන් ඔහු ඉවත්වූ පසු නැවත ඔහු පාර්ලිමේන්තුවට නම් කරනු ලැබීය.
මෙයාකාරයේ නුසුදුසුකමක් පැන නැගි අවස්ථාවකදී මුලින්ම ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගත යුතු අතර පසුව අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාගත යුතුය. එදා රාජිත සේනාරත්නට එරෙහිව අභියාචනාධිකරණයට ගියේ ඩිලාන් පෙරේරාය. අද නාමල් රාජපක්ෂගේ නුසුදුසුකම ගැන ප‍්‍රශ්න කරන්නට හෝ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නට නීතියට අනුව සියල්ලම සිදුවිය යුතුයැයි කියන ආණ්ඩුවේ කිසිවකු ඉදිරිපත්වන්නේ නැත. ඊට හේතු පැහැදිලිය. ඒ රාජපක්ෂවරුන්ට ඇති බියය. අනෙක රාජපක්ෂවරුන් නීතියට අවනත හෝ නීතියට යටත් නැති බව ඔවුන් දන්නා නිසාය.
ශ‍්‍රී ලංකාවට නැවතත් රජවරුන්ගේ පාලනයක් අවශ්‍ය නැත. අවශ්‍යවන්නේ රටේ සෑම පුරවැසියකු සම්බන්ධයෙන්ම නීතිය ක‍්‍රියාත්මක වන පුරවැසියන් නීතියේ පාලනයට යටත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ නූතන රාජ්‍ය ක‍්‍රමයකි. ඒ සඳහා අනිවාර්ය කොන්දේසියවන්නේ මේ තීරණාත්මක අවස්ථාවේදී රාජපක්ෂවරුන්ගේ පාලනය අවසන් කිරීමය.

No comments:

Post a Comment