Saturday, May 16, 2015

අපට ගෝඨාභය විතරයි කන් දුන්නෙ – ඥාණසාර හිමි

කල්ප අනුත්තර – උපුටා ගැනීම : රන්දිව 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රංශ පුවත් සේවයට කියා තිබුණා බොදු බල සේනාව බටහිර සමඟ කළ කුමන්ත‍්‍රණය ඔහුගේ පරාජයට හේතුවක් වුණා කියලා. මේ ගැන ඔබවහන්සේගේ විග‍්‍රහය මොකක්ද?
සම්පූර්ණයෙන්ම වැරැදි අදහසක්. අපි දන්නෑ එතුමා මොන කරුණු පදනම් කරගෙන අපිට ඒ චෝදනාව කරනවද කියලා මොකද, හේතුව එතුමාගේ රජය පැවති අවධියේ නිතරම වගේ බටහිර ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ පිළිබඳ කතා කරන විමල් වීරවංශ අමාත්‍යවරයාත් මහින්ද රාජපක්ෂ මහතාගේ රජය කාලේ ඔය චෝදනාව එලෙසින්ම අපට එලෙසම කළා 2013 මැයිවලදී.
අදත් අපිට පේනවා විමල් වීරවංශලා, ඩිලාන් පෙරේරා වැනි දේශපාලනඥයෝ ඇතැම් වාමාංශික නායකයෝ දිගින් දිගටම ඒ චෝදනාව අපිට එල්ල කරනවා ඒ විතරක් නෙවෙයි අපිට පුදුම මේ දයාන් ජයතිලකලා වගේ උදවිය පවා කිසිදු කරුණක් නොවිමසා මේක මේ බටහිර බලවේගයක් කියලා චෝදනා කරනවා. කවුරුහරි චෝදනාවක් කරනවා නම් ඒක මහින්දටත් විවෘතයි.
ඒ වගේම අපි ලැජ්ජා වෙනවා කේ.පී. වගේ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදියකු ලංකාවට ගේන්න පුළුවන් තරම් මෙහෙයුමක් දියත් කළ හැකි බුද්ධි අංශ තිබෙද්දී ඒ වගේම පරාජය කරන්න බෑ කියපු ත‍්‍රස්තවාදයක් පරාජය කරලා ජාත්‍යන්තර වශයෙනුත් නම් දරාගෙන හිටපු ත‍්‍රස්තවාදීන් හඳුනාගෙන, ඔවුන් අත්අඩංගුවට අරගෙන නීතිය හමුවට පමුණුවලා ඒ රාජකාරි කරන්න පුළුවන් දක්ෂ බුද්ධි ජාලයක් තියෙන රටක බොදු බල සේනාව කරන්නෙ නෝර්වේ කොන්ත‍්‍රාත්තුවක්ද? නැද්ද? කියන එක හොයාගන්න බැරි වීම ගැන.
බොදු බල සේනාව බිහි වුණේ ඇයි?
බොදු බල සේනාව කියලා කියන්නෙ අහම්බයක් නෙවෙයි. බොදු බල සේනාව බිහිවෙන්නෙ එවකට ඒ සමාජය තුළ ගොඩනැගුණු අතිශය ප‍්‍රශ්නකාරී වූත් අර්බුදකාරී වූත් වටපිටාවක් සමඟයි. හැරත් අපේ ජීවිතයේ ජීවන භාවිතාව තුළ ගත්තොත් අපි අවුරුදු 20ක් විතර මේ ජාතික ව්‍යාපාරයේ දිගටම නියැළිලා ඉන්නවා. ඒ එක එක ස්ථරයන්හි අපි වැඩ කර තියෙනවා. අපි මේ සියලු අත්දැකීම් එකතු කරගෙන අලුත් පිරිසක් එක්ක රටට ගැළපෙන ආකාරයට මේ වැඩපිළිවෙළ පටන් ගත්තා.
මේකෙදි හැමෝටම තිබිච්ච ප‍්‍රශ්නයක් තමයි බොදු බල සේනාවට මේ තරම් සල්ලි ලැබුණෙ කොහෙන්ද කියලා?
