ගාමිණී සුමනසේකර
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දේශපාලනයට මතු නොව ජගත් දේශපාලනයටද අභිනව වාර්තාවක් එක් කළ දුලබ ගණයේ රාජ්‍ය නායකයකු ලෙස දැන් ඉතිහාසයට එක්‌ව සිටියි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහුගේ මෙම දේශපාලන ක්‍රියාදාමය කිසිදු භෞතික මිණුම් දණ්‌ඩකින් මැණිය නොහැකිය. බලය කේන්ද්‍ර කරගත් දේශපාලන ව්‍යාපෘතීන් සුලබ යුගයක මෙවන් විශිෂ්ට දේශපාලන පරමාදර්ශයක අගය අප්‍රමාණ බව බහුතරයකගේ පිළිගැනීමය.
මේ දේශපාලන ක්‍රියාදාමය පසුගියදා සුවිශේෂ බහුතරයකින් සම්මත කරන ලද 19 වන ව්‍යවස්‌ථා සංශෝධනයයි. ඡේ. ආර්. ජයවර්ධන විසින් තම අභිමතය පරිදි නිර්මාණය කර ශ්‍රී ලාංකික දේශපාලනය මත පටවන ලද විධායක ජනාධිපති ක්‍රමය සමග දසක තුනකටත් වැඩි කාලයක් ගෙවා දැමූ ජනතාව ඒ විධායක පීඩනයෙන් මුදා ගැනීම සඳහා කැපවූ එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතාය.
ශ්‍රී ලාංකික දේශපාලන භූමිය මත රෝපණය කරන ලද ඒ විධායක ක්‍රමය වෙනස් කිරීම මේ රටේ ජනාධිපතිවරණ ප්‍රකාශනවලද ඇතුළත් වූ ප්‍රමුඛ ප්‍රතිඥවකි. එහෙත් එය මැතිවරණ වේදිකාවලට පමණක් සීමා වූ සටන් පාඨයක්‌ම විය. යම් යම් දුබලතා සහිතව වුවද ශ්‍රී ලාංකික ජනතාව විසින් භුක්‌ති විඳින ලද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, ඔවුන්ගේ ඇස්‌වලට වැලි ගසා අත්පත් කරගනු ලබන බලයකින් සමන්විත මෙම ක්‍රමය දූෂිත, වංචනික මාවතකට ආණ්‌ඩුවක් ඇද දමන්නක් බවට චෝදනා එල්ල විය.
කොළඹ රාජකීය දේශපාලන පැලැන්තියක මනදොළ සපුරාලමින් ගමන් කළ මෙම පාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා උර දෙන්නේ එකී ප්‍රභූ දේශපාලනයෙන් බැහැර වූ පොදු ජනතාව අතරින් මතුවූ අව්‍යාජ සාමාන්‍ය ගණයේ ජනතා පුත්‍රයකු වීමද ඒ ප්‍රභූ පැලැන්තියටම කරන ලද සරදමක් වැන්න. ජනතා පරමාධිපත්‍ය ලෙස නාම ගන්වා ඔවුන් බැඳ තබන ලද ප්‍රජාතන්ත්‍රවාදී විලංගුව ඉවත් කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා දින සිsයයක විප්ලවයක් දියත් කළේ රටම විස්‌මයට පත් කරවමින්ය.
එජාපයේ සුළුතර ආණ්‌ඩුවත් ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයෙන් සමන්විත බහුතර විපක්‍ෂයත් සමතුලිත කර ගැනීම ඉඳිකටු තුඩකින් ඔටුවකු ඇදීමක් වැනි ක්‍රියාවක් බව දේශපාලන විචාරකයෝ කීහ. එහෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ප්‍රයත්නය අත්හැරියේ නැත. බලයට පැමිණීමට මෙන්ම බලයේ රැඳී සිටීමට ඕනෑම දුෂ්ට, නිහීන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන දේශපාලකයන් බහුල යුගයක මෛත්‍රීපාල ජනාධිපතිවරයා නිරත වූයේ උඩුගම්බලා පිහිනීමකය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම සඳහන් කරන ලද පරිදි ජනවාරි 8 වැනිදා සිය ඡන්දය පාවිච්චි කිරීමෙන් පසු රහසිගතව සැඟවී සිටි ඔහු අපේක්‍ෂා කළේද මරණයයි. එහෙත් ලක්‍ෂ 62 ක ජනතාවක් ඡන්ද පළවල්වලට ගොස් ඔහුගේත්, රටේත් ඉරණම වෙනස් කිරීමට පියවර ගත්හ.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන පරමාදර්ශය මහත්මා ගාන්ධි බව ඔහු වරක් මා සමග පැවසීය. ගාන්ධිගේ දේශපාලනයේ හරය බලය නොව සමාජ ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලියකි. මෛත්‍රීපාලගේ විශ්වාසය වූයේද බලය මත පදනම් වන දේශපාලනයක් නොව පොදු ජන ප්‍රාර්ථනා වලින් විකසිත වූ සමාජ ප්‍රතිසංස්‌කරණයකි.
