Monday, January 5, 2015

ඒ කීර්ති රේඛාව විරල ඝනයේ එකකි..! මෛත්‍රීගේ අත බලා කියන සාස්තරයක්

(ලංකා ඊ නිව්ස් -2015.ජන.06, පෙ.ව.6.30) ජනාධිපතිවරණය සමග ලංකා ජනසමාජය දේශපාලනික වශයෙන් පිබිදී තිබේ. අනාගතයේදී සිදුවිය හැකි දේ පිළිබදව නක්ෂත්‍රතරැවන් ඇතුලු බොහෝ දෙනෙක් බොහෝදේ කියති. ඒ ඔවුනොවුන්ට සිතෙන පරිදි සහ තම තමන් අනුගමනය කරන ගුරුකුල වල උගන්වා ඇති පරිදිය. තවත් අය ඉතා වංචනික ලෙස තමන් දන්නා දේ සඟවා එයට ප්‍රතිවිරුද්ධ දේ කියමින් තමන් ලබමින් සිටින වරප්‍රසාද රැකගැනීමට තම හාම්පුතා පිනවති. මෙය ශාස්ත්‍රයට මෙන්ම තම හාම්පුතාටද කරන ද්‍රෝහි කමකි. මක් නිසාද යත්, ඉන් ශාස්ත්‍රය හෑල්ලුවන අතරම හාම්පුතාද අමාරුවේ වැටෙන පහත් ක්‍රියාවක් හෙයිනි.
මේ පිළිබඳව උනන්දුවක් දක්වන ජනතාව දැනගත යුතු කරුණු කිහිපයක් අප විසින් දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂණය කර ඇති දැනුම, තොරතුරු හා දත්ත ඇසුරින් පැහැදිලි කිරීම අපගේ යුතුකමකි. ඒ සඳහා නක්ෂත්‍ර විද්‍යාව මෙන්ම සාමුද්‍රික ශාස්ත්‍රය හෙවත් හස්ත රේඛා ශාස්ත්‍රයද ඇසුරු කොටගනිමින් කරුණු ඉදිරිපත් කරමු.
අද ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇත්තේ ආර්ථික සහ සංවර්ධන කේෂත්‍ර වල පොළාපැනීමකි. එය කුම්භ ලග්නය අයත් ලංකා කේන්ද්‍රයේද සටහන්ව තිබේ. එවැන්නක් තනි පුද්ගලයෙකුට කළ හැක්කක් නොවන නිසා ස්වභාව ධර්මය ඉතා ආස්වාද ජනක ලෙස මෙ මොහොතේ නායකයන් රැසක් එක පෙළට තබා තිබේ.
චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී, ෆොන්සේකා, චම්පික, රාජිත, මංගල, කරු වැනි අයගෙන් සමන්විත සාමූහික නායකත්වයක් සහ සාමූහික වැඩපිළිවෙලක් ගැන දැන් සාකච්ඡා වෙමින් තිබේ. මේ අතර උතුරු නැගෙනහිරද සාමකාමී සහජීවනයට සූදානම් සහ ඒ සඳහා සුදුසු උගත්කමද පළපුරුද්ද ද ඇති සම්බන්ධන්, විග්නේෂවරන්, සුමන්දිරන් වැනි නායකයෝ පහළ වි සිටිති. මෙය ශ්‍රී ලංකා දිවයිනට කලකට පසු උදාවී ඇති ස්වර්ණමය අවස්ථාවකි. එසේම අත නොහැරිය යුතු, මගහැර නොයායුතු දෛවෝපගත තත්ත්වයකි.
ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා සිකුරු ග්‍රහයා අධිපතිත්වය දරන තුලා ලග්නයට හිමිකරුවෙකි. එහෙයින් ඔහු ස්වභාවයෙන්ම සාධාරණත්වයට හා යුක්ති ධර්මයට ගරුකරන්නෙකි. හස්ත්‍ර රේඛා ශාස්ත්‍රයට අනුව ඔහුට හිමිව ඇත්තේ චතුරශ්‍රාකාර හස්තයකි. එහි තේරුම නිර්මාණාත්මක චින්තනයක් සහිත දාර්ශනික පක්ෂයට බර වූ සිතක් ඇත්තකු බවය. ඔහුගේ අතෙහි ඇඟිලි එක් වු කළ්හී ඇඟිලි සියල්ල මැදඟිල්ල වෙත නැමී පද්ම ස්වභාවයක් ඇති කරයි. ඉන් කියැවෙන්නේ ඔහු බලයට හෝ සුඛෝපභෝගීත්වයට කෑදර නැති ලෞකික පැත්තට වඩා ලෝකෝත්තර පැත්තට බර ඇති බවයි. අතෙහි ඇඟිළි සියල්ල එක්තැන් කළ කල්හී ඇඟිලි අතර සිදුරු නැති තත්ත්වය කියා පාන්නේ අනවශ්‍ය වියදම් බොරු සෝභන වලට ලැදියාවක් නැති සකසුරුවම් කෙනෙකු බවය.
ඔහුගේ අත ඉතා පැහැපත් ය. අතෙහි මණ්ඩල ඉතා හොඳින් උස්ව පිහිටා ඇත. ප්‍රධාන රේඛාවන් ඉතා පැහැදිලිය නිර්බාධිතය. මණ්ඩලාකාර ප්‍රදේශ උස්ව පිහිටමින් අත්ල මත ත්‍රිකෝණාකාර නිම්නයක් හෙවත් කුජ තලාව ගැඹුරු ලෙස තැනී තිබීමෙන් පෙන්වා ඇත්තේ ඔහු රණකාමීත්වයට වඩා ජනතාව කෙරෙහි කරුණාවන්ත හිතක් ඇති නායකයෙකු බවය.
ඔහුගේ අතේ කැපීපෙනෙන වැදගත්ම රේඛාව වන්නේ උස්ව ප්‍රබලව ඇති රවි මණ්ඩලය මතින් වැටී ඇති. තියුනු කීර්ති රේඛාවය. එය සම්මත වශයෙන් හඳුන්වනු ලබන්නේ රවී රේඛාව ලෙසය. එම රේඛාව තියුනු ලෙස ඇති තැනැත්තෝ ජන සමාජයේ ප්‍රසිද්ධියට බුහුමනට ලක්වන්නෝ වෙති. මෛත්‍රීගේ අතෙහි පිහිටා ඇති මෙම කීර්ති රේඛාවෙහි විරල ලක්ෂණයක් අප නිරීක්ෂනය කර තිබේ. එනම් එය වෙදැගිල්ල පාමුල රවි මණ්ඩලය මතුපිටදී දෙකට බෙදී යාමය. මෙම සුවිශේෂ ලක්ෂණය හේතුවෙන් ඔහුගේ කීර්තිය සහ ඔහු කෙරෙහි ජනතාවගේ ඇතිවන ගරුත්වය කවදා හෝ ඔහු මිය යන තුරුම එක ලෙස තිබෙනු ඇත.
අප පෙරකී පරිදි මේ මොහොතේ රටේ වුවමනාව ඉටුකිරීම සඳහා සුදුසු නායකත්වය ඉරණම විසින් හෝ ග්‍රහබලය විසින් හෝ ස්වභාව ධර්මයාගේ තෝරාගැනීම විසින් හෝ ලක් ජනතාව ඉදිරියෙහි තබා තිබේ. එය තෝරා ගැනීම හෝ නොගැනීම ඔවුන් සතුය. මීට පෙරද එවැනි අවස්ථාවන් ලැබී එ්වා මගහැරී ගිය අවස්ථා එමට අපට තිබේ. එහෙයින් මෙම අනගි අවස්ථාව ජනතාව නැණවත් ලෙස ප්‍රයෝජනයට ගන්නවා ඇතැයි අපි සිතමු.

ජොතීර්වේදී ධර්ම බන්ධු මාපළගම
සිරිපති ජ්‍යෙතිෂ පර්යේෂණ ආයතනය

No comments:

Post a Comment