ඒක හොඳ ප‍්‍රශ්නයක්. අපි හිතනවා මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයකට නැති කිසිදු සංවිධානයකට නැති අති දැවැන්ත සමාජ ප‍්‍රාග්ධනයක් අපි එකතු කරගෙන තියෙනවා. ඒ එකතු කරගත්ත සමාජ ප‍්‍රාග්ධනය තමයි බොදු බල සේනාවේ ශක්තිය බවට පත්වුණේ.
අපි විශේෂයෙන්ම විදෙස්ගතව ඉන්න අපේ දේශපේ‍්‍රමී ජාතිමාමක සිංහල අය, ඒ වගේම සිංහල කතෝලිකයන්. ඒ විතරක් නෙවෙයි හින්දුන් පවා අපේ වැඩපිළිවෙළට උදව් කර තිබෙනවා. ඒ හැම කෙනෙක්ම උදව් කළේ අන් කිසිවක් නිසා නෙවෙයි විශේෂයෙන් මේ රට තුළ මේ මොහොත වෙද්දිත් බරපතළ ගැටලුවක්ව පවතින කිසිදු විසඳුමක් ලැබී නැති, සදාචාර විරෝධී හා නීති විරෝධී අන්‍යාගමිකකරණය පිළිබඳ ප‍්‍රශ්නවලට එරෙහිවයි.
පසුගිය කාලයේ චෝදනා තිබ්බා බොදු බල සේනා සංවිධානයට රාජ්‍ය අනුග‍්‍රහය ලැබුණා කියලා. හිටපු ජනාධිපතිවරයා ළඟදි කරපු ප‍්‍රකාශයක් ඊට සාක්ෂි දරනවා. ඒ මඟින් එතුමා කිව්වා බොදු බල සේනාව කරපු දේවල්වලට පරීක්ෂණ කරලා දඬුවම් දුන්නෙ නෑ කියා. ඒ ගැන ඔබවහන්සේ මොකද හිතන්නෙ?
කාරණා දෙකක්. පළවැනි දේ තමයි නීතිය ක‍්‍රියාත්මක කරන්න අපි වැරැද්දක් කරන්න ඕන. අපි විශ්වාස කරනවා මේ රටේ පවතින නීතියට පිටින් අපි කිසිවක් කරලා නැති බව. අපිට නීතිය ක‍්‍රියාත්මක නොවුණා කියලා කියන්න බෑ. දැන් උදාහරණයක් විදිහට නිපොන් හෝටලයේ සිද්ධිය ගත්තොත් අපිට නඩු පවරලා තියෙනවා. මාස ගණනාවක් තිස්සෙ උසාවි යනවා. ඒ වගේම කුරානයට අපහාස කළා කියලා තවත් චෝදනාවක් එල්ල කරලා තියෙනවා. ඒකටත් අපි උසාවි යනවා. මම හිතන්නෙ උසාවි ගණනාවක අපිට නඩු පවරලා තියෙනවා. ඒ නිසා නීතිය ක‍්‍රියාත්මක නොවුණා කියන්න බෑ.
හැබැයි නීතිය ක‍්‍රියාත්මක කරන්න හේතුවක් තියෙන්න ́ඕන. අපි කොතැනකදීවත් කිසිදු ගැටුමක් නිර්මාණය කරලා නැහැ. හැබැයි ඇතැම් අන්තවාදී මාධ්‍යවේදීන් ගැටුම් නිර්මාණය කළා ඒ වගේම ඒගොල්ලන් ලියපු කියපු දේවල් සහ දේශපාලනඥයොත් ගැටුම් නිර්මාණය කළා.