මෙම රටේ දේශපාලනය බලකාමී අධිපතියන්ගේ මුග්ධභාවයද ආත්මාර්ථයද පටු ජාති, වර්ග ආගම් භේද නමැති ගිනි පුපුරු දල්වන්නා වූද අසත්‍ය, දූෂණය, වංචාව, නාස්‌තිය යනාදී සකල විධ ග්‍රාම්‍ය පසුබිමක් තුළ ගමන් කරන්නක්‌ම බව මෛත්‍රීපාල ඉඳුරා දැන සිටියේය. ඒ දේශපාලන අඳුර බිඳ දැමීම සඳහා ඔහු කැප වන්නේම තමන් විසින් විඳින ලද කටුක හා අශෝභන අත්දැකීම් නිසාමය.
එජාපයේ මෙන්ම ශ්‍රීලනිපයේද දේශපාලන හැසිරිම් මනාව දත් ඔහු දැන දැනම 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නමැති අභියෝගයට උර දෙයි. විධායක බලතල සංශෝධනය කිරීමට දායක වී සිය දේශපාලන පව් සමාකර ගැනීමට එජාපයට මෙන්ම ශ්‍රීලනිප යටද ඓතිහාසික අවස්‌ථාවක් උදා වන්නේ ඒ අනුවය. දුෂ්ට අරමුණු මෙන්ම බලකාමීත්වයෙන් ගිලන් වූ දේශපාලන චරිත සිය සුධා ධවල වස්‌ත්‍රවලින් වසාගත් පසුගාමී සිතිවිලි සමග 19 වැනි සංශෝධනය ව්‍යර්ථ කිරීමට ගත් උත්සාහයද අද ප්‍රසිද්ධ රහසකි.
ආණ්‌ඩුව විසින් සකස් කරන ලද 19 වන සංශෝධන පිටපත ඉතා පටු දේශපාලන අරමුණු සහිත එකක් බව විපක්‍ෂයේ පොදු මතය විය. කිසියම් අද්භූත හස්‌තයකින් ලෝකයේ කිසිම තැනක නොමැති ආකාරයේ බලතල පවරා ගැනීමේ තැතක් එහි වූ බව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කර තිබිණි. සර්වබලධාරී ජනාධිපති වෙනුවට සර්වබලධාරී අගමැතිවරයෙක් ආදේශ කිරීම එම සංශෝධනවල අරමුණ බව ඔහු අවධාරණය කළ කරුණය.
විපක්‍ෂයේ බලපෑම් නිසාම ආණ්‌ඩුවට ඒ වගන්ති අස්‌කර ගැනීමට සිදුවූ බවද කියති. මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල වන යෝජනාවක් ආණ්‌ඩුව වේලාසනින්ම ඉවත් කර ගත්තේය. බරපතළ ගණයේ මූල්‍ය අපරාධ විමර්ශනය සඳහා යෝජිත පොලිස් ඒකකය දේශපාලන දඩයම් සඳහා විස සඟවා පෙරට දැමුණු යෝජනාවක් ලෙසද හැඳින්විණි. ආණ්‌ඩුව ගෙනා අහිතකර වගන්ති ඇතුළත් සංශෝධනය වෙනුවට සාධනීය වෙනසකට වුවමනා සංශෝධනයක් සම්මත කළ බව විපක්‍ෂය ප්‍රකාශ කළේය.
19 වන සංශෝධනය මොන අතකට පෙරළේද යන විමතිය ජනතාව තුළ ද විය. ආණ්‌ඩුව ප්‍රසිද්ධියේ කියා සිටියේ මේ ස්‌වර්ණමය අවස්‌ථාවට සහාය ලබාදී 19 නමැති මල්වට්‌ටියට අත ගසා සියලු පව් තුනී කර ගන්නා ලෙසය. එහෙත් ඒ යෝජනා යටින් බිහිසුණු ප්‍රතිඵල රටට ලබා දෙන යෝජනාද අඩංගු වූ බව විපක්‍ෂය ප්‍රසිද්ධියේ කියා සිටියහ. විපක්‍ෂය 19 සමග 20 වැනි සංශෝධනයද සම්මත විය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කරන්නේද මේ පසුබිම තුළය.
