Monday, December 22, 2014

මෛත‍්‍රී රැල්ලක්

ජනාධිපතිවරණය ඡන්දදායකයන්ගේ හැසිරීම පිළිබඳව කර තිබෙන සමහර අධ්‍යයනයන් අනුව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාලට තිබෙන මහජන පිළිගැනීම ශීඝ‍්‍ර ලෙස ඉහළ යමින් ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබෙන පිළිගැනීම ශීඝ‍්‍රයෙන් පහළ වැටෙමින් පවතී. නාමයෝජනාවලින් පසුව මුල් දින හය තුළ පොදු අපේක්ෂකයාට වාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරන ලද්දේ නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල පමණය. ග‍්‍රාමීය ප‍්‍රදේශවල ප‍්‍රබල තත්ත්වයක සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. එහෙත් ඉන්පසු එළැඹෙන දින තුනේදී මෛත‍්‍රීපාල රැුල්ල ග‍්‍රාමීය ප‍්‍රදේශවලද පැතිරයමින් ජනාධිපති මහින්ද රාජපක්ෂට ග‍්‍රාමීය ප‍්‍රදේශවල තිබුණු ආධිපත්‍යයේ ශීඝ‍්‍ර බිඳ වැටීමක් සිදුවී තිබේ.

ඒ සියල්ල එසේ සිදුවී තිබෙන්නේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන වෙනුවෙන් මැතිවරණ ප‍්‍රකාශයක් හෝ වෙනත් කිසිදු පත‍්‍රිකාවක් පවා නොබෙදා තිබියදී හා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් වැඩි කොටසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වාසිදායක මාධ්‍ය ආවරණයක් ලබාදෙමින් තිබියදීය. අනෙක් අතට මෛත‍්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහන තවමත් තිබෙන්නේ අසංවිධා නාත්මක හා දුප්පත් තත්ත්වයකය. ජනාධිපති වරයාගේ ප‍්‍රචාරක වැඩසටහන තිබෙන්නේ නිර්ලෝභීව අතිවිශාල ධනයක් විසිකෙරෙන ඉතාමත් ධනවත් තත්ත්වයකය. ජනාධිපති වරයාගේ ප‍්‍රචාරක රැුස්වීම්වලට සහභාගි වන පිරිසෙන් වැඩි හරියක් පිටස්තර ප‍්‍රදේශවලින් ලංගම බස්වලින් ගෙනෙන මිනිසුන්ගෙන් සමන්විත වන බව මහජනයා හඳුනාගෙන තිබේ. විශාල ප‍්‍රචාරයක් නැතිවත් මෛත‍්‍රීපාල වෙනුවෙන් මෙතෙක් පැවැත්වුණු හැම රැුස්වීමකටම පාහේ විශාල මහජන සහභාගිත්වයක් ලැබී තිබේ.

ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ප‍්‍රකාශ කිරීමෙන් පසුව මහජනයාට ලබාදී තිබෙන සහනවල ප‍්‍රමාණය අතිවිශාල වුවත් ඒ කිසිවක් ජනාධිපතිවරයාගේ තත්ත්වය ශක්තිමත් කිරීමට හේතුවී නැති බවද පෙනේ. ජනාධිපතිවරයාගේ ඡුන්ද ව්‍යාපාරයට මෙතෙක් කිසිදු ජනාධිපතිවරණයකදී දක්නට නොලැබුණු ආකාරයට මහා පරිමාණයෙන් මුදල් විසිකිරීමේ පිළිවෙතද මහජන විරෝධයට හේතුවී තිබෙන වැදගත් සාධකයක් වන බවද පෙනේ. මෛත‍්‍රීපාල සිරිසේනට පක්ෂපාතව ගොඩනැගී තිබෙන මෙම මහජන පෙළගැස්ම ආරක්ෂා කරගනිමින් ඉදිරියට යාමට ඔහු සමත් වෙතොත් ජනාධිපතිවරයාගේ ඡුන්ද යාන්ත‍්‍රණයේ ක‍්‍රියාකාරීත්වය බිඳ වැටී කැපී පෙනෙන ජයග‍්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වනු ඇති බවද පෙනෙන්නට තිබේ.


No comments:

Post a Comment