ඒ වගේම හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය පිළිබඳ අපිට ලැජ්ජ හිතෙනවා. මොකද කුමන්ත‍්‍රණයක් තියෙනවා කියලා දැනගත්තා නම් ඒ වෙලාවෙ ගෙන්නලා සාකච්ඡා කරලා ඒක විසුරුවා හරින්න එපායැ. දැන් මේ වෙන වෙන බයිලා කතා කියලා හරියන්නෙ නෑ. ඉතින් දැනුත් අපිට පේනවා, උන්නැහේ ඉල්ලගෙන කෑවෙත් ඒකනෙ. ඒ වැරැදි උපදේශකයෝ වටේ තියාගෙන පරාජයට පත්වෙලා දැන් මේ වට වන්දනාවේ ගියාට හරියන්නෙ නෑ අනුන්ට බැන බැන.
දැන් අපිට අහන්න තියෙන්නෙ බොදු බල සේනා සංවිධානය නිසා නම් උන්නැහේ පැරදුණේ 2010 අවුරුද්දේ තිබිච්ච ජනාධිපතිවරණයේදී 2005ට වඩා ඡන්ද දහඅට ලක්ෂයක් ගත්තා. එතකොට ඒ ඡන්ද දහඅට ලක්ෂය නැති වුණේ අපි නිසාද. ඊළඟට තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ හිටපු ප‍්‍රධාන ඇමැතිවරයෙක් මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා, අපි දන්නවා අගමැති සිහිනෙනුත් හිටියා ඒ කාලේ. ඉතින් ඒවා හරියට කළමනාකරණය කරගත්තා නම් සමහර වෙලාවට සිරිසේන මහත්තයා වගේ කෙනෙක් ඔහුගේ ප‍්‍රතිවාදියා නොවෙන්න තිබුණා.
එතකොට ඒ තමන්ගේ කැබිනට් එකේ හිටපු ඇමැතිවරයා පොදු අපේක්ෂකයා වෙනවා කියලා හොයාගන්න බැරිවෙච්ච මහින්ද කොහොමද නෝර්වේ කුමන්ත‍්‍රණ ගැන හොයන්නෙ. එතැන ඔහු ෆේල් සෝල්ජර් කෙනෙක්. ඊළඟට අනිත් කාරණාව තමයි මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් වෙලා පොදු අපේක්ෂකයා වුණෙත් බොදු බල සේනාව හින්ද ද?
ජාතිවාදී ප‍්‍රකාශ කිරීම පිළිබඳ බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයන්ටත් විශේෂයෙන්ම ඔබවහන්සේටත් චෝදනා තියෙනවා ?
මේකත් හොඳ ප‍්‍රශ්නයක්, සාකච්ඡා කළ යුතු ගැටලුවක්. මේ රට තුළ දේශපාලනය කරන ඇතැම් දේශපාලන නායකයෝ, ඒ වගේම අන්‍ය ජාතික ආගමික පූජකවරු හෝ ඒ නායකයන් මේ ජාතිවාදය මොකක්ද? ජාතිකවාදය මොකක්ද? කියලා නොදැනීම ප‍්‍රශ්නයක්.
අපි කොතැනකදීවත් මේ රටේ ජීවත්වන අපේ සහෝදර මුස්ලිම් හෝ දෙමළ ජනයා ඉලක්ක කරගෙන වෛරී දේශන පැවැත්වූවේ නෑ. අපි කතා කළේ මිනිස්සුන්ගේ හදවතට. මම හිතනවා ඒක තදින් කරපු කතාවක් නෙවෙයි. හදවතට කතා කරපු දේශනාවක්.
ඒ වගේම බොහෝ අය කිව්වා බොහොම සද්දෙට අපේ කතාව ගෙනිච්චා කියලා. ඉතාම සරල උදාහරණයක් කිව්වොත් ඔබ දන්නවා මේ මඟ තොටේ යානවාහනවල යනකොට….හෝන් එක ගැහුවත් අයින් නොවන ජාතියකට හෙමිහිට කතා කරලා බැරි බව. අපි නිර්වින්දනය වෙච්ච ජාතියක්, ජාතිය කියන එකෙන් අදහස් කරන්නෙ සිංහලයො විතරක් නෙවෙයි. වගකීම් පැහැර හරිමින් රට තුළ දවසින් දවස බුර බුරා නැගෙන මුස්ලිම් අන්තවාදය වෙන්න පුළුවන්, ක‍්‍රිස්තියානි මූලධර්මවාදය වෙන්න පුළුවන්, සිංහල අන්තවාදය වෙන්න පුළුවන් මොනවා හෝ කාරණා ගැන නිශ්ශබ්දව වගකීම් පැහැර හරිමින් ඉන්න සියලුදෙනාම අවදි කරන්න අපට වුවමනා වුණා.