කෙසේ හෝ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කිරීමට තිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීමේ නියෝගයක් නිකුත් වීම බලවත් ආන්දොaලනයකට තුඩු දුන්නේය. මේ සිද්ධිය ආණ්‌ඩුවේ වුවමනාව නිසාම ඇති කළ එකක් බව විපක්‍ෂය චෝදනා කළහ. රාජපක්‍ෂ පාර්ශ්වයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ රාත්‍රියද ගෙවමින් එයට අභියෝග කළහ.
ඉනික්‌බිති හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාද අත්අඩංගුවට ගැනුණි. එයත් විපක්‍ෂයේ දැඩි පසුතැවිල්ලට හේතු විය. මේ සිදුවීම් දෙකම ස්‌වාභාවික හා සාමාන්‍ය ක්‍රියා ලෙස හැඳින්වීමට එජාපයේ නායකයන්ට වුවමනා විය. එහිදී අල්ලස් කොමිසමේ හැසිරීම් ගැනද අධි චෝදනා පත්‍රයක් එල්ල විය.
රාජපක්‍ෂවරුන් අත්අඩංගුවට ගැනීමේ දොළදුකකින් ආතුර වූවෝද සිටිති. බැසිල් රාජපක්‍ෂ අත්අඩංගුවට පත්වීම දක්‌වා සිදුවූ ක්‍රියාවලිය ගැන නොයෙක් විවේචන ද ඇත. එජාප ආණ්‌ඩුවේ සමහරුන් නැති බලයක් ආරූඪ කරගෙන කරනු ලබන ප්‍රකාශවලින් මෙන්ම හැසිරීම් වලින්ද පෙනී යන්නේ ඇතැම් සිදුවීම් පසුපස අදිසි හස්‌තයක් තිබෙන බව යෑයි විපක්‍ෂය චෝදනා කරති.
රටේ නීතියට රාජපක්‍ෂවරුද යටත් විය යුතු වෙති. එහෙත් බරපතළ අක්‍රමිකතා, අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින දේශපාලන චරිත නිරුපද්‍රිතව සිටීමද ප්‍රශ්නයකි. මේ ක්‍රියාකාරකම් පිළිබඳ ජනාධිපතිවරයා නොදැන සිටීමද තවත් ප්‍රශ්නයකි. එසේ නම් ඒවා ක්‍රියාවට නැංවූ අයගේ අපේක්‍ෂාව 19 සම්මත වීම වැළැක්‌වීමද?
මේ සියලු සංකීර්ණ ගැටලු මැද්දේ යළිත් 19 පිළිබඳ විවාදයට ආණ්‌ඩුව හා විපක්‍ෂය එකඟ වෙති. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිsවරයා සංශෝධනය ඉදිරිපත් කිරීමෙන් පසුව විවාදය ඇරඹෙයි. ආණ්‌ඩුවේ යෝජනා කුමක් වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලද යෝජනාවලට පක්‍ෂව ඡන්දය දීමට විපක්‍ෂය එකඟ වන්නේද ඒ අනුවය. එහෙත් යළි බරපතළ මත ගැටුම් පැන නැගෙයි.
පාර්ලිමේන්තුව තුළ විවාදය සිදුවන අතරම පක්‍ෂ නායකයන්ගේ සාකච්ඡා සිදුවෙයි. එකඟවීම් වෙනුවට බෙදීම් උත්සන්න වෙයි. පාර්ලිමේන්තුවෙන් පිටත 19 සංශෝධන කළ යුතුය යන හඬ නගමින් පිරිසක් ඝෝෂා කරති. තවත් පිරිසක් 19 සම්මත කිරීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පෙට්‌ටියක දමා ඇණ ගැසීමක් බව කියා සිටිති. එජාප හිතවාදීහු වෙනමද මහින්ද හිතවාදීහු වෙනමද රොක්‌ව අදහස් දක්‌වති. බලපෑම් කරති.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 28 වැනිදා රාත්‍රිය ගෙවන්නේ නිදිවර්ජිතවය. මේ දෙපක්‍ෂයම නම්‍යශීලි නොවුවහොත් යළි කිසිදිනක මෙබඳු අවස්‌ථාවක් ලේසියෙන් උදා නොවන බව ඔහු වටහා ගනී. ඔහුගේ මනස තුළ භගවත් ගීතාවේ ගැඹුරු චින්තාවන් පෙළ ගැසෙයි. "මම කිසිදු භෞතික ජයග්‍රහණයක් අපේක්‍ෂා නොකරමි. මට රාජ්‍ය බලයද අවශ්‍ය නැත. ලෞකික යසස් වලින් හෝ බලකාමයෙන් අන්ධවීම වෙනුවට මට වුවමනා ඒ සියල්ල අත්හැර දැමීමටය. මම යම් අරමුණක් උදෙසා සද්භාවයෙන් කැපවූයෙම්ද එය කිසිසේත් ගිලිහී යැමට ඉඩ නොදෙමි.
මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිය අභිමතාර්ථය ඉටුකර ගත් අයුරු මෙසේ කියා සිටියේය.
"මං නිරත වෙලා හිටියෙ හරිම දුෂ්කර මෙහෙයුමක. හරියටම පැය 48 ක් ගියා ඔබට මතකද එදා ප්‍රේමදාස ජනාධිපතිවරයා තමන්ට දොaෂාභියෝගය ආපු වෙලාවෙ මන්ත්‍රීවරුන් එක්‌ක බිම ඉඳගත්ත. මං එහෙම කළේ නෑ. දෙපැත්තෙම මන්ත්‍රීවරුන් ළඟට ගියා. බොහොම සුහදව කතා කළා. මේ වැඩේ මගහරින්න එපා කියල එක එක්‌කෙනාට කිව්ව.
සමහරුන්ගෙ ඇස්‌වල තරහ පිරිල. සමහරුන්ගෙ තිබුණෙ හිස් බැල්මක්. දෙගොල්ලටම ඕනැ වුණේ මේක. සම්මත නොකර ඡන්දෙකට යන්න. දේශපාලන වාසියද? රටද? කියල මං ඔවුන්ගෙ හෘදය සාක්‍ෂියෙන් ඇහුව. මාර්තු 29 වැනිද 5.45 ටත් තීන්දුවක් ගන්න බැරුව හිටියෙ. මං කිව්ව අපි දෙගොල්ලම අඩියක් පස්‌සට ගනිමු. ඒක පරාජයක් නොවෙයි. අපට ඊට වැඩිය ගෞරවයක් ඉතිහාසය පිරිනමනවා ඒකාන්තයි. ඔබේ හෘදය සාක්‍ෂියෙන් අහන්න. හෘදය සාක්‍ෂියේ හඬට කන් දෙන්න.
ඔන්න පුංචි වෙනසක්. ඒ පාර කතානායකතුමාට පණිවිඩයක් යෑව්ව. ඡන්දෙ තව පැයකට කල් දාන්න.
විඩාවට පත් දුප්පත් ජනතාවගේ විඩාව නිවමු. අප පෙලූ අප තැලූ පීඩනය අවසන් කරමු. අන්ධකාරයෙන් ආලෝකයට ගමන් කරමු. බුද්ධියෙන් සහෝදරත්වයෙන් එකා වගේ නැගී සිටිමු. ලක්‍ෂ 110 ක් ගණන් ඇතුව ඉල්ලූ එකම දේ ලබා දීමේ වගකීම ඉටුකරමු.
ඉක්‌බිති සියල්ලෝම එක් සිත්ව එක්‌සත්ව ඒ අබිමානයේ සාඩම්බර උරුමක්‌කාරයන් බවට පත්වූහ. මගේ ඇමතුමට බිහිරිව සිටියේ එක් අයෙක් නැත්නම් දෙදෙනෙක් පමණි.
මෛත්‍රීපාල ජනාධිපතිවරයා පැය 48 දුෂ්කර මෙහෙයුම නිමවූ අයුරු කියා සිටියේ උතුරා යන තෘප්තිමත් හැඟීමෙන් යුතුවය. බලයම අරමුණ කරගත් දේශපාලනය මෙන්ම බලයෙහි රැඳී සිටීමට කරනු ලබන දේශපාලනයත් දැන් අවසන් කළ යුතු බවත් මේ රටේ සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී සියලු ජන කොටස්‌වලට වඩා යහපත් වූද අර්ථයෙන් පරිපූර්ණ වූද ජීවිතයක් හිමිකර දීම අප හැමගේම ප්‍රයත්නය විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
No comments:
Post a Comment