සුළුතර ජාතිවාදය හරි බහුතර ජාතිවාදය හරි මේකෙන් රටට හානියක් වෙලා තියෙනවද? ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවය ගොඩනැගීමට මේක බාධාවක් වෙලා තියෙනවද? මේ රට දියුණු කරන්න නම් අපට ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවයක් තුළ මේ සියලු දෙනාට එක සමානව සලකන සියලුදෙනාටම සතුටින් ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්න බොදු බල සේනා සංවිධානය කොහොමද කල්පනා කරන්නෙ ඒ ගැන මොනවා හරි වැඩපිළිවෙළක් කල්පනා කරනවද?
අපි කල්පනා කරනවා බරපතළ විදිහට සිංහල බෞද්ධයෝ බහුතරයක් වෙලා ඉන්න තාක්කල් අන් සියලු ජාතීන් සුරක්ෂිතයි කියලා.
එයත් එක්තරා විදිහක අන්තවාදී චින්තනයක් නොවේද?
ඔබට එහෙම හිතෙන්න පුළුවන්. ඔබට ආරාධනා කරනවා. ඔබ දෙහිවල කවුඩානට ගිහිල්ලා බලන්න. ඔබ කතා කරන ආගමික සහජීවනය එතැන තියෙනවද කියලා. ඔබ ගිහිල්ලා බලන්න කිරුළපන, ඔය කතා කරන ආගමික සහජීවනය අරවා මේවා හිටපු ජනාධිපති එතැන තියෙනවද කියලා. බලන්න අකුරන කාතන්කුඩියට ගිහිල්ලා. සරලව කිව්වොත් මුස්ලිම් බහුතරයක් ජීවත්වන තැනක සිංහලයා සුරක්ෂිතදැයි කියන්න. එක උදාහරණයක් විදිහට මුස්ලිම් පවුල් සීයක් ඉන්න තැනක සිංහල පවුලකට ජීවත්වෙන්න මේ රටේ ඉඩක් නෑ. හැබැයි සිංහල පවුල් සීයක් හිටියත් එක මුස්ලිම් පවුලක් තිබුණත් අදටත් ඒ මිනිස්සු සුරක්ෂිතයි.
අපි එක දෙයක් කියනවා, මුස්ලිම් මිනිහෙකුට වුණත් දෙමළ කෙනෙකුට වුණත් මැලේ, බර්ගර් ජාතිකයෙකුට වුණත් මේ රටේ රජවෙන්න පුළුවන්. මේ රටේ නායකත්වයට පත්වෙන්න පුළුවන්. හැබැයි ඔහු හෝ ඇය මේක සිංහල බෞද්ධ රටක් කියලා පිළිගත යුතුයි. මොකද සිංහලයන්ට බෞද්ධයන්ට තියෙන එකම රට මේක නිසා. රුසියාව, ඔස්ටේ‍්‍රලියාව, බෙල්ජියම, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ප‍්‍රංශය මේ රටවල් ගත්තොත් බහුතරය විසින් සුළුතරයට ප‍්‍රශ්න හදලා තියෙනවද? නැහැ.
මට තව එක දෙයක් කියන්න පුළුවන්. බලන්න මුස්ලිම් ජනයාගේ නමින්ම තියෙනවා පක්ෂයක් මුස්ලිම් කොංග‍්‍රසය කියලා. කවුරුවත් ඒක ජාතිවාදී පක්ෂයක් කියන්නෙ නෑ.
ද්‍රවිඩයින්ගේ නමින්ම තියෙනවා ද්‍රවිඩ සන්ධානය කියලා පක්ෂයක්. මේ හැම පක්ෂයකම ‘දමිළ’ කියලා සඳහන් වෙනවා. දමිළ දමිළ කියලා තමයි තියෙන්නෙ. කවුරුත් කියන්නෙ නෑ ඒවා ජාතිවාදී පක්ෂ කියලා.
හැබැයි අපි සිංහලයෝ හෝ හාමුදුරුවරු කවුරු හරි සිංහලයන් වෙනුවෙන් හරි බෞද්ධයන් වෙනුවෙන් හරි මොකක් හරි නමක් දාලා ඉස්සරහට එනකොට ‘අන්න ජාතිවාදී, අන්න ජාතිවාදී’ ගානවා. මොකක්ද මේකෙ තියෙන සාධාරණය.
සරලව ඔබ අහපු ප‍්‍රශ්නෙට උත්තරය නම් මම හිතනවා මේ රටේ ජාතික කොඩිය පවා වෙනස් විය යුතුයි. එතැන ඉඳලා මේ ජාතිය ගොඩනැගිය යුතුයි. එදා 48දී නිදහස ලබාගන්න කලින් සුද්දො මේ රට පාලනය කෙරුවේ බෙදා වෙන්කර පාලනය කිරීමේ තියරිය යටතේ. මම හිතනවා එදා සුද්දො කරපු දේ මේ ගෙවුණු අවුරුදු 66 තිස්සේ රට පාලනය කරපු කළු සුද්දෝ ඔක්කොම සුද්දන්ට වඩා හොඳට කළා.
ජාතික කොඩියට ඇයි පාටවල් දෙකක් එකතු කරන්නෙ?ඒ දෙමළ මිනිහත් මුස්ලිම් මිනිහත් මේ රටේ උපන් මිනිස්සු. ඒ සම අයිතිය ලැබෙන්නෙ නෑ කොඩියෙන්වත්. ගත්තොත් ඉන්දියාව අපේ අසල්වැසි රට. ඉන්දියාවේ ඉන්න ජාති ප‍්‍රමාණයට පාට දාන්න ගියොත් මං හිතන්නෙ නෑ ජීවිතේට කොඩියක් මහන්න වෙයි කියලා. එතැනම අපි වැරැද්දක් කරගෙන තියෙනවා.
නැවත සිංහ කොඩිය ගැනීම තුළ අපි සිංහල බහුතරයේ බලපෑම අනිත් අයට එල්ල කරන්න උත්සහ ගන්නවා නෙවෙයිද?
මම කියන්නෙ ඒක වැරැදියි. බලන්න රටේ කොච්චර ඉන්නවද ගත්තොත් දෙමළ උගතුන්, දෙමළ ධනවතුන්, මුස්ලිම් සමාජයත් එහෙමයි. ඇයි මේ සමාජයට අපිට මුහුවෙන්න බැරි? ඇයි හුරුවෙන්න බැරි? මේ රටේ ජීවත්වෙන සහෝදර ස්වදේශික මුස්ලිම් ජනයා අපේ මිනිස්සු. ඒ මිනිස්සුන්ට මදිපුංචිකමක් දැනෙන්නෙ නැද්ද කොඩියෙන් පොඩි කොටසක් විතරක් ඔවුන්ට තිබුණාම. දැන්වත් ‘එක රටක් එක නීතියක්’ කියන සංකල්පයට ඇවිල්ලා එක නීතියට රට යටත් කළ යුතුයි.
ඔබවහන්සේ දේශපාලන පක්ෂයක් හදනවද?
ඔව්.
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බොදු බල සේනා එක්ක තිබෙන සම්බන්ධය?
එතුමා ඉතාම දුර්ලභ ගණයේ මිනිහෙක්. ඒ වගේම අධිෂ්ඨානශීලී පුරුෂයෙක්. අපේ ගෞරවය දිනාගත්ත මනුස්සයෙක්. ඒ නිසාම අපි සහ එතුමාගේ නම සම්බන්ධ කරලා බොදු බල සේනාව පිටුපස එතුමා ඉන්නවා යැයි කියමින් එතුමාට කරන ගර්හාව අපි නැවැත්විය යුතුයි. එය පිළිකුලෙන් අපි බැහැර කරනවා. මොකද ගෝඨාභයට මොකක්ද තියෙන වුවමනාව බොදු බල සේනා වගේ සංවිධානයක් හදන්න. එතුමාට ත‍්‍රිවිධ හමුදාව තියෙනවනේ. ඇයි පොලීසිය? ලක්ෂ තුන හතරක නිල බලයෙන් හමුදාවක් තියෙද්දී මොකටද බොදු බල සේනාව වගේ කණ්ඩායමක් හදන්නෙ? මම හිතන්නෙ නෑ එහෙම ඔළුවෙ අමාරුවක් එතුමාට තියෙනවාය කියලා.
ඉතින් එක දෙයක් අපි කියන්න ඕන, පසුගිය ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂගේ පරාජයට හේතු හොයන්න. ලොකු දෙයක් කරන්නඕන නෑ. එතුමා කණ්ණාඩිය ගාවට ගිහිල්ලා පැය භාගයක් විතර හොඳින් සිහි නුවණින් කල්පනා කළා නම් මොකක්ද මං කරපු දේ කියලා… උත්තරය එතැනම තියෙනවා. නැතුව දැන් එක එක්කෙනාට චෝදනා කළාට වැඩක් නෑ.
මහින්ද රාජපක්ෂගේ යුගයේ සිංහලයාට මොකක්ද කළේ? යුද ජයග‍්‍රහණය හැරුණුකොට රට සංවර්ධන ක‍්‍රියාවලියකට ගෙනිච්චා. ඒකට අපේ ගරුත්වය තියෙනවා. හැබැයි ජාතියක් විදිහට පිරිහුණා, අපි බෙදුණා, කඩන් වැටුණා, ආධ්‍යාත්මිකව පිරිහිච්ච ජාතියක් බවට අපි පත්වුණා. ඒ නිසා නෙවෙයිද මිනිස්සු වෙනසක් ඉල්ලු වේ.
එතකොට ඒ ඒ අවස්ථාවන්වලදී පැන නැගිච්ච කාරණාවන්ට හරිහමන් උත්තර නොදීම නිසා මිනිස්සු හිටියේ ව්‍යාකූලතාවයෙන්. එක නිලධාරියයි හිටියේ. මිනිස්සු හැමෝගෙම හිත්වල තිබුණා ඒ නිලධාරියා ගැන බලාපොරොත්තුවක් ගෝඨාභයට කිව්වා නම් මේක කරවගන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇතිවෙලා තිබුණා. ඒ විශ්වාසය මත අපිත් සංවිධානයක් විදියට එතුමාට සහයෝගය දුන්නා.
අපි මතුකරපු ප‍්‍රශ්න සමාජය තදින් වැළඳගෙන ඒ වෙනුවෙන් මිනිස්සු නැගිටිද්දි ගෝඨාභය විතරයි කන් දුන්නෙ. එතුමාගෙන් තමයි අපිට කැඳවීම් ලැබුණෙ. මොකක්ද මේ ප‍්‍රශ්නෙ? මේවා වැඩි දියුණු වෙන්න බෑ, මේවා නැෂනල් සෙකියුරිටි එකට ප‍්‍රශ්නයක්. එක ප‍්‍රශ්නයක් විසඳලා හුස්ම ගත්තා විතරයි කියලා එහෙම තදින් අවවාද කළේ. එතුමාට පුළුවන් හැටියට ඒවා විසඳන්න මැදිහත් වුණා. එතුමා ඒ කරපු කැපවීම උන්නැහේට පාරාවළල්ලක් වෙලා තියෙනවා බොදු බල සේනා පිටිපස්සෙ හිටියා කියලා. බොදු බල සේනා පිටිපස්සෙ හිටියා කිව්වත් මොකද? එතුමා සිංහල බෞද්ධයෙක්.
ගෝඨාභය හිටියා කියලා ඇති ප‍්‍රශ්නෙකුත් නෑ.

No comments:

Post a Comment